Print this Article


ඓතිහාසික වල්බෝතලේ පොත්ගුල් රාජමහා විහාරය

ඓතිහාසික වල්බෝතලේ පොත්ගුල් රාජමහා විහාරය


ධර්ම ශාලාව

ඓතිහාසික වල්බෝතලේ පුරාණ පොත්ගුල් රජමහ විහාරය, අනුරාධපුර යුගයේ ගෝඨාභය රජතුමන් විසින් ස්ථාපිත පොළොන්නරු, දඹදෙනි , ගම්පොළ, නුවර ආදී යුගයන්හි රාජ්‍ය අනුග්‍රහය වරින් වර ලැබූ සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විහාරස්ථානයකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වල්බෝතලේ කන්ද ආශ්‍රිතව පිහිටා තිබේ.

ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව මෙම විහාරයේ නිර්මාතෘ වන්නේ ගෝඨාභය රජතුමා ය. සිරිසඟබෝ රජු හිස දන්දීමෙන් පසුව සංවේගයට පත් ගෝඨාභය රජු එම සාපරාධී ක්‍රියාවෙන් අත්මිදීමට බොහෝ වෙහෙර විහාර කරවීය. මෙලෙස කරවූ වෙහෙර විහාර අතුරින් එකක් ලෙස වල්බෝතලේ විහාරය ද හැඳීන්විය හැකි ය.

විහාරස්ථානය සතු විවිධ පුරාකෘති, ලිපිගොනු, පුස්කොළ ලේඛන වලට අනුගතවත්, දඹදෙනි රාජධානියට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පැවතීමත් යන හේතු සාධක මත පදනම් ව මෙම විහාරයේ ස්වර්ණමය යුගය ලෙස දඹදෙනි යුගය පෙන්වා දිය හැකි ය. ඒ පිළිබඳ විහාර භුමිය මධ්‍ය කොටසට වෙන්නට පිහිටා ඇති ගල් තලාවේ දඹදෙනි යුගයේ පාෂාණ කොටස් වෙන් කරගත් කොරි සලකුණු තුළින් වත්මනෙහි ද පැහැදිලි වේ.

ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් ගල් ආයුධ සකස් කර අවශේෂ වූ න්‍යෂ්ටි තිරිවානා කැබලි කිහිපයක් විහාරස්ථාන යෙන් හමුවීමත් සමඟ මෙම බිමෙහි ඉතිහාසය ප්‍රකාශ කරන පැරණිතම සාධකය ලෙස එය පෙන්වා දිය හැකි ය.

රාජ ස්පර්ශිත බෝධීන් වහන්සේ ආසන්න භූමියේ සංවර්ධන කටයුතුවලදී හමු වී ඇති කාසි කිහිපයකින් ද මෙම විහාරස්ථානයේ ක්‍රියාකාරී වූ එක් යුගයක සාධක අනාවරණය කරනු ලබයි.

මධ්‍යකාලීන කාසි වන අතර ශ්‍රී රාජ ලීලාවතී, සහස්මල්ල, විජයබාහු, පරාක්‍රමබාහු යන පොළොන්නරු යුගයේ පාලකයින් ද, දඹදෙනි යුගයේ පරාක්‍රමබාහු සහ බුවනෙකබාහු නරපතීන් නිකුත් කළ කාසි ද මේ අතර වේ.

මෙම සාධක අනුව පොළොන්නරු හා දඹදෙනි කාලවකවානු තුළ මෙම භූමිය ක්‍රියාකාරී මට්ටමක පැවති බව නිගමනය කළ හැකි ය.

මධ්‍යකාලීන කාසිවලට අමතරව විහාරස්ථානයේ පවතින වටිනා පුස්කොළ පොත් සංචිතයේ ඇති පුස්කොළ පොත් කම්බාවලට යෙදූ පැරණි චීන කාසි හා බ්‍රිතාන්‍ය යුගයේ කාසි කිහිපයක් ද මේ අතර වේ.

එමෙන්ම මෙම විහාරය ආශ්‍රිතව දඹදෙනි යුගයට අයත් දෙමහල් බුද්ධ මන්දිරයක් වූ බවත්, මහල් දෙකකින් යුක්ත මෙහි ඉහළ මාලයේ දහඅට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද, වර්තමානයේ ද සුරක්ෂිතව ඇති පුස්කොළ ලේඛන තැම්පත් කොට තිබූ පොත්ගුල ද, පහළ මාලයේ සංඝාවාසය ද තිබූ බවත් ගම්පොළ යුගයේ කීර්ති ශ්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා නැවත උඩුමහලේ දොළොස් රියන් උස විෂ්ණු ප්‍රතිමාවක් කරවා ලෝකඩ පාසළඹක් ද නිධන් කොට ඇත. මෙම සළඹ වර්තමානයේ ද සුරක්ෂිතව පවතී. 1920 දශකයේ හායනයට ලක්ව ඇති මෙය ඉවත් කොට අසල මාර්ගය නිර්මාණය කළ බවත් දායක සභා වාර්තාවක අන්තර්ගත වේ.

