Print this Article


පුතුනේ මේ අහගන්න පුතුනේ

පුතුනේ මේ අහගන්න පුතුනේ

ලෝකය යන වචනයට විවිධ ක්‍රමවලට අරුත් සැපයීමට හැකි ය. ඒ අතර ලෝකය යනු මිනිසාත්, සත්ව ලෝකයත්, සොබා දහමත්, පරිසරයත් යන චතුර්විධ කාරණාවන්ගේ එකතුවක් යැයි සැලකීම එක් අර්ථ නිරූපණයකි. ඒ චතුර්විධ කාරණා අතර එකිනෙකා කෙරෙහි පවත්නා අන්‍යොන්‍ය හිතවත්කම, ළෙන්ගතුකම, එකිනෙකාට පිහිටවීමේ උදාර ගුණය නිසාම ලෝකයේ ඉදිරි පැවැත්ම තහවුරු වන බව අපට පැහැදිලි කරුණකි.

මෙහි දී අපගේ විශේෂ අවධානයක් යොමු විය යුතු සුවිශේෂ කරුණක් ඇත. එනම් සාධාරණ පිළිවෙතකට අනුව මානව හිතකාමී ව මිනිසා ජීවත් වන්නේ නම්, සොබා දහම, සත්ව ලෝකය, පරිසරය අපට හිත පක්ෂව අවනත වෙමින් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය.

මෙම අසිරිමත් ලෝකයේ ඇති එකී උත්තරීතරභාවය සිංහල සාහිත්‍යකරුවා තම සාහිත්‍ය නිර්මාණයන් පෝෂණය කිරීමෙහිලා උපයෝගී කරගත් අයුරු සිංහල සාහිත්‍ය පරිශීලනයේ දී කොතෙකුත් දක්නට ලැබේ.

කරුණාරත්න අබේසේකරයන් විසින් රචිත, සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලැබූ මෙම පදවැල මෙම දේශයේ කාගේ නම් සවන් ස්පර්ශ නොකළේ ද?

තමා පුංචි කාලයේ දී හඳ මාමා කියූ කතාවක් මව විසින් තම පුංචි දරුවාට පවසනු ලබන ආකාරයෙන් කවියා මෙම පදවැල ඉදිරිපත් කරයි.

වනාන්තරයක සැළලිහිණි ජෝඩුවක් ඔවුන්ගේ පුංචි පැටවා රැකබලා ගෙන ලස්සන ගීත කියමින් නළවන බව පවසයි. සංගීතයට වන සතුන් පවා නිවී සැනසී සැතපෙන බව කවියා ඉදිරිපත් කරන්නේ අතිශයින් ම චමත්කාර ජනක සිදුවීමක් ලෙසින් ය. පුංචි කරුලු කූඩුවක පවා තිබෙන අසිරිමත් සුන්දරත්වය කො තරම් නම් අපූරු ද?

“හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇළ දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුණා”

දිනක් බලාපොරොත්තු නොවූ වේලාවක මහා වැස්සක් පැමිණ ඇළ දොළ ගංගා දෙගොඩ තලා ගලා යමින් ඇති වුණ විපතේ දී මෙම පුංචි කරුලු කූඩුව තිබුණු ගස ද සුළඟට ඇද වැටීම කවියා මෙහි ශෝකාන්තය ලෙස ඉදිරිපත් කරයි.

මෙහි දී සිදු වූ අසිරිමත් සිදු වීමක් විය. එය කවියා ඉස්මතු කොට දක්වන්නේ ශ්‍රාවකයාගේ විශේෂ අවධානය පිණිස ය.

“අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා”

බිම ඇද වැටුණු කුරුලු කූඩුවේ සිටින තම කුරුලු දරුවා බදා ගන්නා මෙම කුරුලු මව්පිය දෙදෙනා මහා හයියෙන් විලාප නඟන්නේ සිය පවුල ජීවත් වුණ පුංචි නිවහන විනාශ වීම නිසා නොව තම පුංචි කුරුලු දරුවාට වුණ විපත දරා ගැනීමට නොහැකිව ය. ඔවුහු දරුවා බදාගෙන අතොරක් නැතිව විලාප නඟති.

“කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු වීලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුණා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුව සේ”

ඉන්පසු සිදු වූයේ අරුම පුදුම දෙයකි. එනම් මේ මුළු තුන් ලෝකෙට ම ලොක්කා වන සොබාදහම මවගෙත්, පියාගේත් දරු දුක දකියි. ඒ දයාබර දාරක ස්නේහයට ඔහුගේ සිත උණු වී යයි. අනතුරුව එම අසීමිත දාරක ස්නේහයට හිස නමමින් සොබාදහම වැසි බිඳු අහසට ඇදගත් අයුරු කවියා ඉදිරිපත් කර ඇත්තේ ලොව සියලුම දෙනාගේ විශේෂ අවධානය යොමු කරවමිනි. එනම් එය අස්වාභාවික සිදුවීමකි. එහෙත් ලෝකයේ පවතින සාධාරණත්වය වන සතුන් තුළ පවා පවතින අන්‍යොන්‍ය හිතවත්කම්වලට, ළෙන්ගතුකම්වලට, මව්පිය දූ දරු සෙනෙහසට, කරුණා මෛත්‍රී ගුණයන්ට සොබාදහම අවනතව කටයුතු කරන බව කවියා අවධාරණය කරයි.

අනතුරුව සිය පුංචි කුරුලු පවුල සතුටින් ජීවත් වුණ ආකාරය කවියා පවසන්නේ අතිශයින්ම හෘදයානන්දයෙනි.

“පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න//
මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න//
පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක් උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැළෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇළ දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුණා
අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු වීලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුණා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුව සේ
පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න//”