Print this Article


ඓතිහාසික නාරම්මිණිය අශෝකාරාමයේ අසිරිමත් පින්කමක්

ඓතිහාසික නාරම්මිණිය අශෝකාරාමයේ අසිරිමත් පින්කමක්

කැලණිය ඓතිහාසික පුරවරයක් බවට සම්භාවනාවට පත්වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ පාදස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත්වූ දා සිට ය.

බුදුරජාණන් වහන්සේ මණිඅක්ඛිත නාරජුගේ ආරාධනයෙන් කැලණිය පුදබිමට වැඩම කොට ධර්මය දේශනාකර වදාළේ මිණිපළඟක් මත සිටය.

එම උතුම් අවස්ථාව පොතපතින් කියවූවද, බිතු සිතුවමින් නැරඹුව ද, දෙසවනින් ඇසුව ද දෙනෙතින් දැක බලා ගැනීමේ මූර්තියක් නොතිබීම බරපතළ අඩුපාඩුවකි. මේ අඩුව මැනවින් අධ්‍යයනය කළ කැලණිය නාරම්මිණය අසෝකාරාමාධිපතීන් වහන්සේ හා දායක සභාව, බුදුරදුන් කැලණියට වැඩම කොට දම් දෙසන අයුරු නිරූපිත බුදුපිළිම වහන්සේ තම විහාර ස්ථානයේ ඉදිකිරීමට විධිවිධාන සැලසීම අගය කටයුතු ශාසනික මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි ය. මෙම නිර්මාණය ලංකාවාසී බෞද්ධයන්ට පමණක් නොව විදේශ වලින් පැමිණෙන සංචාරකයන්ට ද දෙනෙතින් නරඹා ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙන් ම ශ්‍රද්ධා භක්තිය දියුණුකර ගැනීමට ද හේතුවන බව සඳහන් කළ යුතු ය.

****

සුවිශේෂී කාර්යභාරයක්

1980 වර්ෂයේ දී කුඩා පැල්පතක් ලෙස ආරම්භ කළ මෙම අශෝකාරාමය අදවන විට අෂ්ඨාකාර දාගැබ, ධර්ම මන්දිරය , විශාල සංඝාවාස ගොඩනැඟිල්ල, මෙන්ම වාහල්කඩ ද නිර්මාණය කරමින් මහා විහාරයක් දක්වා සංවර්ධනය කර ඇත.

කැලණිය රාජමහා විහාරයේ නොමඳ ආශිර්වාදයත්, ගැවිලිපිටියේ පඤ්ඤාරංසි තිස්ස අනුනායක ස්වාමින් වහන්සේගේ, අනුශාසනයත් යටතේ විහාරස්ථානයේ ආගමික කටයුතු කරන අතර, වාර්ෂික සිළුමිණි මහා පෙරහර පැවැත්වීම, ධර්මරාජ ධර්ම විද්‍යාලය නමින් දහම් පාසලක් ආරම්භ කර දූ පුතුන් වෙනුවෙන් සෑම වසරක ම පොත් හා අවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම, ගැබිනි මව්වරුන්ට පෝෂණාධාර ලබා දීම, දුෂ්කර පාසල් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, දුෂ්කර ගම්මාන තුළ දාගැබ් 05 ක් ඉදිකිරීමට මූලිකත්වය ගැනීම ආදි වූ සුවිශාල සමාජ මෙහෙවරක නිරන්තරයෙන් නියැළීමට හැකි වීම අපි ලද මහා භාග්‍යයක් සේ සලකමු.

මෙම සියලු කර්තව්‍යයන් සාක්ෂාත් කර ගැනීමට ආධාර උපකාර කරන ශ්‍රද්ධාවන්තයෝ බොහෝ වෙති. ඒ අතර යාවජීව දායක පිරිස මෙන්ම සතර පේරුවේ දායක පින්වතුන්ගෙන් ලද උපකාරය කෘතවේදී ව සිහිපත් කරන්නෙමු.

එළඹෙන මැදින් මස 04 වන දින රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ ගෞරවනීය ආරාධනයෙන් කැලණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, කොළඹ ගංගාරාමාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්, අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් අභිනවයෙන් ඉදිකරන මැණික් පුටුවේ වැඩසිටින බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල් ගල තැබීමට කටයුතු සූදානම් කොට ඇත.

එය කැලණි පුරවරයට නව ආලෝකයත් ලබා දි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරනු ලබන අමිල මෙහෙවරක් සේ ම පින්කම් හි නියැළී නිවන් සාදා ගැනීමට වෙර දරන සත්පුරුෂ සැමට සිදු කරනු ලබන මා හැඟි අවස්ථාවක් යැයි මම විශ්වාස කරමි.

****

කැලණි පුරවරයට ආලෝකයකි

ඓතිහාසික කැලණි විහාරයේ පහස ලබමින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙන නාරම්මිණිය ශ්‍රී අශෝකාරාමයේ මැදින් මස 04 වන දින සුභ මොහොතින් මුල්ගල තැබෙන මැණික් පුටුවේ වැඩසිටින බුදුන් වහන්සේගේ ප්‍රතිමාව නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරුණකි.

ඓතිහාසික වටිනාකමකින් යුක්ත නාරම්මිණිය ප්‍රදේශයේ මෙවන් සුවිශාල ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට විහාරාධිපති කුරුඳුවත්තේ ඥානසිරි හිමියන්ගේ මනැස මෙහෙයවීම කැලණි පුරවරයට නව ආලෝකයක් එක් කිරීමකි. එබැවින් සියලු ලෝ වැසියන්ට ජීවමාන බුදුරදුන්ට නමස්කාර කරන්නා සේ පින් රැස් කර නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමෙහිලා පිළිවෙතින් පෙළගැසේවා යැයි ප්‍රාර්ථනය කරමි.