Print this Article


මහා සංඝ රත්නයේ මව්පියන්ට

මහා සංඝ රත්නයේ මව්පියන්ට වසරකට නිවාස 2000 ක් දෙන ‘මිහිඳු නිවහන’

දුෂ්කරතා රැසක් මැද සසුන්ගතව, මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිදීම අරමුණු කරගෙන මිහිඳු නිවහන නමින් නව නිවාස සංවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස මෙම “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ආරම්භ විය.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ‍සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක උලෙළ සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රාජමහා විහාරයේ දී පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගැන්නුවේ ය.

ප්‍රතිලාභීන් උදෙසා පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම සංකේතවත් කළ අග්‍රාමාත්‍යතුමා, ප්‍රතිලාභීන් වන එන්.එම්. විජේකෝන් බණ්ඩා, බී.ආර්.එම්. ගුණසේකර, ඒ.එම්. සෝමසිරි වෙත පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කළේය.

“මිහිඳු නිවහන ව්‍යාපෘතිය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” යටතේ, සම්බුද්ධ ශාසනය ප්‍රමුඛස්ථානයේලා ආරක්ෂා කිරිමේ ප්‍රතිපත්තිමය තීරණය මත පිහිටා ක්‍රියාත්මක කෙරේ.

2021 වසර තුළ පළමු නිවාස 2,000 සාදා නිම කිරීමට සැලසුම් සකස් කර තිබේ. ඉන් අනතුරුව එළැඹෙන සෑම වසරක දීම ගෙවල් 2,000 බැගින් සාදා නිම කිරීමට අපේක්ෂා කෙරේ. මේ අනුව, වසර කිහිපයක් ගත වනවිට ලංකාවේ භික්ෂූන් වහන්සේගේ මවුපියන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවට කමිටු සාමාජිකයන්ගේ විශ්වාසය යි. මේ යටතේ නිවාස ඉදිකිරීමට ලක්ෂ 6ක ආධාරයක් ලබාදෙන බව ද අතිරේක ලේකම්වරයා පවසයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ යෝජනාවක් අනුව මිහිඳු නිවහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

‍මේ පිළිබඳව අදහස් දැක්වූ අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ මේ කටයුත්ත සම්බුද්ධ ශාසනයේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ හා පොදුවේ බොදු සසුනේත් දිගුකාලීන දියුණුවට පැවැත්මට ඉවහල් වන වැඩසටහනක් බවයි.

අප කළ විමසීමේ දී මේ පිළිබඳ ව කරුණු පළකළ “මිහිඳු නිවහන” වැඩසටහනේ සැලසුම් නිර්මාතෘ කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි පවසන්නේ මේ වැඩසටහන නිර්මාණය කළේ යුද්ධයෙන් පීඩාවට පත් පවුල්වලින් ශාසනයට එක්වූ සාමණේරවරුන්ගේ සිතට පිළිසරණත් සමඟ ඒ හිමිවරුන්ගේ දුප්පත් මව්පියන්ගේ හිසට සෙවණක් ලබාදීම අරමුණු කරගෙන බවයි.