Print this Article


වියෝ වූ පසු...

වියෝ වූ පසු...

තනි නොතනියට ළඟින් ඉන්න පි‍්‍රයයකුගේ වියෝගය මොන තරම් දුක්බරද? මහමෙරක් තරමට ඒ බර දැනුණත් වෙන්වීම නම් කෙසේ මඟ හරින්න ද? ලෝ දහම හැමට ම පොදු ය.

උපදින මතු දා සමීපයෙහි ම ඉපදෙන්නැ’යි අයදිමින් වියෝගයේ දී, බොහෝ ජනයා හඬා වැළපෙති. ඒ දුක හිතෙන සිත යම් තරමකට හෝ රවටා ගන්නට ය.

ඝෝර සසර මඟ නේක කටුක බව දන්නෝ නම් එසේ නොරැවටෙති. ඉපදීමේ දුක මතු සසරටත් ප්‍රාර්ථනා කිරීමේ බිය ඔවුහු මනා කොට හඳුනති. උතුම් නිවනින් නිවී සැනසෙන්නට ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසාම ය.

ලෝ දහම අබිමුවෙහි දුක, සතුට සමව විඳි අප මුතුන් මිත්තෝ, අපට ඉගැන්වූයේ ද ඒ පාඩමය. වෙන්ව යෑමේ අමිහිරි මතකයේ අවසානයක් පැතූ එදා ගැමියා වේදනාව විඳ දරා ගත්තේ මොනතරම් උපේක්ෂාවෙන් ද?

හදවතේ සිර නොකොට දුක බෙදා ගත් අයුරු ඔවුන් කළ කවි කම් හි මනා කොට නිර්මිත ය. ඥාති මිතුරන් සේ ම, මිනිසත් බවක් නො ලද සතුනට ද සම ව පෑ ආදරය කරුණාව මොන තරම් අපූරු ද?

මා බාලේ ඇති කළ තලගොයි පැටියා
මගෙ තනියට මිදුලේ කෙළ කෙළ සිටියා
උගෙ මරුවා ඇවිදින් ඌ අරන් ගියා නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

මරණය සැමට ම පොදුය. කොතැන, කවදා මියෙනු ඇති දැයි දන්නේ මරුවාම ය. තනි නොතනියට සිටිය සුරතලාට සේ ම තමන්ට ද ඒ ඉරණම අත්වන බව එදා කවියා දුටුවේ ය.

සම්බුදු දහමින් ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගත්තෝ වෙන්වීම හමුවේ වුව දහමට පිටු නොපා යති. උපත විපතක පෙර නිමිති බව දන්නා ඔහු තලගොයි පැටියාට ද නිවන් සුවයම පතයි. ඒ මතු බවයකදීත් අකල් මරණයකට ගොදුරු වීමේ වේදනාව නොවිඳීමට ය. ඒ අපේ මුතුන් මිත්තන්ගේ පරාර්ථකාමී සිත ය.

ආදරයේ, සෙනෙහසේ සැබෑ අර්ථය එය ම නොවේ යැයි අපි කෙසේ කියමුද?