Print this Article


එකතු වෙලා කරන පව් විඳීන්න වෙන්නෙත් එකටමයි

එකතු වෙලා කරන පව් විඳීන්න වෙන්නෙත් එකටමයි

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ එක් පින්වන්ත දියණියක් මිනිස් ලොව ඉපදී සිටියා.

ඇය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා ශ්‍රද්ධාව පෙරදැරිව තමන්ට හැකි උපරිම ලෙසින් නිතර නිතර දන් පූජා කළා. නොයෙක් ප්‍රණීත ආකාරයෙන් දන් පිදුවා. දිනක් භාග්‍යවතුන් වහන්සේ උපාසිකාවන්ට අගතනතුරු පිරනමද්දී එබඳු උපාසිකාවන් අතර, මේ බුදු සසුනේ අග්‍ර වන්නේ සුප්පාවාසා උපාසිකාව කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

සුප්පාවාසා උපාසිකාවත්, ඇගේ සැමියාත් උතුම් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලයි සිටියේ. සතර අපායෙන් නිදහස් වූ අඹුසැමි යුවළක්.

ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කුණ්ඩියා කියන නගරයේ කෙළවරට වීමට තිබුණ කුණ්ඩදාන කියන වනයේ යි. ඒ කාලයේ මේ සුප්පාවාසා උපාසිකාව ජීවිතයේ නො සිතූ අර්බුදයකට මුහුණ පා සිටියා. අපේ ජීවිතවල තිබෙන ප්‍රශ්න සමඟ බැලූවිට මේ සුප්පාවාසා උපාසිකාව විඳි ප්‍රශ්නය බොහෝ දුක් සහගත එකක්.

ඇය විඳී දුක තමයි, අවුරුදු හතක් දරු ගැබක් දරාගෙන සිටීම. සාමාන්‍යයෙන් මාස නවයක් පමණ යනවිට දරු ගැබ මෝරා දරුවා මෙලොවට බිහි වෙනවා. නමුත් මේ සුප්පාවාසාගේ දරුවා අවුරුද්දක්, දෙකක් , තුනක් ගෙවී ගියා බිහිවූයේ නැහැ. අවුරුදු හතක් දරුවෙකු කුසේ දරාගෙන සිටීම මවකට ලෙහෙසි දෙයක් නොවේ. ගැබක් තුළ අවුරුදු හතක් සිර වී සිටීමත් ලෙහෙසි පහසු දෙයක් නොවේ. අවුරුදු හත ගෙවුණාට පසු දින හතක් ඇය දැඩි ප්‍රසව වේදනා වින්ඳා. ඇයට මෙහෙම වුණේ ඇයි?

සුප්පාවාසාත්, ඇගේ කුසේ සිටි දරුවාත් අතීතයේ එක් ආත්මයක සිත මෙහෙයවා කළ කර්මයක විපාකය යි ඒ.

එක්තරා ජීවිතයක මේ සුප්පාවාසා බරණැස් නුවර මහ රජුගේ අග්‍ර මහේසිකාව වී ඉපිද සිටියා. බරණැස් මහරජුටත්, ඒ දේවියටත් පුත් කුමරෙක් ඉපදුණා. පුන් සඳක් මෝරණවා වගේ මේ පුත් කුමරා හොඳීන් හැදී වැඩුණා.

කාලයක් යද්දී කොසෙල් රටේ රජ කළ කොසොල් රජුට සිතුණා බරණැස් නුවරත් තමා යටතේ ම තිබුණානම් හොඳයි කියලා. ඊටපසුව මේ කොසොල් රජු මහා සේනාවක් රැස්කර බරණැස් නුවර වට කළා. බරණැස් රජු සමඟ යුද්ධ කළා. ඒ යුද්ධයෙන් බරණැස් රජු මරණයට පත්වුණා. කොසොල් රජු බරණැස් නුවර යටත් කරගෙන ඉතාමත් සුරූපි, තරුණ කාන්තාවකව සිටි ඒ බරණැස් රජුගේ අගබිසව අල්ලාගෙන තමාගේ අග මෙහෙසිය බවට පත්කර ගත්තා. බරණැස් රජු යුද්ධයෙන් පැරදුණා කියලා දැනගත් විට ඒ පුංචි කුමරු රජ මැදුරේ තිබූ රහස් දොරටුවකින් පළා ගියා.

