Print this Article


මිනිස්කමට වටිනාකමක් දෙන්න පැමිණි මඟට වඩා යහපත් මඟක් තෝරාගන්න

මිනිස්කමට වටිනාකමක් දෙන්න පැමිණි මඟට වඩා යහපත් මඟක් තෝරාගන්න

කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං - කිච්ඡෝ බුද්ධාන උප්පාදෝ

පින්වතුනි,

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරි රුකක් මුල වැඩ සිටින සමයෙක ඒරකපත්ත නම් නාරජ අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කර වදාළ සේක.

මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම ශාසනයෙහි මහණ ව දිවි ඇතිතෙක් මහණ දම් පිරුවෙකි.

එකල කිසියම් කරුණක් සඳහා ගඟකින් එතෙරවීමට අගුලකට නැඟ යද්දී ඒරු අත්තක් අල්ලා ගත්තේ ය. ක්‍රමයෙන් අගුලේ යන විට එම ඒරු අත්තේ එක් පතක් කැඩුණේ ය. උපසපන් භික්ෂුවකට එය සුළු ඇවතක් වුව ද එම ඇවතින් නිදහස්වීමට ඇවැත් දෙසීම නොකළ බැවින් විපිළිසරව මියගොස් ඔරුවක් පමණ වූ විශාල නාරජෙක් ව උපන්නේ ය. එම නාරජ ඒරකපත්ත නම් අති මහත් ආනුභාව ඇත්තෙක් විය.

අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව මහරිරුකක් මුල මෙදින වැඩ සිටියේ එම නාරජුට මෙන්ම සෙසු ජනතාවට සිදුවන යහපත සඳහා ය. මේ අවස්ථාවේ නා රජ එතැනට අවුත් බුදුරදුන් හමුවේ අඬන්නට විය. එතෙක් කලක් මිනිසත් බවක් නොලැබීමත්, බණ ඇසීමක් මෙන්ම, බුදුකෙනෙකුන් නොදැකීමත් නිසා ශෝක සන්තාප ඇති වූ බව ද ප්‍රකාශ කළේ ය.

මෙම කාරණය නිමිති කරගෙන අප තථාගත බුදුරජාණන් වහන්සේ ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම ගාථාවෙන් ඉතා දුර්ලභ කාරණා හතරක් දක්වා ඇත. මිනිසත් බව ලැබීම, මිනිසුන්ගේ දිවි පැවැත්ම, සදහම් ඇසීම හා බුදුවරුන්ගේ උපත ය. එම දුර්ලභ මිනිසත් බව ලද නමුත් අඳ, ගොළු, බිහිරි, කොර ආදී අංගවිකල වුවහොත් ඒ මිනිසත් බවෙන් වන අර්ථ සිද්ධියක් නැත.

යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ ආදි අපමණ ජීවීන් අතර මිනිස් සමාජයේ ක්‍රියාකාරීත්වය ඉතා අසිරිමත් වන්නේ ය. සෙසු සතුන්ට වඩා යමක් සිතන්ට, නිර්මාණශීලීව ක්‍රියා කරන්ට, සාධනීය වශයෙන් සමාජයට ආදර්ශයක් දෙන්නට මිනිසාට සුවිශේෂ හැකියාවක්, ක්‍රමානුකූලව සිද්ධියෙන් සිද්ධියට මනස මෙහෙයවන්නට විඥානයක් ඇත.

මිනිසත් බව ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මිනිසා විසින් කළයුතු කාර්යයන් අතර, මිනිසා තමාම හඳුනා ගැනීම, මිනිසා හැකි පමණින් මිනිසාට සේවය කිරීම, දානාදී පින්දහම් කිරීම හා මරණාසන්න චිත්ත වීථිය පවිත්‍රකර ගැනීම ප්‍රධාන ය.

විශේෂයෙන් මේ සියලු කාර්යයන් ඉටු කර ගැනීමෙහිලා කායා දී තුන්දොර සංවර කරගත යුතු වන්නේ ය. මිනිසුන්ගේ දිවි පැවැත්ම ඉතා දුෂ්කර ය. මෙයට බලපාන ප්‍රධාන හේතු කීපයක් ඇත. කෘෂිකර්මාදී විවිධ ජීවන උපායන් ක්‍රියාත්මක කිරීම, ජරාවෙන් පරිහාණියට පත්වීම හා පංචකාම රසාස්වාදය ඉතා කෙටිවීම ය.

මිනිසා උපන්දා පටන් තම ජීවනය සඳහා වයස අනුව ක්‍රියාත්මක කරන කාරණා කටයුතු අපමණ ය. මවගෙන් ලබන පෝෂණය සඳහා ඇඬීමේ පටන් ක්‍රමයෙන් ළදරු දසකය තුළ ආහාර පාන ඇඳුම් පැළඳුම්, බේත් හේත්, සේලලම් බඩු අවශ්‍ය වන්නේ ය.

