Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 36 කොටස: ධම්මකිත්ති නාහිමියන්ගේ වියෝවෙන් නාගදීපයම ශෝක වෙයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 36 කොටස:

ධම්මකිත්ති නාහිමියන්ගේ වියෝවෙන් නාගදීපයම ශෝක වෙයි

ඒ සමඟම නා හිමියන්ගේ අපවත්වීමේ පුවත දූපත පුරා පැතිර යන්නට විය. ඒ බව සැලවී නාගපූෂණී කෝවිලේ පූසාරිවරයා රාත්‍රියේ ම විහාරයට පැමිණියේ ය. සෙසු ජනතාව ද රාත්‍රිය නොබලාම විහාරයට පැමිණෙන්නට විය.

නාගදීප විහාරාධිපති ධම්මකිත්ති නාහිමියන් අපවත් වූ බව පදුමකිත්ති හිමියන්ට දුරකතනයෙන් දැන ගන්නට ලැබුණු අතර, පදුමකිත්ති හිමියන් ඒ බව පවසන්නට යද්දී විහාරස්ථානයේ වැඩ සිටි විජිතසිරි හිමියන් පැවසුවේ කාමරයේ සිට නාහිමියන් පදුමකිත්ති හිමියන් ඇමතූ බවයි. එහෙත් එය අසා සිටි පදුමකිත්ති හිමියෝ මෙසේ පැවසූහ.

‘‘නෑ.... උන්නාන්සෙ... නායක හාමුදුරුවො මීට පැයකට විතර කලින් අපවත් වුණා‘‘

‘‘.... මො.. මොනවා.. එතකොට.... මම දැක්කෙ‘‘.... විජිතසිරි හිමියෝ වික්ෂිප්ත වූහ.

ඒ සිදුවීම කුමක්දැයි කියන්නට පදුමකිත්ති හිමියන් දැන සිටියේ නැත. එමෙන්ම විජිතසිරි හාමුදුරුවන්ට එවන් මුසාවාදයක් පැවසීමට ද අවශ්‍ය නැත. විශේෂයෙන්ම ඒ වෙලාවේ ම එවැන්නක් පැවසීම අවශ්‍ය නැත. එමෙන්ම නාහිමියන් අපවත් වූ බව පළමුවෙන්ම දැන ගත්තේ ද පදුමකිත්ති හිමියන් ය.

නා හිමියන්ගේ අපවත් වීම දැනගත් විගස පදුමකිත්ති නා හිමියෝ නාවික හමුදා කඳවුරට ගොස් ඒ බව දැනුම් දුන්හ. එහි අණ දෙන නිලධාරියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් විහාරයට පැමිණියහ. .

ඒ සමඟම නා හිමියන්ගේ අපවත්වීම දූපත පුරා පැතිර යන්නට විය. ඒ බව සැලවී නාගපූෂණී කෝවිලේ පූසාරිවරයා රාත්‍රියේ ම විහාරයට පැමිණියේ ය. සෙසු ජනතාව ද රාත්‍රිය නොබලාම විහාරයට පැමිණෙන්නට විය.

එයින් මඳ වේලාවකට පසුව පදුමකිත්ති හිමියන්ට තවත් දුරකතන ඇමතුමක් ආවේ ය.

පදුමකිත්ති හිමියන් ඇමතුවේ දෙමටගොඩ නාගදීප විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් ය.


නා හිමියන්ගේ වියෝවෙන් බලවත් ශෝකයට පත් නාගදීපයේ දෙමළ කාන්තාවක් හා ශෝකයට පත්ව සිටි පදුමකිත්ති හිමියන් අස්වැසීමට දෙමළ ජාතිකයකු කටයුතු කළ අයුරු

‘‘ නායක හාමුදුරුවො අපවත් වුණා. ආදාහන කටයුතු කොළඹදී කරන්නයි අපි සූදානම් කරන්නෙ. උන්නාන්සෙත් ඉක්මනට කොළඹට වැඩියොත් හොඳයි‘‘

ඒ කතාව ඇසූ පදුමකිත්ති හිමියන්බොහෝ කනගාටු විය. තමන් සමඟ එකතු වී වසර ගණනාවක් යුද ගිනිදැල් මැද වාසය කළ තමන්ගේ නායක හිමියන්, තමන්ගේ පැවිදි පියාණන් වහන්සේ මෙසේ කොළඹට ගෙන ගොස් ආදාහනය කිරීම ගැන පදුමකිත්ති හිමියන් කිසිසේත්ම එකඟ වූයේ නැත.

‘‘මොනව කවුද ඒ තීරණේ ගත්තෙ කාගෙන් අහලද? පදුමකිත්ති හිමියන් ආවේගයෙන් යුතුව විමසන්නට විය.

‘‘ඒ තීරණ ගන්නෙ අපි. උන්නාන්සෙගෙන් අහන්න ඕන නැහැනෙ‘‘

‘‘ආ...හරි හරි.. මම ඒක බලාගන්නම්‘‘

සීවලී හිමියන් එහා කොනේ සිට දුරකතනයෙන් තවත් මොනවාදෝ පවසන්නට වූ නමුත් පදුමකිත්ති හිමියෝ දුරකතනය තබා යළිත් ඇමතුමක් ගත්හ. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් දයා සඳගිරි මහතාට ය.

