Print this Article


තෝරා ගැනීම

තෝරා ගැනීම

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ඉතාම ධනවත් පුද්ගලයෙක් සිටියා. ඔහු ධනවතෙක් විතරක් නොවෙයි, උගතෙක්. එක් උපාධියක් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනුත්, අනිත් උපාධිය අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙනුත් ලබා ගත්තා.

ඒ විතරක් නොවෙයි දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. උසයි. පෙනුම කඩවසම්. ඔහු බොහෝම අංග සම්පූර්ණ මනුස්සයෙක් නිසා අංග සම්පූර්ණ ගැහැනියක් විවාහ කරගන්න ඕන කියලා හිතුවා. සිඩ්නි නුවර පුරාම සොයා බැලීමෙන් පසු හරිම ලස්සන ගැහැනු ළමයෙක් මුණ ගැහුණා. මේ ගැහැනු ළමයා කිහිප සැරයක් මුණ ගැහුණාට පස්සේ එයා නම් කසාද බඳින්න සුදුසු නැහැ කියලා ඔහු තීරණය කළා.

ගැහැනු ළමයා ලස්සන වුණත් උයන්න පිහන්න බැරිවීම අඩුපාඩුවක්. ඊට පස්සෙ ඔහු ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට ගියා. එහිදී ඔහුට හරිම ලස්සන ගැහැනු ළමයෙක් මුණ ගැහුණා. මේ ගැහැනු ළමයා ලස්සන විතරක් නොවෙයි, එයාට අයිති අවන්හල් කිහිපයකුත් තිබුණා. විවාහයට සුදුසු අංග සම්පූර්ණ සහකාරිය සොයන්න හිතාගෙන, මේ ගැහැනු ළමයා එක්ක ටික කාලයක් ආශ්‍රය කළාම, මේ ධනවතා ඒ ගැහැනු ළමයාත් අත්හැර දැම්මා.

රූමත් වුවත්, උයන්න පිහන්න දැනගෙන හිටියත්, මේ ගැහැනු ළමයා, සෑහෙන්න මෝඩ විත්තිය තේරුණාම ඒ වැඩේත් අත්හැර දැම්මා. ඒ ළමයාට ඒ හැටි උගත්කමක් තිබුණේ නැහැ. ඇයත් එක්ක යමක් කමක් කතා කරන්න තරම් දැනුමක් තේරුමක් තිබුණේ නැහැ.

අන්තිමේදි මේ ධනවතා, ඔහු එයා ගමන පටන් ගත්ත පර්ත් නුවරටම ආපහු ආවා. එයාට ලෝකේ ලස්සනම ගැහැනු ළමයා මුණ ගැහුණා. එයා ලස්සනයි විතරක් නොවෙයි, එයාටම අයිති අවන්හල් තුනක්ම තිබුණා. ඒ විතරක්ම නොවෙයි, මේ ගැහැනු ළමයා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේත්, අමෙරිකාවේ පි‍්‍රන්ස්ටන් විශ්වවිද්‍යාලයේත් උපාධි ලබාගෙන තිබුණා.

මේ ගැහැනු ළමයා අංග සම්පුර්ණ ව සිටියත්, ඔහුට මේ ගැහැනු ළමයා කසාද බඳින්න බැරිවුණේ වෙන කාරණයක් නිසා නොවෙයි, ඒ ගැහැනු ළමයා හැම දෙයකින්ම අංග සම්පූර්ණ කෙනෙක් කසාද බඳින්න බලාපොරොත්තුව සිටි නිසයි.

මේක තමයි ගැටලුව. අපි සැමවිට ම අනෙක් අය අංග සම්පූර්ණ විය යුතු යැයි සිතාගෙන සිටිනවා. ඒ වුණත් අපි අසම්පූර්ණයි