Print this Article


ගුණානුස්මරණ සැමරුම

ගුණානුස්මරණ සැමරුම

බුදුසරණ පුවත්පතේ ආරම්භක සාමාජිකයකු මෙන්ම එහි හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ දයාසිරිවර්ධන මහතාගේ දසවන ගුණානුස්මරණය අදට (26) යෙදී තිබේ. මහා පත්‍ර කලාවේදියෙකු වූ පියසේන නිශ්ශංක ශූරීන් සමඟ බුදුසරණ පුවත්පත ආරම්භ කිරීමට මූලික වූ දයාසිරිවර්ධන සිංහල, ඉංග්‍රීසි, පාලි සංස්කෘත භාෂා විෂයෙහි උගතකු මෙන්ම ජ්‍යෙතිෂය විද්‍යාව පිළිබඳ විෂාරදයෙක් ද විය.

ජනමාධ්‍යවේදීන්ගේ සේවා සුරක්ෂිතභාවය වෙනුවෙන් අධිකරණයට ගොස් තම වෘත්තිය ගෞරවය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් අත්කරදුන් ඒ මහතා තම නමට අමතරව දයා, ගොවිදු, සිරිවැඩි, දහම් සොඬ, සදසි යන ආරූඪ නම්වලින් පුවත්පත් කලාවේ නියැලිණි.

ප්‍රවීණ ගුරුවරයකු සමාජ සේවකයකු ලෙස රටේ කීර්තිමත් නමක් දිනා සිටි දයාසිරිවර්ධන තමා විශාරදත්වය පෑ ක්ෂේත්‍ර මඟින් රටදැය සමය වෙනුවෙන් අනගි මෙහෙවරක නියැළිණි.

බුදුසරණ පුවත්පත හරහා සම්බුදු දහම වෙනුවෙන් ඒ මහතා සිදුකළ සේවාව අතිමහත් ය. මෙරට ජනප්‍රිය ගිහි පැවිදි බෞද්ධ ලේඛකයන්ගේ සාරගර්භ ලිපි ඇතුළත්ව මෙරට අග්‍රගණයේ පඬිවරු රැසක් සමඟ බුදුසරණ පුවත්පත ඔස්සේ දයාසිරිවර්ධන සිදු කළ ශාසනික සේවාව අදත් සදා අනුස්මරණීයව සිහිපත් කරති.