Print this Article


ආදරය උතුම් සිතිවිල්ලකි අතරමං වන්නේ වරදවා තේරුම් ගැනීමෙනි

ආදරය උතුම් සිතිවිල්ලකි අතරමං වන්නේ වරදවා තේරුම් ගැනීමෙනි

ආදරය, සෙනෙහස, ප්‍රේමය, හිතවත්කම, ළෙන්ගතුකම ආදී මනෝභාවයන් බුදුදහම ඉතා පුළුල් ව මෛත්‍රීය ලෙස විස්තර කරයි. ගහකොළ සතා සිව්පාවාට මෙන් ම, මිනිසාට ද තම යහපත් වැඩීම සඳහා සෙනෙහස අත්‍යවශ්‍ය ය.

සාමාන්‍ය ජීවිතයේ දී සියල්ලෝ ම බලාපොරොත්තු වන මේ හැඟීම් තුළ පටු ස්වභාවයක්, ආත්මාර්ථයක් ඇත. එය ලෞකික ජීවිතයේ යතාර්ථය යි.

ආදරයේ සැබෑව

කෙනකු ආදරය අපේක්ෂා කරනුයේ තම ජීවිතය වඩාත් ශක්තිමත් ව, අඩුපාඩුවලින් තොරව පවත්වාගෙන යාම සඳහාම ය. එය මව්පියන්, දූ දරුවන්, අඹු සැමියන්, තරුණ තරුණියන් ලෙස ගත්ත ද පොදු ය. එපමණක් නොව ගහක් වුවත් තම මුල් නිරන්තර ව යොමු කරන්නේ සරු පොහොර පසකට ය. ඒ ගසේ පැවැත්මට මිස පසට ඇති ආදරය නිසා නොවේ. වැළක් නිතරම එතෙනුයේ ගසකට ය. ඒ වැලේ ආරක්ෂාවට හා පැවැත්ම සඳහා ය. පෘථග්ජන ලෝකයේ ආදරය සෙනෙහස මේ හා සමාන ය.

ආදරය සාමාන්‍ය ස්වභාවය තුළ පොදු නොවේ. එය සුවිශේෂී කරුණු මත වෙනස් වේ. මවක් තම දරුවකුට දක්වන සෙනෙහස එම වයසේ අනෙක් දරුවන්ට ඒ හා සමාන අයුරින් දක්වන්නේ නැත. සහෝදර සහ අඹුසැමි වශයෙන් ගත් විට ද තත්ත්වය එසේම ය. තමන්ගේ වත්තේ හැදෙන ගහකොළට දක්වන ළෙන්ගතු බව අනෙක් ගස්වලට ඒ ප්‍රමාණයෙන් දක්වන්නේ නැත. බොහෝ සමාජ ප්‍රශ්නයන්ට මූලය ද මෙයයි. මෙයින් පෙනීයන්නේ ආදරය, සෙනෙහස යන මනෝභාවයන් එකක් වූවත් එය ක්‍රියාත්මක වීමේ දී විවිධ වෙනස්කම් හඳුනාගත හැකි බවයි.

බුදුදහම ආදරය ප්‍රතික්ෂේප කරනවාද?

බුදුදහම ආදරය, සෙනෙහස, ළෙන්ගතුබව ප්‍රතික්ෂේප කරන දහමක් නොවේ. එහෙත් ඇත්ත ඇති සැටියෙන් පවසන දහමක් ලෙස යතාර්ථය මනාව පැහැදිලි කරයි. ආදරය, සෙනෙහස තුළ පටු ස්වභාවයක් ඇති බව උන්වහන්සේ අවධාරණය කරන අතර, සියල්ලන්ට ම එකසේ මෛත්‍රිය කළ හැකිනම්, එය උන්වහන්සේ අගය කරති. බෝසත් අවධියේ මෙන්ම බුදුවන අවසන් භවයේ දී ම පවා උන්වහන්සේ ආදරය, ළෙන්ගතු බව අත්විඳි ශාස්තෘවරයෙකි. ප්‍රේමය ආදරය සෑම විටම ශෝකයට දුකට හේතුවක් ය. යම් විටක මේ සියල්ලෙන් ම ඉවත්විය හැකිනම්, එතැන ශෝකයක් හෝ දුකක් නැති බව ධම්ම පදයේ දී දේශනා කළේ ලෝක යතාර්ථය මොනවට පැහැදිලි කරමිනි.

පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතොභයං

(ධම්ම පදය - පිය වග්ගය)

සංසාර ජීවිතය තුළදී උන්වහන්සේ ආදරය, ප්‍රේමය බැහැර කර කටයුතු කළ උත්තමයකු නොවේ. සසර පුරාවටම තම මවට, පියාට දරුවකු ලෙස සෙනෙහස ආදරය නොඅඩුව දැක්වූහ. එපමණක් නොව ඒ වෙනුවෙන් ජීවිත කැපකිරීම් පවා සිදුකිරීමට පෙළඹුණු අවස්ථා ජාතක පොත තුළින් හඳුනා ගත හැකි ය. එසේ තමා නිසා උපන් තම දරුවන් විෂයයෙහි සසර පුරා උන්වහන්සේ පිය කෙනකු ලෙස අසීමිත ව ආදරය, සෙනෙහස, ළෙන්ගතු බව දැක්වූහ. ස්වාමියකු, පෙම්වතකු ලෙස පටු පරමාර්ථයන්ගෙන් ඈත්ව තම බිරිඳට ආදරය සෙනෙහස දැක් වූ අතර, පෙරළා සසර පුරාවට බෝසතාණන් වහන්සේට දහස් ගුණයකින් එය ලැබුණි.