කාලයකට පසු සුදුසු කාලය එළඹුණා. මේ කුමාරයා සේනාව සංවිධානය කළා. යුද ශිල්පය මැනවින් ලබා දුන්නා. තමන්ට උරුම රාජධානිය ලබා ගන්න ඕනෑ කියන අදහසින් සේනාව සමඟ පැමිණ බරණැස් නුවර වට කළා.

දැන් මේ පුත් කුමරුගේ මව තමයි ඒ වනවිට බරණැස් නුවර පාලනය කරන කොසොල් රජුගේ අගමෙහෙසිය. කුමරු නගරයේ ප්‍රධාන වාසල දොරටුව ළඟ සිට යුද්ධය ප්‍රකාශ කළා. “රජතුමනි, වහාම යටත් වෙන්න. නැත්නම් යුද්ධයට එන්න”

කොසොල් රජු කියා සිටියා,

“ඔබට යටත්වීමක් මගේ නැහැ. පුළුවන් නම් යුද්ධයකට එන්න “ කියලා.

ඒ වෙලාවේ මේ දේ දැනගත් කුමරුගේ මව වූ අගමෙහෙසිය කාටත් හොරෙන් පුතාට හසුන් පතක් යැව්ව‍ා.

“පුත්‍රය, යුද්ධ කරන්න අවශ්‍ය නැහැ. ඔබට යුද්ධ නොකරම බරණැස් නුවර අල්ලා ගැනීමට ක්‍රමයක් ති‍බෙනවා. ඒ තමා බරණැස් නුවර වට කිරීම. නගරයෙන් පිටතට යෑමටවත්, ඇතුලු වීමටවත් ඉඩ නො දෙන්න. එවිට මිනිසුන්ට ආහාර, ජලය හිඟ වලා ඒ අය යටත් වේවි. එනිසා මේ නගර වටලා රැකවල්ලාගෙන සිටින්න” කියා මව් බිසව කුමරුට පණිවිඩයක් යැව්වා.

ඒ පණිවිඩය ලැබුණ පුත් කුමරු, මේ තමයි මම කළ යුත්තේ කියා ප්‍රධාන දොරටු හතරේ රැකවල් තවත් දැඩි කළා. කිසිවකුට ඇතුළට යාමක් හෝ පිටවීමකට අවසර තිබුණේ නැහැ. මේ ආකාරයට අවුරුදු හතක් නගරය වට කරගෙන සිටියා. නගරවාසීන් ප්‍රකාරවලින් වට වූ නගරය ඇතුළේ සිරවෙලා හිටියේ. දස දහස් ගණනක් එයින් අපහසුතාවට පත්වුණා. වසර හතක කාලයක් එසේ සිටියා.

වසර හතක් ගෙවුණ තැන ඒ මව් රැජින සිතුවා “මෙ තරම් කාලයක් පුතා මේ නගරය වට කරගෙන සිටියා. නමුත් මේ නගරවැසියන් යටත් වුණේ නැහැ. මෙයට හේතුව කුමක් ද?” කියා විමසා බැලුවා. ඇයට පෙනුණේ පුත් කුමරා ප්‍රධාන දොරටු හතර පමණයි වටලාගෙන සිටින්නේ. නමුත් තවත් කුඩා කුඩා දොරටු මේ නගරයට තිබෙනවා. ඒ රටේ මිනිසුන් ඒ ‍කුඩා දොරටුවලින් එළියට ගොස් තමන්ට අවශ්‍ය ආහාර, ජලය ආදිය රැගෙන එනවා. ඒ නිසයි නගර වැසියන් යට‍ත් නො වන්නේ. බිසව පුතාට තවත් පණිවිඩයක් යැව්වා.

