[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

අනඳමෙත් මාහිමි කර වූ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන

සකල සත්වයන් වෙත මහ කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් විශ්වයේ අද්විතීය අධ්‍යාපනඥයා බවට පත් තිලෝගුරු යන සම්මානයෙන් පිදුම් ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුවින් විකසිත වූ ඒ සුමිහිරි වදන් අදින් වසර දෙදහස් පන්සිය හතළිස් තුනකට පෙරාතුව වදහ ප්‍රායෝගික දෙසුම් වුව ද විසිඑක්වන සියවසේ එළිපත්තට පා නඟමින් සිටින වත්මන් ලොවට ද එක සේ සරිලන අමිල භාෂිතයන් සේ අපි අගයමු.

සම්බුදු පහසින් ප්‍රමුදිත වූ මේ හෙළැදිව මිහිඳු මහ රහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් හා උපදේශනයෙන් ප්‍රායෝගිකව ම ක්‍රියාත්මක වූ යාවජීව අධ්‍යාපන ක්‍රමයකට සකලාංගයන්ගෙන් ම සරිලන අයුරින් කාලෝචිත පසුබිමක් නිර්මාණය වී තිබිණි.

යුගයෙන් යුගයට පරිණාමය වෙමින් බෞද්ධ ශිෂ්ටාචාරයෙහි විවිධ අංගෝපාංගයන්ගෙන් පෝෂණය ලබමින් අනේකවිධ විපර්යාසයන් ඔස්සේ වර්ධනය වුණු ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ ගමන්මඟ අපමණ අත්දැකීම් හා අභියෝගයනට මුහුණ දෙමින් මේ දක්වා දිගු ගමනක යෙදී ඇති අයුරු ඉතිහාසයෙන් තහවුරු කෙරේ.

තෙළෙස්වන සියවස දඹදෙනි අවධියේදී සමනල අඩවිය ආශ්‍රිතව පැවති පලාබද්ගල ප්‍රතිරාජ මහ පිරිවෙන ආරාමික අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධි ස්ථානයක් සේ සැලකීමට පුළුවන.

දහනවවන සියවස දක්වා ම හෙළදිව ආරාමික අධ්‍යාපනය තුළින් හෙළයට ම ආවේණික සංස්කෘතිය හා අනන්‍යතාවය ද තහවුරු කොට ඇත. බෞද්ධ භික්ෂුව ගිහි පැවිදි ජීවන ප්‍රතිපදාව අර්ථවත් කිරීමෙහි ලා පිරිවෙන නැමති සුවිශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානය තුළින් ඉටුකොට ඇත්තේ අමිල කාර්යභාරයකි.

මහනුවර අවධියේ පහළ වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ පා සටහන් ඔස්සේ යමින් පැල්මඬුලූ රාජමහාවිහාර පිරිවෙන, මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආදී විධිමත් අධ්‍යාපනික පීඨයන් තුළින් බෞද්ධ අධ්‍යාපනය හා සංස්කෘතියේ පුනර්ජීවනය ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවේ ද අන්‍ය රටවල් කිහිපයක ද බෞද්ධ අධ්‍යාපනයෙන් ඔපවත් වූ සංස්කෘතියක් බිහි විය.

ජාතික, සාමයික හා සාමාජික ක්ෂේත්‍රයන් ඔස්සේ විප්ලවීය අධ්‍යාපනික පෙරළියක් සබරගමු පෙදෙසෙහිද සිදුවුණු බව අපට පෙන්නුම් කරයි.

අවිඳු අඳුරු දුරලනු වස් පරහිතකාමිත්වයෙන් දැල් වූ සුපසන් පහන් සිලක්, බළන්ගොඩ පුරවරයෙහි දැල්විණි. ඒ විශ්වකීර්තිධර බුද්ධාංකුර අති උතුම් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝ රාජෝත්තමයාණන් වහන්සේ ය.

දහනව වන සියවසේ අග බාගයේ දී බළන්ගොඩ පුරවරය නිජබිම කොට ගනිමින් ජන්ම ලාභය ලද එතුමාණෝ උදාරතර සත් ක්‍රියාවක යෙදුනාහු ය. එනම් අධ්‍යාපනික, සමාජික හා සංස්කෘතික අවශ්‍යතාවන් සපුරාලනු වස් සදා නොනිමෙන විදු පහන් සිලක් වන් බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන නැමැති තක්ෂිලාව නූතනයට ද නූපන් හෙටට ද වැඩක්ම වන සේ ස්ථාපිත කිරීම ය.

