Print this Article


මිරිස්සේ ධම්මික නාහිමියෝ

මිරිස්සේ ධම්මික නාහිමියෝ

සිල්වත්, ගුණවත්, ධර්මධර, විනයධර, බහුශ්‍රැත උතුමකු පිළිබඳ නිවැරදි යමක් කියන්නට හෝ ලියන්නට හැකි වන්නේ එම උතුමන් හා දීර්ඝ කලක් ඇසුරු කිරීමෙනි. “සංවාසේන ඛො මහාරාජ ශීලං වේදි තබ්බං...” යනුවෙනි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අධිකරණ නායක ආචාර්ය මිරිස්සේ ධම්මික මාහිමිපාණන් වහන්සේ ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න සංඝ ශෝබන ගුණයන්ගෙන් පිරිපුන් දැයේ පිනට පහළ වූ යතිවරයාණන් වහන්සේ නමකි.

උගතමනා මූලික බණ දහම් ඉගෙන ගෙන නිමවා, උසස් අධ්‍යාපනය කැනඩාවේ වැන්කුවර්හි සයිමන් ප්‍රේෂර් ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගැනීමෙන් අනතුරුව සිය පැවිදි දිවිය කැප කරනුයේ, උන්වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙකු හැටියට දහමින් ලබන ලද සැනසීම ලොව දනන් හට පෙන්වා දීමට ය. අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඇසුර සැබවින්ම ආදර්ශ සම්පන්නය. උන්වහන්සේ තබන පා පියවරකින් ද ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. කොතැනක වැඩසිටිය ද, කවුරු ඇසුරු කළද, ඒ හැම තැනම, හැම දෙනම, පහදවන අපූරු වාසනා ගුණයකින් උන්වහන්සේ යුක්තය. එය පෙර පිනකටම නොව හික්මීම නිසාම ලබන ලද්දකි.

මිරිස්සේ ධම්මික මාහිමිපාණන් වහන්සේ කිසිවකුට, කිසිවිටෙක දොසක් නොකියති. උන්වහන්සේ කළ හැකි දේ සසුන වෙනුවෙන්, රට වෙනුවෙන් උපරිමයෙන් ම කරති.

සිරි සුදසුන් පින් බිමෙහි සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පවත්වන දහම් පාසල් දෙකකි. තුන් දහසකට වැඩි දූ දරුවන් දහම් අධ්‍යාපනය ලබති. උදෑසන බුද්ධ පූජාවෙන් පසු දරුවන්ට සෑම ඉරිදා දිනෙකම හා සෙනසුරාදා දිනෙකම උන්වහන්සේට ම ආවේනික වූ, කාරුණික වදනින් දරුවන් අමතා අනුශාසනා කරනුයේ ඉතාම කරුණාවෙනි. ඒ කාරුණික වදනින් ජීවිත සුවපත් කර ගත් දරුවෝ දස දහස් ගණනින් වෙති. වර්තමානයේ පවතින වසංගත රෝග ව්‍යසනයන් හමුවේ ද අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට සෑම ඉරිදා දිනකම උදෑසන සම්බුද්ධ පූජාව පවත්වා සුපුරුදු ලෙසින් දරුවන්ට අනුශාසනා කරනුයේ සිය යුතුකම ඉටු කරමිනි.

සෑම පොහොය දිනකම ශීල සමාදාන වැඩසටන ද, සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩසටහන ද, පොදුවේ සියලු ආගමික කටයුතු ද පවත්වන අතර දහස් ගණනින් පිරිස ද සහභාගි වෙති. ප්‍රඥා ප්‍රභා සංවිධානය අරඹමින් මාසිකව ධර්ම ග්‍රන්ථ රචනා කොට පළ කරමින් බොහෝ දෙනකුගේ දහම් පිපාසය සංසිඳුවාලයි.

ආගමික වශයෙන් මෙන්ම සමාජික වශයෙන් ද, උන්වහන්සේ සිදු කරනු ලබන සේවය අතිමහත් ය. පාරමී සංවිධානය ඇතිකරවා විවිධ සමාජ සුබ සාධක කටයුතු රාශියක් සිදුකරයි. එමෙන්ම සිරි සුදස්සනාරාම විහාරස්ථ සිරි සදහම් සුව සරණින් මේ වන විට පරිත්‍යාග කොට ඇති රෝද පුටු දහස් ගණනකි. උන්වහන්සේට ලැබෙන පිරිකර පවා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන මහ සඟරුවනට මෙන්ම අවශ්‍ය කෙනකුට පරිත්‍යාග කරති.

මිරිස්සේ ධම්මික මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය පසුගිය පස්වැනිදා (5) ට යෙදී තිබුණි. මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ පහළොවකට අධික ඖෂධ පරිත්‍යාගයක් ද, දෙසීයකට පමණ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ද, සවස හතට ආශිර්වාද පූජාවක් ද, පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි. අප ගුරුදේවෝත්තම ආචාර්ය මිරිස්සේ ධම්මික අධිකරණ මාහිමිපාණන් වහන්සේට සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් තව බොහෝ කල් වැඩවසන්ට නිරෝගී සුවය, දීර්ඝායු සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.