Print this Article


පහන් සිතක කවි

අපාගත නොවෙමු

දුලබ වූ මිනිසත් බවක් ලබන්නට
පින් ඇති වූ අපට
බුදුන් වහන්සේගේ ශ්‍රී සදහම් අසන්නට
පින් කළා වූ අපට
අපා ගත වීමට සිදු වුණොත් මතු
මොන තරම් නම් අවාසනාවක් ද එය
අපාගත නොවීමට පින් පුරන්න
බුදු බණ අසන්න - දහමෙහි සරන්න
නිර්වාණාවබෝධය ලබන්න

****

මිරිඟුව පසුපස

පරතෙර නොපෙනෙන
මේ වැලි කතරට
කුමකට කොතැනින් ආවාදෝ

සැනසුම හිමි වී කෙම්බිම හමුවී
කවදා මෙතැනින් පිටවේදෝ

දෑත දෙපය මත වාරුව අරගෙන
කඳු හෙල් පසු කළ මේ ගමනේ
නොපෙනෙන කෙළවර
මේ මහ කතරේ
තවත් බොහෝ දුර යායුත්තේ

උඩින් දැවෙනවා යටින් දැවෙනවා
දෙපයින් ගිනි කඳු මැඩවෙනවා

****

පොහොසත්කම

පොහොසත් අය
දෙස බලා
ඒ ගැන සතුටු වේ නම්
ඔබ ඔවුන්ටත් වඩා
පොහොසත් ය.

****

සිත

නැත එක තැනෙක සිත සිතු තැන ඇවිදිනවා
නිල් බොර දිය ද පිරි ගඟ සේ විසිරෙනවා
එක්ටැම් මැදුරෙ සිර කොට මෙත් වඩවනවා
දමනය කරන විරු නිවනින් සැනසෙනවා

****

කවදාද?

උතුම් දහම් පද වෙත යොදවා සවන
ධර්මය පිළිබඳව යොදවා තම නුවණ
අවසන් කරන්නට කර්මය අප ගෙවන
ලැබ ගත හැකිද? කවදා සුන්දර නිවන

****

මෙවර ජයග්‍රාහී කවිය

සිල්මෑණී

සිඳ බිඳ දමා සසරට බැඳි පුරුදු බැමී
ආදරණීය සිතකට බැති හැඟුම දෙමී
ඔබ වැඩි අරණ සැනසෙයි මෙත් දියෙන් තෙමී
කහමල් පිපෙයි රහතුන් වැඩි මගට නැමී

පුදසුන අබියසම පිවිතුරු මල් පිපුණා
විදසුන් වඩන සිතකට ලෝකය පෙනුණා
බුදුගුණ ගායනාවට හදවත නැමුණා
නැළවිලි ගීත තාලය පිරිතෙන් ඇසුණා

සංවර නිසා හදවත තුළ නැගෙන සිතුම්
නැත සිත පෙළන්නේ මායා සිහින පැතුම්
බණ පද මිහිරි ලෙස කරනා විටද ගෙතුම්
අම්මා ඔබයි ඇවිලෙන ලොව නිවුනු උතුම්

****

කර්මය

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා”
ගමනේ නිමාව දකින තුරු
උපයමු සපයමු ගුණ දහම්
කර්මය කරගමු යහ මිතුරා
දුරලමු පරදමු පොදු සතුරා

****

පියතුමනි

කරුණා මුදිතාවේ උල්පත
දසතම සුවඳයි
ආදර පියතුම
දුන් ඔවදන් ගඟ
උතුරා යන මුදු සිනහවෙ අසිරිය
දුටු දා සතුටුයි
පින්බර පියතුම.......