එවන් වෙහෙසකර දිගු ගමනක සුලමුල කෙබඳු දැයි අතිඋත්තරීතර සඟරජ උතුමාණන් වහන්සේගෙන් අසා විමසා දැන ගතිමු. එසේ අපගේ සවනට යොමු වූ තොරතුරු වලින් අංශු මාත්‍රයක් මෙසේ දම්නඳ පුරාණය ලෙසින් ඓතිහාසික අනුරපුර සෙල්ලිපියක නොමැකී සටහන් වූ වදන් වැලක් සේ සටහන් කරමු.

ශ්‍රී ධර්මානන්දයේ නිර්මාතෘ අනඳමෙත් සමිඳුන් වැලිපිල්ලේ අකුරු කුරුටු ගා පන්හිදෙන් හා පෑනෙන් සටහන් තබමින් පරිගණකය පරිහරණය දක්වා ද , මූලික පිරිවෙන් පෙළ පොත සිට ගැඹුරු ත්‍රිපිටකය දක්වා ද ප්‍රඥාලෝකය ඔස්සේ නා නා විධ කාර්යභාරයන් ඒ ඒ අවස්ථාවට අදාළ වන අයුරින් ක්‍රියාත්මක කළ අයුරු වංශකතාවක් සේ දැක්විය හැකිය. බලන්ගොඩ පිරිමි පාසල (කුමාර විද්‍යාලය) පමණකි, උන්වහන්සේට සිප්සල වූයේ. කිසදු සරසවියකින් අධ්‍යාපනයක් නොලද උන්වහන්සේ නොසිතූ නොවිරු සම්මානයන්ගෙන් සම්මානනීයත්වයට පත්වූහ. එය අතිශයින් දුර්ලභ සම්භාවනීය බුදුකුරු දම් පිරූ උතුමෙකුට ආවේණික සුවිශේෂ ලක්ෂණයක් බව පෙර, පර දෙදිග මහ වියතුන් ගේ මතයයි.

මෙම ලිපියේ ඉතිරි කොටස ඉදිරි බුදුසරණ කලාපයේ පළවේ.

****

ශාසනයේ චිරස්ථිතිය පිණිස...

සසුන්ගත වූවායින් පසු දස පළිබෝධවලින් භික්ෂුන් වහන්සේ දුරු විය යුතු ය . ආවාස , කුල , ලාභ , ගණ හෙවත් පිරිස් , කර්මාන්ත ,ගමන , ඥාති , ආබාධ , ග්‍රන්ථ , රිද්ධි කියන මේ දහයෙන් නො ඇලී කටයුතු කළ යුතු ය .

එසේ නොවන කල්හි මහණ දම් පිරිය නොහැකි ය . හික්ෂුවක් තුළ තිබිය යුතු මූලික ලක්ෂණ ඈත් වීම හේතු කොටගෙන ශාසන කෘත්‍ය හැර දැමූවන් ලෙස වර්තමානයේ බොහෝ භික්ෂූන් හැඳින්විය හැකි ය . එවැනි භික්ෂූන්ගේ දේශනාතුළ හරයක් නැතත්

ආකර්ෂණයක් ඇතිවිය හැකි ය . හේතුව දේශනා කරන්නා දේශනයෙහි පිහිටාම දේශනය කළ යුතු නිසයි .

එමෙන් ම අපේ රටේ වුවත් භික්ෂූන් වහන්සේලා විශාල මන්දිරවල වැඩහුන් බවක් නොපෙනේ . ආවාස පළිබෝධය යන්නෙන් අදහස් කරන්නේ එයයි . ගිහියන් මෙන් ම විශාල මන්දිර තනාගෙන මැති ඇමතිවරුන් ලවා උත්සව ශ්‍රීයෙන් විවෘත කරවාගෙන පදිංචි වී සිටීමත් නූතන සම්ප්‍රදායක් වී තිබේ.

මහා මන්දිරයක් තනා ගිහියන් මෙන් භෝජන සංග්‍රහයක් කොට පින් දීමට තැත් කරන භික්ෂූහු ද වෙති .

භික්ෂූන් වහන්සේලාට නම්, පා සිවුරු, බණ පොත් තැන්පත් කර ගැනීම පිණිස කුටියක් හොඳටම ප්‍රමාණවත් වේ .

විනයානුකූල ව ජීවත්වන භික්ෂූන් නිසා ම ශාසනය චිරස්ථායි වන බව "විනයෝ නාම ශාසනස්ස ආයූ " යන පාඨයෙන් ම ස්ථාවර වේ .

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]