යළි ඉගෙනීම, ගමන් බිමන් යෑම පොත් පත් ගැනීම රැකී රක්ෂා ආදී අපමණ අවශ්‍යතා මෙන්ම තරුණවියේ දී ආවාහවිවාහ, ඤාති සංග්‍රහ මඟුල්, අවමඟුල් සඳහා ද විශාල වෙහෙසක් ගත යුතු වන්නේ ය.

මෙතරම් දුෂ්කරතා විඳිමින් දිවි පෙවෙත පවත්වාගෙන යන විට ක්‍රමයෙන් අභ්‍යන්තර හා බාහිර වද වේදනාවලට ද, මුහුණපාන්නට සිදු වන්නේ ය. අන්ධානුකරණය නිසා පුද්ගලාන්තරව ගැටීමේ දී පොලීසිය, අධිකරණය, බන්ධනාගාරය ආදී ස්ථාන සම්බන්ධ කරදර වද වේදනාවන්ට භාජන වන්නේ ය.

යහපත් ජීවන මාර්ගයකට අවශ්‍යවන පරිසරය සකස් කරගන්නා ආකාරය අප බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

එහෙත් නවීන ලෝකයේ ජීවන රටාව අනුව පියවරෙන් පියවරට ගමන්කොට තමන් පැමිණි ගමන හා යන ගමන හොඳ නරක වශයෙන් විශ්ලේෂණය කරන්නට සිහි කල්පනාවක් නැත. එහෙත් නුවණැත්තා නිසසලව තම ජීවන රටාව ආගම දහම අනුව සකස් කරගෙන දෙලොව ජය ගන්නේ ය.

මිනිසත් බව ලැබුවත් එයින් උපරිම ප්‍රයෝජන නොගතහොත් මරණින් මතු කිනම් භවයක උපදින්නේ දැයි කිව නොහැක.

ලෝක ධර්මතා සම්බන්ධව වෙනත් ආගමික නායකයන් දේශනා කළ අදහස් යම්කිසි සීමාවක් තුළ හේතු හා ඵල වශයෙන් ක්‍රියාත්මක වන නමුත් සංසාර විමුක්තිය උදෙසා ප්‍රමාණවත් නොවන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ විශ්වයේ සෑම තැනම ක්‍රියාත්මක වන නිසා විශ්වය යනු චතුරාර්ය සත්‍ය ධර්මතාවයේ නොනවතින චලනාත්මක සංකලනයකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සර්ව සිද්ධි ත්‍රිලක්ෂණය නිසාම විශ්වයේ පැවැත්ම සිදුවන අතර, සත්ව සන්තතියේ අපේක්ෂාවන් සර්වප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ නොවීම සොබාදහමෙන් සිදුවන ආශ්චර්යමත් සිදුවීමකි.

මිනිසා කෙතරම් කාලය පාලනය කරගෙන ජීවන ගමන් මඟේ ඉදිරි පියවර තැබුවත් කවර අවස්ථාවක හෝ බාධාවක් පැමිණෙන්නේ ය. එම අපේක්ෂාභංග දුක්ඛ වේදනා විඳීමට සෑම සත්වයා ම සූදානම්විය යුත්තේ ම ය.

ලොව්තුරා බුදු කෙනකුන් දැකීම කෙසේ වෙතත් බුද්ධ යන වචනය අසන්නට පවා ලැබෙන්නේ මෙම විශ්වයේ විපරීත, විපර්යාශ කෝටිගණන් ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ය. එහෙත් අප ලබා ඇති මෙම භාග්‍යවන්ත කාලපරිච්ඡේදය දැන දැනම නිකරුණේ හැරියොත් අප කරගන්නේ අමානුෂික අපරාධයකි.

මිනිසා, මිනිසත්බවේ උපරිම පල නෙළා ගැනීමට යන මාර්ගය සම්පූර්ණයෙන් සාවද්‍ය බව දැන් සමස්ත ජාතීන්ටම අවබෝධ වී ඇත්නම් ලෝක නායකයන් දැන්වත් සාමයෙන්, සතුටින් එක් රැස් වී සමස්ත සත්ව සන්තතියටම අනුකම්පාවෙන් මානව අභිසංස්කරණයක් ඇති කර ගත යුතු වන්නේ ය.

ආදි ශිලා යුගයේ පටන් යළිත් එම යුගයටම යන්නට පෙර මිනිසා මනුෂ්‍යත්වයේ වටිනාකම හඳුනාගන්නට පැමිණි මාර්ගයට වඩා හොඳ මාර්ගයක් තෝරාගත යුතු වන්නේ ය. එසේ නොමැතිනම් මිනිසා මතු ලෝකයට අමනුෂ්‍යයෙක් වන්නේ ය.

“ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී”

යන දහම් පදයෙන් සද්ධර්මය හා එය පිළිපැදීමේ ප්‍රතිඵල ද, දැක්වෙන්නේ ය.

මෙම දුක්ඛ දායක අවස්ථාවේ සදහම් හොඳින් දන්නා අය පෙරට අවුත් දුප්පත්කමින්, නූගත්කමින් හා වසංගත වේදනාවෙන් පීඩාවට පත්වෙන සත්වයන්ට හැකි හැම අයුරින්ම උපකාර කරන්නට උත්සාහවන්න.