‘‘නාවික හමුදාපතිතුමා, අපේ නායක හාමුදුරුවො අපවත් වුණා‘‘

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ, මටත් දැන් ආරංචි වුණා. අපෙන් දැන් මොනවද වෙන්න ඕන‘‘

‘‘අපේ මහත්තය, මට නායක හාමුදුරුවන්ගෙ දේහය ගෙනැල්ල දෙන්න. නායක හාමුදුරුවො මෙහේ මාත් එක්ක ඉඳගෙන නාගදීපෙ රැක ගත්තෙ පණ වගේ. උන්නාන්සෙ නැත්නම් මමත් මෙහේ නොඉන්න තිබුණා.‘‘

‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ මම එහෙම කරන්නම්.‘‘

එහෙත් පදුමකිත්ති හිමියෝ කොළඹ හිමිවරුන්ගේ අදහස ද නාවික හමුදාපතිවරයාට හෙළි කළහ.

‘‘අපිට නායක හාමුදුරුවන් බාර දුන්නෙ ඔබ වහන්සේනෙ, එහෙම එකේ අපේ වගකීම වෙන්නෙ ඔබ වහන්සේට ම ආපහු නායක හාමුදුරුවන් බාර දෙන එකයි, ඒක ඒ විදිහටම කෙරෙයි.

කොළඹ හිමිවරු කිහිප දෙනෙකුම නාහිමියන්ගේ ආදාහන උලෙළ කොළඹ පැවැත්වීමට උත්සාහයක් දැරූව ද එය සාර්ථක නොවුණේ නාවික හමුදාපතිවරයා විසින් ඍජු තීරණයක් ගත් නිසා ය.

එසේ වුවත් දේහය මහජන ගෞරවය පිණිස දින 3ක් කොළඹ තබා ගත් අතර පසුව නාහිමියන්ගේ දේහය පලාලි දක්වා ගුවනින් ගෙනවිත් ගුවන් තොටුපොළේ සිට පුෂ්පෝපහාර මධ්‍යයේ නාගදීපයට වැඩම කරවීම පදුමකිත්ති හිමියන්ගේ අපේක්ෂාව විය.

එල්.ටී.ටී.ඊ. සටන් විරාමය නිසා ගැටලුවක් ද නොවීය. නාගදීපයේ සියලු දෙමළ ජනතාව එකා මෙන් නාහිමියන්ගේ ආදාහනය වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළහ.

ත්‍රස්තවාදීන් යුද්ධ කරද්දී ඔවුහු නාවික හමුදාවට ආදාහන කටයුතු සංවිධානය කරන්නට සහාය ලබා දුන්හ. ගුවන් මඟින් නා හිමියන්ගේ දේහය පලාලි ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ අතර, නා හිමියන්ගේ දේහය නාගදීපයට වැඩම කිරීමේ දී නාවික හමුදා ගෞරවාචාර මධ්‍යයේ රැගෙන ඒමට කටයුතු සිදු කෙරිණි. ත්‍රස්තවාදී ප්‍රහාර මැද හානියට පත්ව තිබූ නාගදීපයේ ජැටිය යළි සකසන්නටත්, ජැටියේ සිට විහාරස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්නටත් විය.

පලාලි ගුවන් තොටුපොළ වෙත ගෙන ආ නාහිමියන්ගේ දේහයට ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිරිනමන ලදී. මහත් ගෞරවාචාර මධ්‍යයේ නාගදීපයට ගෙන එන ලද නා හිමියන්ගේ දේහය විහාරස්ථානයේ තැන්පත් කෙරුණේ නාගදීප වැසියන්ගේ ගෞරවය පිණිස ය. ඇතැම් වයෝවෘද්ධ පිරිමි ගැහැනු පැය ගණනක් නා හිමියන්ගේ දේහය අසල හඬා වැළපුණහ.

තෙදිනක් ශ්‍රී දේහය නාගදීපයේ ජනතාවගේ ගෞරවය පිණිස විහාරස්ථානයේ තැන්පත් කර තිබූ අතර නා හිමියන්ට ගෞරව පිණිස පැවැත්වීමට නියමිතව තිබූ දෙමළ ජනතාවගේ විවාහ මංගල්‍යයක් පවා කල් දමන ලදී. නාගදීපයේ ජනතාව එතරම් ගෞරවයක් ආදරයක් නා හිමියන් කෙරෙහි දක්වන ලදී.

නා හිමියන්ගේ ආදාහනය සිදු කෙරුණු. 2003 අප්‍රේල් 21වැනිදා දවල් භික්ෂූන් වහන්සේ උදෙසා හත් දවසේ දානමය පින්කම ද පවත්වන ලදී.

ආදාහනය සිදු කෙරුණේ එයින් පසුව ය. ආදාහන උත්සවයට රජයේ මෙන්ම විපක්ෂයේ ද මැති ඇමැතිවරු රැසක් සහභාගි වූහ. ඒ අතර ඇමැතිවරුන් වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර, මහාචාර්ය ජයලත් ජයවර්ධන, කරු ජයසූරියද වූ අතර විපක්ෂ නායක වූ මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණියේ ය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාව සිටි එවකට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙන්ම උතුරු පළාත් නාවික ආඥාපතිවරයාද නාවික හමුදාපතිවරයා ද, මේ උත්සවයට පැමිණ තිබුණි.

රාජ්‍ය අනුග්‍රහයෙන් ආදාහන උත්සවය පැවැත්වෙන නිසා එයට සහභාගි නොවන ලෙස එල්ටීටීඊ සංවිධානය විසින් නාගදීපයේ දෙමළ ජනතාවට දැනුම් දී තිබුණි.