[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලංකාවේ බෞද්ධ ස්තූප - 27: සිව් බුදුරදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි බිම ඉදි වූ සේල චෛත්‍යය

ලංකාවේ බෞද්ධ ස්තූප - 27:

සිව් බුදුරදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි බිම ඉදි වූ සේල චෛත්‍යය

මහාදයෝ දෙවගණෙව නාගේ - නූසාසයී යත්ථ ථීතෝ මුනින්දෝ
සද්ධම්ම හෙමද්ධජ භාසමානං - වන්දේ සිලාචේතිය මබ්භූතං තං

මිහින්තලා පර්වතය මස්තකයෙහි පිහිටි ප්‍රධාන ස්තූප තුන අතරින් මහාසෑයට නැගෙනහිර දෙසින් පහළ තැනිතලා භූමියේ පිහිටි කුඩා ස්තූපය යි.

සේල ස්තූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ තුන්වැනි අවස්ථාවේ දී මඳ වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයේ යැයි සැලකේ. පූජාවලිය සහ සද්ධර්මාලංකාරය හා මහාවංස විස්තරය අනුව ඒ බව පැහැදිලි වනු ඇත.

ඓතිහාසික කරුණු අනුව සේල ස්තූපය පිහිටි භූමියේ දී ඉතා වැදගත් කරුණු කීපයක් ම සිදුවී තිබේ. ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට පැමිණ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය මේ යැයි සැලකේ.

ඒ වගේ ම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමා සමඟ සංවාදය පවත්වමින් වැඩ සිටියේ ද, චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේ ද මෙම පුණ්‍ය භූමියේ බව ද පැවසේ.

එමෙන් ම සේල චේතියේ සලපතල මළුවේ සිරිපතුලක් සහිත සෙල් පුවරුවක් සවි කළ ස්ථානයේ එසේ වැඩ සිටි ස්ථානය බව ද පිළිගැනීම ය. සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටියේ ද මෙම ස්තූප මළුවේ ය. මෙම කරුණු කිහිපයක් ම හේතුවෙන් සේල චේතිය පූජනීයත්වයට පත් වී තිබෙන අතර සොළොස්මස්ථාන අතරින් එකක් ලෙස ද සම්භාවනාවට පාත්‍ර ව ඇත.

මෙම ස්ථානය පූජනීයත්වයට පත්වන තවත් හේතුවක් වූයේ මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ සතර බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නම ම සේල චේතිය පිහිටි ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටීමයි. මේ අනුව මෙම ස්ථානය බෞද්ධයන් ඉතා පූජනීය ලෙස සලකන සොළොස්මස්ථානයන්ගෙන් එකකි.

මෙම ස්තූපය වටදාගෙයක් එනම් චේතියඝරයක් තුළ පිහිටා තිබූ බවට මේ වන තෙක් ම ශේෂ වී තිබෙන නටබුන්වලින් මෙන් ම ඓතිහාසික සාහිත්‍යමය මූලාශ්‍රයන්වල ද සඳහන් ව ඇත. කූටකණ්ණතිස්ස රජතුමා ක්‍රි. පූ. 22 අතර කාලය තුළ අම්බස්ථලයේ චේතියඝරයක් ඉදිකරවන ලද බව මහාවංසයේ සඳහන් ව ඇත.

මිහින්තලා පර්වතය මස්තකයෙහි පිහිටි ප්‍රධාන ස්තූප තුන අතරින් මහාසෑයට නැගෙනහිර දෙසින් පහළ තැනිතලා භූමියේ පිහිටි කුඩා ස්තූපය යි.

සෙල් කණු වළලු දෙකකින් වට වූ මෙය “වටදාගේ“ නමින් ද හැඳීන්වේ. එය පොදු ව්‍යවහාරයේ “සේල චෛත්‍ය“ නමින් ද ප්‍රකටව තිබේ.

කූටකණ්ණතිස්ස රජතුමා විසින් චේතියගිරියේ උපෝසථාගාරය සමීපයේ කරවූවා යැයි මහා වංශයේ සඳහන් වන ශෛලමය ස්තූපය නිසැකව ම වර්තමානයේ ‘සේල චෛත්‍ය “ නම් වූ උඩමළුවේ ඇති කුඩා ස්තූප යැයි විශ්වාස කෙරේ.

මෙම ස්තූපයේ පාදමේ විශ්කම්භය අඩි 29ක් පමණකි. එය අඩි 97ක විෂ්කම්භයෙන් යුත් වටකුරු සලපතළ මළුවක් මත පිහිටා තිබේ. ස්තූපය වටා ථූපාරාමයේ කුලුණු වර්ගයට ම අයත් ඒක කේන්ද්‍රිය අටපට්ටම් ගල්කණු වට දෙකක් වේ. වට දෙකෙහි ම කුලුණුවල උස එක සමාන ය. එනම් කුලුණු හිස් සමඟ උස අඩි 14 කි. ස්තූපයේ වර්තමාන උස මීටර් 8 පමණ වේ යැයි සැලකේ.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]