Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 24: ගැමුණු කුමරු ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්

දුටුගැමුණු මහ රජතුමා - 24:

ගැමුණු කුමරු ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්

කුමාරයා ටික කාලයක් වෙස් වළාගෙන ගොවියකු ලෙස සිටීවි. එහිදී කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කළ හැකි දේ කරාවි. දක්ෂ තරුණයන් තෝරාගෙන ඔවුන් යුද පුහුණු කඳවුරුවලට යොමු කරාවි.

වේළුසුමන එතැනට පැමිණියේ ය.

“මේ හී පත කාගෙන්ද?” අසමින් දාව ආචාර්යතුමා එය වේළුසුමනට පෙන්වීය. ආචාර්යතුමනි නිසැකව ම මෙය ගැමුණු කුමාරයාගේ හී පතක්. එහි අත් අකුරු කුමරුගේ යි.

“එසේ නම් ඔහු ළඟ පාතක සිටිනවාද?”

“එය එසේ විය හැකියි ආචාර්යතුමනි.”

“කුමාරයා ළඟපාතක සිටීනම් මෙහි පැමිණ රාජ්‍ය භාර ගත හැකියි නේද?”

“ආචාර්යතුමනි කුමාරයාට සැලසුම් කරගත් වැඩ පිළිවෙළක් තියෙනවා. හමුදාව තර කිරීම, කෘෂිකර්මය දියුණු කිරීම ඇතුළු විශාල වැඩ කොටසක් ඉටු කළ යුතුයි. ඒ සඳහා තවත් ටික කාලයක් ඔහු සැඟවී සිටින්නට කැමතියි. එම නිසා කුමාරයාගේ ඉල්ලීම භාරගන්න. ඔහුගේ ක්‍රමවේදයට අනුව රට පාලනය කරන්න.

"ගැමුණු කුමාරයා පාලනය භාරගත් බවට දැනටමත් ගිරි රාජ්‍ය පුරාම ප්‍රචාරය වෙලා. ඒ නිසා රට තුළ මහත් ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා. ඔබතුමාගේ පාලන කටයුතුවලට සහයෝගය ලබාදීමට මම විටින් විට මෙහි පැමිණෙන්නම්. "

“හොඳයි වේළුසුමන, රට එක්සේසත් කිරීමේ අපේ අනාගත වැඩපිළිවෙලට සම්බන්ධයක් තිබෙන නිසා කුමාරයාගේ ඉල්ලීම අනුව ගිරි රාජ්‍යයේ පාලනය මම භාර ගන්නම්. මෙහි පවතින තත්ත්වය පිළිබඳ කාවන්තිස්ස රජතතුමාට දැනුම් දෙන්න. සුදුසු කෙනකු තෝරා පත්කර එවනතුරු කුමාරයාගේ අභිලාෂයට අනුව මා එම කාර්යය සාර්ථකව ඉටු කරන්නම්.හැකි ඉක්මණින් මට ගැමුණු කුමරු හමුවීමට අවශ්‍යයි.”

“ගැමුණු කුමාරයා තව නොබෝ දිනකින් ඔබ හමුවට ඒවි. ගිරි නුවර අර්බුදය දැනගත් වහා මා මෙහි පැමිණියා. කිසිවකුත් මා පැමිණි බව දන්නේ නැහැ. ඒ නිසා හෙට උදෑසනම මා යනවා. දින කිහිපයකින් නැවත එන්නම්. මා මෙහි පැමිණි බවත් ගැමුණු කුමාරයා හමුවූ බවත් කිසිවකුටත් කියන්න එපා.”

“වේළුසුමන, නුඹගේ සේවය අති විශිෂ්ටයි. ගැමුණු කුමාරයා ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක්.”

“දාව ආචාර්යතුමනි, කුමාරයා ටික කාලයක් වෙස් වළාගෙන ගොවියකු ලෙස සිටීවි. එහිදී කෘෂිකර්මාන්තය දියුණු කිරීමට කළ හැකි දේ කරාවි. දක්ෂ තරුණයන් තෝරාගෙන ඔවුන් යුද පුහුණු කඳවුරුවලට යොමු කරාවි.”

