Print this Article


පින මතුවෙන හැටි හරි පුදුමයි

පින මතුවෙන හැටි හරි පුදුමයි

පින්වත් දරුවනේ, අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා.

සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා නොමග ගිය දරුවෙක් මාර්ගඵල ලැබූ අයුරු කියැවෙන අපූරු කථාවක් දැන් ඔබ දැනගන්නේ. අනේපිඬු සිටාණන් ගැන අපි හැමෝම දන්නවා. එතුමාගේ ශ්‍රද්ධාව ඉතා බලවත්. එම මාළිගයේ හිටපු දෙව්දුවක් පවා එතුමා නොමඟ යවන්නට ගොස් පැරදී ගියා. සිටුතුමාගෙන් සමාව ගන්න සිදුවුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකින් යුතුවයි එතුමා හැම දෙයක්ම කළේ.

ඒ අනේපිඬු සිටුතුමාට පුතෙක් හිටියා. ඔහුගේ නම කාල. මේ දරුවාට හොඳට සල්ලි තිබුණු නිසා විනෝදෙන් කල් ගෙව්වා. ඊට ගැලපෙන යාළුවොත් හිටියා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට අනේපිඬු සිටුතුමා ගියේ මහත් ශ්‍රද්ධාවකින්. පුතාට අඬගැහුවට එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩිය වෙලාවටත් මඟහරිනවා. බණ අහන්න යමු කිව්වත් මඟහරිනවා. සංඝෝපස්ථාන කරන්න යමු කිව්වත් මඟහරිනවා.

“අනේ පුතේ.... ඔහොම කරන්න එපා... ඒක හරි නෑ... මා වැනි සැදැහැවත් පියෙක් සිටිද්දී පුතා සිටින්න ඕනත් සැදැහැබරව නේද?”

මෙවැනි උපදෙස් කොයිතරම් දුන්නත් මේ ළමයා ඇහුම්කන් දෙන්නේ නෑ. අනේපිඬු සිටුතුමාට තම පුතා පිළිබඳව මහත් අනුකම්පාවක් හටගත්තා.

‘අනේ මේ කොලුවා යාළුවන්ට අහුවෙලා ජීවිතයේ වටිනාකම නැති කර ගන්නවා. පින් රැස් කිරීම ගැන කිසි තැකීමක් නෑ. මෙහෙම ගියොත් නිරයේ තමයි උපදින්න වෙන්නේ. මොනතරම් අවාසනාවක්ද? මගේ දෑස් ඉදිරියේම මගේ දරුවෙක් නිරයේ උපන්නොත් මොනතරම් අවාසනාවක්ද?....

ම්... ම්.... දැන් කරන්න තියෙන්නේ මේකයි. ධනය දුන්නොත් වෙනස් නොකළ හැකි සත්වයෙක් නෑ නෙව. ඒ නිසා මාත් මේ ළමයාට සල්ලි ටිකක්වත් දීලා බලන්න ඕනෑ.’ මෙහෙම හිතපු අනේපිඬු සිටුතුමා තම පුතා කැඳෙව්වා.

“පුතේ.... මෙහෙ එන්න. අද උපෝසථ දවසයි. අද පුතා අනිවාර්යයෙන් ම භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න යන්න ඕන. බණ අහන්නත් ඕන. මගේ වචනයට ඇහුම්කන් දුන්නොත් මං කහවණු සීයක් පුතාට දෙනවා.”

“ෂා...! තාත්තේ ඇත්තටම මට කහවණු සීයක් දෙනවද?”

“ඔව් පුතේ... හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැකලා, බණ අහලා ආවොත් විතරයි.”

ඉතින් මේ කාල සිටු පුත්‍රයා කහවණු සීයක් ලබා ගැනීමට තුන් වතාවක්ම තම පියා ගිවිස ගත්තා. දෙව්රම් වෙහෙරට පිටත් වුණා. හැබැයි බණ අහන්න හිටියේ නෑ. වටේ ඇවිද ඇවිද හිටියා. කාලය ගත වුණා. යළි සිටු මාළිගයට ගියා. අනේපිඬු සිටුතුමා නිවැසියන් ඇමතුවා.

“දරුවනි, අද අපගේ පුත්‍රයා උපෝසථ සිල් අරන් නෙව. ඉක්මනින් කැඳ බත් ආදිය ලෑස්ති කරන්න.”

“බෑ.... එහෙම බෑ... මට ඉස්සෙල්ලාම කහවණු සීය ඕන. බත් කන්නෙ පස්සේ.”

අනේපිඬු සිටුතුමා දරුවා පෙළීමට ඇති අකමැත්ත නිසා කහවණු දුන්නා. සල්ලි ගත්තට පස්සෙයි ඔහු කෑම කෑවේ.

ඊළඟ දවසේ සිටුතුමා මෙහෙම කිව්වා.