අධ්‍යාත්මික බැඳීමක්

යෞවනයේ ප්‍රේමයක ස්වභාවය, පෙම්වතියකගේ හැසිරීම කෙබඳු විය යුතු ද යන බව මනාව පැහැදිලි වන අවස්ථාව යශෝධරාවගේ චරිතය යි. සඳකිඳුරු ජාතකයේ දී සඳකිඳුරියගේ රූපයට ලෝභ වූ රටේ රජු සඳකිඳුරා ඝාතනය කළේ ය. කෙතරම් රජ සැප, හැඩි දැඩි සිරුරක් තිබුණත් ඇයට එය නො වටිනා එකක් විය. තම ජීවිත ආසාව පවා අත්හැර තම සෙනෙහසේ ස්වභාවය කෙ තරම් ද යන්න ඇය විසින් ම ඔප්පු කරනු ලැබී ය. එහි ප්‍රතිඵලය වූයේ සක් දෙවිඳුගේ මැදිහත්වීමෙන් සඳකිඳුරාට ප්‍රාණය, ජීවත්වීමේ වරම නැවත ලැබීම යි. මෙයින් පෙන්වන්නේ ආදරය කෙ තරම් ආධ්‍යාත්මික බැඳීමක් ද යන්නයි. එවැනි බැඳීම් සසර පුරුදු ලෙස පවා පැවත එන බවට කදිම නිදසුන මෙම සඳකිඳුරු ජාතකය යි.

දාරක ප්‍රේමය පවා ආධ්‍යාත්මික බැඳීමක් වන අතර, එය ද සංසාරික බැඳීමක් ලෙස පැවත එන බව බෝසත් චරිතයෙන් මනාව අවබෝධ කර ගත හැකි ය. වරෙක සාකේත නුවර පිණ්ඩපාතයේ වැඩි බුදුරදුන්ට මුහුණ පාන්නට සිදු වූ අවස්ථාව සාකේත ජාතකයේ දී පැහැදිලි කරයි. සාකේත බමුණා සහ බැමිණිය බුදුරදුන්ට එහිදී ආමන්ත්‍රණය කළේ “පුතේ” යනුවෙනි. භික්ෂූන් වහන්සේ පුදුමයට පත්ව එසේ අමතන්නේ ඇයි දැයි විමසූ විට උන්වහන්සේ දේශනා කළේ මෙම දෙපළ ආත්ම පන්සියයක දී තමන් වහන්සේට මව්පිය උපත ලබා සිටි බවත්, එම සසර පුරුද්ද නිසා මෙසේ පුතා යැයි අමතන බවත් ය. ආදරය සෙනෙහස සසර පුරුදු ලෙස පවා පැමිණෙන බවට මෙය කදිම සාක්ෂියකි.

වචනය ඉක්මවූ ආදරය

ඇතැම් පිරිස් මෙම උතුම් මනෝභාවය අයහපත් ව යොදාගැනීම සහ ඇතමුන් වරදවා තේරුම් ගැනීම නිසා බොහෝ අපහසුතාවයන්ට පත් වේ. ඒ නිසා සරු නිසරු දේ තෝරා ගැනීමට නොහැකිව අතරමං වේ. බුදු දහමේ ආදර්ශවත් ම අඹු සැමි යුවළ ලෙස සැලකෙනුයේ නකුලමාතා, පිතු යුවළයි. විශේෂයෙන් තරුණ තරුණියන් මෙම චරිතය මනාව අධ්‍යයනය කළ යුතු වේ. මේ ලෝකයෙහි දරුවන්ට වැඩියෙන් ම ආදරය සෙනෙහස දක්වනුයේ තම මව්පියන් ය. ඔවුන් තුළ සතර බ්‍රහ්ම විහරණ පවතී. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වශයෙනි.

උදේ සවස මව්පියන් විසින් දරුවන්ට “ආදරෙයි” යැයි නො කිව්වාට ඔවුන් සෑම දෙයක්ම සිදු කරනුයේ සැබෑවටම දරුවන් පිළිබඳ ඇති ආදරය නිසා ම ය. එහෙත් තරුණ වයසට එළැඹෙන ඇතැම් දරුවන්ට මෙම තත්ත්වය තේරුම් ගැනීම අපහසු ය. මව්පියන් විසින් උදේ සවස ආදරෙයි, ආදරෙයි යැයි නොකියන නිසා තම මව්පියන් තුළ එවැන්නක් නැතැයි ඇතැම් දරුවන් වරදවා තේරුම් ගනිමින් බාහිරින් එය අපේක්ෂා කිරීමට පෙළඹේ. එයට හේතුව වන්නේ ජීවිත අවබෝධයේ මද බව හා සෙනෙහස, ආදරය තේරුම් නො ගැනීම යි.

තම ජීවිතයේ මුලින්ම සොඳුරු වදනින් ආමන්ත්‍රණය කළේ මව්පියන් ය. ඔවුන්ට දරුවන් එතරම් ම වටින්නේ ය. එහෙත් උස් මහත් වූ දරුවන්ට එවැනි ආමන්ත්‍රණයක් සිදු නො කළවිට මව්පියන් ආදරය නැත යැයි සිතීම අඥාන සිතිවිල්ලකි. මන්දයත් ඔවුන් ආදරය කළේ කොණ්ඩයට, හමට, දත් ටිකට, ගමනට, සිනහවට, ශරීරයට නොවේ. එවැනි පටුදෙයට ආදරය දැක්වීමේ දී තමන් බලාපොරොත්තු වූ ආකාරයට ගමන බිමන සිනහව ශරීරය නැති වූ විට ආදරය නැති වී යයි. එය තාවකාලික වූ සෙනෙහසකි. මේ බව තරුණ දරුවන් තේරුම් ගත යුතු ය.