"නමුත් වේළුසුමන, අපේ ප්‍රධාන කාර්යය වන රට එක්සේසත් කිරීමේ සටන ආරම්භ කිරීම තවත් ප්‍රමාද වෙනවා. ඒ වගේම මහරජතුමාට අපහාස කළ ගැමුණු කුමාරයා පිළිබඳ යුද සේනාංක තුළ කළකිරීමක් ඇතිවිය හැකියි නේද?

“සුළු පිරිසක් අතර අප්‍රසාදයක් තිබෙනවා. නමුත් වැඩි පිරිසක් තුළ තිබෙන්නේ කුමාරයා ගැන ප්‍රසාදයක්. බහුතරයක් කුමාරයාට ආදරෙයි. පිය රජතුමාට කාන්තා අභරණ යැවීම වීරකමක් ලෙස සලකන පිරිස වැඩියි.”

“නමුත්, මහරජතුමා කෙරෙහි සේනාංක අතර කළකිරීමක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්නට ඕනෑ. පසුගිය වසර ගණනාවක් පුරා එතුමාගෙන් යුද්ධය සංවිධානය කිරීම සඳහා ලැබුණු දායකත්වය කිසිවකුටත් අමතක කළ නොහැකියි.

“වේළුසුමන, මමත් කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්මයි. ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ යුද පුහුණු කඳවුරුවල කරන දේශනයන් ඒ සඳහා පිටිවහලක් වේවි. විහාරමහා දේවිය බුද්ධිමත්ව කටයුතු කරන නිසා ඒ දේ පහසු වෙනවා.

“කවුරු කෙසේ කීවත් මෙවර මාගම රජමාළිගයට යන මට කවර ආකාරයේ ගැටලුවලට මුහුණ දෙන්නට වේදැයි කියන්නට බැහැ. ඔබතුමාට මෙන්ම මටත් ගැමුණු කුමාරයා වෙනුවෙන් පැවරූ වගකීමක් තියෙනවා. එම වගකීම ඉටුකිරීමේ සාර්ථකත්වය අනාගතයේ දී දැක ගත හැකි වේවි.”

විහාරමහා දේවිය දුරදිග බලා කටයුතු කරනවා. එක ගැටලුවක් ලිහා ගන්නට ගොස් එතුමිය තවත් ගැටලු ඇතිකර ගන්නේ නැහැ. නමුත් ගැමුණු කුමරුගේ ප්‍රශ්නය නිසා රජමාළිගයේ තත්ත්වය උණුසුම් වී ඇත.”

“අපි රජමාළිගයට යමු.”

පසුදා හිමිදිරි උදෑසනම ගැමුණු කුමාරයා ආරක්ෂක භටයාට දන්වා පුරෝහිත මන්දිරයෙන් පිට විය. ස්වල්ප වේලාවකට පසුව වේළුසුමන ද අසු පිට නැගී පිටව ගියේ ය.

ගැමුණු කුමරු ද අසු පිටෙහි නංවාගත් වේළුසුමන හෝරාවක් පමණ කාලයක් කඳු හෙල් අතරින් පහළට බැස්සේ ය.

“මෙතැන නවතින්න. මෙතැන් සිට මගේ ගමන තනිවම යා යුතු යි. වේළුසුමන ආපසු යන්න. මා ගිය තැනක් සොයා ගන්නට බැරි වූ බව දාව ආචාර්යතුමාට පවසන්න.”

“දාව ආචාර්යතුමාට ලියූ හසුන්පතක් මා ඔබට දෙනවා. එය ඔහුට දෙන්න. මගේ පලා යාමෙන් සැවොම කැළඹේවි. එහෙත් කරන්නට දෙයක් නැහැ. ගිරි රාජ්‍ය අරාජික නොකර පාලන කටයුතු කරගෙන යන්නට ඕනෑ. මා දාව ආචාර්යතුමාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. එතුමා එය පිළිගනීවි.”

වේළුසුමන දෙමාසයක් අවසානයෙ මා හමුවන්නට එන්න. හිරු නැගී හෝරාවකට පසුව මා බැලුම්ගලට එනවා. අපිට එහිදී හමුවීමට පුළුවන්. මා ඉතා ඉක්මනින් පැමිණෙන බව මෑණියන්ට පවසන්න.

වේළුසුමන අසු හරවාගෙන ආපසු යන්නට හැරුණේ ය. ගැමුණු කුමරු ඉදිරියටම ගියේ ය.