“පුතේ... මං තීරණය කළා අද පුතාට කහවණු දාහක් දෙන්න ඕන කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහින් වාඩි වෙලා ඉන්න ඕන. එක බණ පදයක් ඉගෙන ගෙන එන්න ඕන.”

මෙය ඇසූ පමණින් ඔහු සතුටු වුණා. දෙව්රම වෙහෙරට ගියා. ශාස්තෘන් වහන්සේ ඉදිරියේ වාඩිවුණා. අදහස තිබුණේ එක දහම් පදයක් ඉගෙන ගෙන ඉක්මනින් පැනලා යන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ධර්මය මතක තබා ගැනීමේ හැකියාව දුර්වල කොට අවබෝධ කිරීමට පමණක් සැලැස්සුවා. ඒ නිසා මේ දරුවා මතක තබාගැනීමට දුර්වල වූ නිසා මතක තබාගැනීමේ අදහසින්ම වැඩි වැඩියෙන් අවධානය යොමු කළා. වැඩි වැඩියෙන් සවන් යොමු කළා. බලවත් ව යොමු කළා. තමන්ගේ පින මතු වුණා. ඒ වාඩි වී සිටි ආසනයේ ම සෝවාන් ඵලයට පත්වුණා. ඔහු ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඉතා සතුටින් පිටත් වුණා. එදා සිටු මාළිගයට ගිය ඔහු මුදල් මතක් කළේ නෑ.

පසුවදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. සිටුතුමාට මෙහෙම හිතුණා. ‘අද මාගේ පුතාගේ වෙනසක් දකින්න ලැබෙනවා. බොහොම පැහැදීමෙන් ඉන්නවා වගෙයි.’

කාල සිටු පුත්‍රයාත් මෙහෙම හිතුවා. ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපගේ පියාණන් මට සල්ලි දුන්නොත් වස ලජ්ජාව... එතකොට මං මේ සිල් රකින්න ගියේ සල්ලි වලට ආසාවෙන් කියලා හිතනවා නෙව. ඒ නිසා පියාණන් සල්ලි නොදෙන එකයි හොඳ..’

අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට කැඳ පූජා කළා. පුතාටත් කැඳ දුන්නා. ඔහු නිශ්ශබ්දව කැඳ බී බත් අනුභව කළා. දානය අවසානයේ දී මහ සිටුතුමා කහවණු දහසක පොදියක් රැගෙන ඇවිත් මෙහෙම කිව්වා.

“ඔන්න පුතේ ඔයාගේ කහවණු දහස. ඔයා උපෝසථ සිල් අරගෙන පැමිණීමේ පොරොන්දුවටනේ මං මේ සල්ලි ගෙවන්නේ.... ආ..... මෙන්න... ඔයාගේ සල්ලි...”

බුදුරජාණන් වහන්සේ ඒ දෙස බලා සිටියා. දරුවා මහත් ලජ්ජාවෙන් හැකිළී ගියා.

“අනේ පියාණෙනි, මට කහවණු වලින් වැඩක් නෑ.”

“ඒකට මක්වෙනවද පුතේ.... ගන්න....”

ඒත් ගන්නෙ නෑ. එතකොට අනේපිඬු සිටුතුමා මෙහෙම කියනවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද මේ දරුවා හරි අමුතුයි. හරී පැහැදීමකින් ඉන්නවා. ඇවතුම් පැවතුම් හරි ප්‍රසන්නයි.”

“ඇයි සිටුතුමනි, කුමක් වුණාද?”

“ස්වාමීනී, මං කලින් දවසේ කහවණු සීයක් දෙන්නම් කියලයි විහාරයට යැව්වේ. එදා ගිහින් ඇවිදින් සල්ලි ගන්න තුරු බත් කෑවෙත් නෑ. අද කහවණු දහසක් බලෙන් දෙන්න හදද්දිත් කැමති නෑ.”

“පින්වත් සිටුතුමනි. ඒක හරි. අද ඔබගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ සම්පත්තියටත් වඩා උතුම් වූ, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත්තියටත් වඩා උතුම් වූ සෝවාන් ඵලයට පත්වෙලා නෙව ඉන්නේ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මෙම මධුර වූ ගාථා රත්නය වදාළා.

පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං

එක පියවරකින් දෙව් ලොව ගියත් උතුම් නොවේ. සියලු ලොවට රජෙක් වුණත් එයත් උතුම් නැත්තේ ඒ හැමටම වඩා උතුම් සෝවාන් ඵලයයි. නිවන් මගට බැසගන්නා දහමයි මොහු දැක්කේ පින්වත් දරුවනේ, දැක්කා නේද මව්පියන් ඉතා ඤාණවන්ත අයුරින් දරුවන්ට ධර්ම දායාදය ලබා දෙන අයුරු. මෙකල පවා ශ්‍රද්ධා සම්පන්න මව්පියන් තම දරුවන් කුඩා අවදියේ පටන් ධර්මයෙහි හික්මවනවා. එයට අකමැති වුණොත් ආදරණීය මව් පියවරුන්ගේ හිත් රිදෙනවා.