“පුත්‍රය, මේ දොරටු හතරට අමතරව තවත් කුඩා දොරටු නගරයේ තිබෙනවා. ඒ සියල්ලම වසා දමන්න. එවිට කාටවත් පිටවීමක් ඇතුළුවීමක් නැති නිසා නගරයේ සිරවේවි” කියා. ඒ ආකාරයට කුඩා දොරටු සියල්ල ද වසා දැමුවා. නගරය දැන් මුළුමණින් ම සිරවෙලා. මිනිසුන්ට අවශ්‍ය කිසිවක් නැති වුණා.

ඒ ආකාරයට දින හතක් ගතවුණා. හත්වන දිනයේ දී නගරවාසීන් දැඩි කෝපයට පත්ව කොසොල් රජතුමා අල්ලා මරා දමා හිස වෙන්කර කුමාරයාට බාර දුන්නා. එදා සිට මේ කුමාරයා බරණැස පාලනය කළා.

එදා සුප්පාවාසා තමයි ඒ මව් රැජිණ. තම පුත්‍රයාට උපදෙස් දුන්නේ නගරය හැම පැත්තෙන් ම වසා තබන්න කියලා. අවුරුදු හතක් නගරය වසා තිබ්බේ මව් රැජිනගේ උපදෙස් මත. ඊටපස්සේ උපදෙස් දුන්නේ දින හතක් නගරය සම්පූර්ණයෙන් හිර කර දමන්න යි. කර්ම විපාකය ඇයට ඒ ආකාරයෙන් ම සැකැසුණා.

මේ ජීවිතයේ දී සුප්පාවාස‍ාව කෝලිය රාජ දියණියක් ව ඉපදෙද්දී ඇගේ කුසේ එදා රාජ කුමාරයා වූ කුමරු උපන්නා. ඒ කුමරු අවුරුදු හතක් මව්කුස තුළ දුක් වින්දේ එදා නගර වැසියන් සිර වී දුක් විඳී ආකාරයට යි.

අවසානයේ කුඩා දොරටුත් වසා දැමු ආකාරයට ඒ මවට විළිරුදාව ඇවිත් දින හතක් අප්‍රමාණ දුක් වින්ඳා. මව් කුස තුළ හිර වී ඒ කුමරාත් දුක් වින්ඳා. මෙයට හේතුව තම තමන් කළ කර්ම විපාකයන්.

ඒ වන විට සුප්පාවාසා සෝතාපන්න වෙලයි සිටියේ. නමුත් ඇයට ද කර්මයෙන් ගැළවීමක් ලැබුණේ නැහැ. හිත මෙහෙයවා කරන ක්‍රියාව අපේ පිටුපසින් එනවා. ඒක දුක් විපාක උපදවා දෙන එකක් නම් ගොනා පිටුපස එන කරත්ත රෝදය ගොනාට දුක පිණිස එනවා වගේ අපේ පිටුපසින් දුක එනවා. ඒ වගේම අප කරන පිනත් හරියට සෙවණැල්ල වගේ අප අත නො හැර එනවා.

සුප්පාවාසා වගේ සෝතාපන්න උපාසිකාවකට මෙ තරම් දුකක් කර්මානුරූප ව ලැබුණා නම්, අප ගැන කවර කතා ද? ඇයගේ කුස තුළ සිර වී සිටියේ ගෞතම බුදු සසුනේ ලාභයන් ලැබීම් අතර අග තනතුරු ලැබූ අපගේ සීවලි මහ රහතන් වහන්සේ යි. කල්ප ලක්ෂයට පෙර පෙරුම්පුරා ආ මහ පුණ්‍යවන්තයෙක් මෙවන් විපතකට ලක් වුණා නම්, සසර කෙබඳු එකක්දැයි අප නැවත නැවතත් විමසිය යුතු නොවේ‍ ද?