එසේම මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයක් තිබූ බවත් 1960 දශකයේ පමණ එය විනාශ වූ බවටත් සඳහන් වන අතර, මෙහි ලී උළුවහු කැබලි කිහිපයක් අදට ද ශේෂ ව පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණයට ලක් කොට ඇති මහනුවර හෝ දඹදෙනි යුග වලට අයත් යැයි සැලකිය හැකි බුමුතුරුණක් හා ඓතිහාසික ලේන්සු මේවා තුළින් ද මෙම ස්ථානයේ වටිනාකම හා පැරණිතාවය මනාව පැහැදිලි කරයි. මේවායෙහි අන්තර්ගත සිතුවම් තුළින් බ්‍රිතාන්‍ය යුගයේ සමාජ පසුබිම පිළිබඳ අධ්‍යයනය කළ හැකි ය.

මෙම පුරාවිද්‍යාත්මක දත්ත වලට අමතරව දඹදෙනි හා මහනුවර යුගවල රචිත පුස්කොළ පොත් ද මෙම විහාරස්ථානයේ ඉතිහාසය දක්වන වැදගත් සාධක ය. මෙම පුස්කොළ පොත් ගොනුවේ ජාතකපොත, පටිච්චසමුප්පාදය, සතිපට්ඨානය, අනාගතවංශ දේශනාව, විමානවත්ථු ප්‍රකරණය, පූජාවලිය, ථුපවංශය, යෝගරත්නාකරය යනාදී ඉතා වැදගත් පොත් රාශියක් ඇති අතර, සංරක්ෂිත මෙම පොත් සංචිතය දැක බලා ගැනීමට බොහෝ දෙනා විහාරස්ථානය වෙත ඇදෙයි.

මෙම ස්ථානය පුස්කොළ පොත් රචනා කළ ස්ථානයක් බවටත් ඇතැම් සාධක සාක්ෂි දරයි.

අදවන විට වන්දනාමාන කරන විහාරය ද ක්‍රි.ව 1900 දී කරන ලද නිර්මාණයකි. එමෙන්ම මෙම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ඇවුනුගල්ලේ රේවත නාහිමියන් විසින් ක්‍රි.ව 1870 වේ දී පමණ නිර්මාණය ආරම්භ කරන ලද කළුගල් කණු වලින් සමන්විත තුන්මහල් ධර්ම ශාලාව ක්‍රි.ව 1900 දී කැලෑගෙදර සුනන්ද නාහිමියන් විසින් වැඩ නිමකොට තිබේ. වර්තමානයේ මෙම ධර්ම ශාලාව පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබේ.

ජෝන් ඩොයිලි නම් දේශාඨකයා විසින් බ්‍රිතාන්‍ය අවධියේ දී රචනා කළ දිනපොතෙහි ද මෙම ඓතිහාසික වෙහෙර සහ ග්‍රාම නාමය සඳහන් වේ.

අතීතයේ පටන් විවිධ මහ තෙරුන් වහන්සේලා මෙම විහාරයේ වැඩ වාසය කර තිබේ. මෙම වල්බෝතලේ රජමහ විහාර සංඝ පරම්පරාව ආරම්භ වන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ සංඝ පරම්පරාවට යටත්ව ශිෂ්‍යානු ශිෂ්‍ය පිටියේ ගෙදර සඟ පරපුර නමිනි. අස්ගිරි මහා විහාරයේ විදර්ශනාධූරී තුඹගොඩ ස්වණ්ණජෝති අනු නාහිමි, අස්ගිරි මහා විහාරයේ ග්‍රන්ථධූරී පිටියේගෙදර චන්දජෝති අනුනාහිමි, අස්ගිරි මහා විහාරයේ හත්කෝරළ මහා දිශාවේ අනුනායක දඹදෙනියේ ධම්මජෝති අනුනාහිමි, ඇවුනුගල්ලේ රේවත නාහිමි, කැලෑගෙදර සුනන්ද නාහිමි, කරවිලකුඹුරේ සරණපාල නාහිමි, වත්මන් විහාරාධිපති සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක යක්විල සෝමාලෝක නාහිමි යන සංඝශෝභන නාහිමිවරු මෙම විහාරයේ වැඩ වාසය කරමින් මේ දක්වා විහාරස්ථානය සංවිධිත මටිටමකට ගෙන ඒමට කටයුතු කර ඇත.

වර්තමානයේ ද සීනාදී සිව් කෝරළයට අයත් හාපිටිගම් කෝරළයේ පැරැණි ශාසන ප්‍රතිපදාවන් ශේෂ ව පවතින රමණීය වූත්, සැදැහැ ජනනය කරවන්නාවූත් විහාරස්ථානයක් ලෙස මෙම පින් බිම හැඳීන්විය හැකි ය.