Print this Article


ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වන ජන්ම දිනය නිමිත්තෙනි: නවෝදයක උදාහිරු ඩී.ආර්. විජයවර්ධන

ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වන ජන්ම දිනය නිමිත්තෙනි:

නවෝදයක උදාහිරු ඩී.ආර්. විජයවර්ධන

ලෝක ප‍‍්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවීමට නොහැකි ලාංකේය ජනතාවට ද ලබා දිය යුතුය යන හැඟීමෙන් කටයුතු කළේ ය.

පත්තර මහ ගෙදර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවර ඩී.ආර් විජයවර්ධන මැතිතුමාගේ 135 වන ජන්ම දිනය මෙම මස 23 වෙනි දිනට යෙදී ඇත.

යුග පුරුෂයෙකු ලෙස සැලකෙන මෙතුමා එකල ලී මෝල් හා දැව, ගඩොල් සැපයුම්කරුවකු වශයෙන් සාර්ථක ව්‍යාපාරිකයකු වූ දොන් පිලිප් විජයවර්ධන මැතිතුමාගේ සහ හෙලේනා විජයවර්ධන මැතිණියගේ තෙවෙනි පුත්රුවන ලෙස 1886 පෙබරවාරි 23 වෙනි දින ජන්ම ලාභය ලැබී ය.

සේදවත්තෙ හි පදිංචිව සිටි සැදැහැබර බෞද්ධ පවුලක්වූ විජයවර්ධන පවුල නිරන්තරයෙන් ආව ගිය විහාරස්ථානය කැලණිය විහාරස්ථානයයි. මෑණියන් සමඟ විහාරස්ථානයට ගිය විජයවර්ධන දරුවෝ කුඩා කාලයේ සිටම ආගම දහමට නැඹුරුවූහ.

අධ්‍යාපනය සඳහා කතෝලික පාසල්වලට ගිය ද විහාරස්ථානවලට තව තවත් සමීප වූයේ මෑණියන්ගේ බෞද්ධාගමික වැඩ කටයුවල ප‍‍්‍රතිඵලයක් වශයෙනි.

1888 වර්ෂයේ වැසි දිනක කැලණි විහාරයට ගිය හෙලේනා විජයවර්ධන මැතිණිය මඩ වී තිබුණ කැලණි විහාරබිම ගඩොල් අතුරා ප‍‍්‍රතිසංස්කරණය කර පූජා ‍කළේ තම දරුවන් ද සහභාගී කර ගෙන ය. යමක් කමක් තේරෙන වයසේ පසු වූ රිචඩ් විජයවර්ධන මැතිතුමා තම මව 1902 වර්ෂයේ කිරිගරුඬ පූජාසනයක් කරවා කැලණි විහාරයට පූජා කරන අයුරු දැක ඇත.

මෙසේ කුඩා කල සිට ආගමික පසුබිමක් ඇතිව හැදුනු වැඩුණු ඩී.ආර්. විජයවර්ධන මහතා ජාතික හැඟීමෙන් ද පෝෂණය විය. පසුව එංගලන්තයේ කේම්බි‍‍්‍රජ් සරසවියේ නීතිඥ විභාගය සඳහා විදේශ ගතවිය. එහි දී නිදහස් දේශපාලන මතධාරියෙකු වන ඉන්දීය ජාතික ගෝපාල් කි‍‍්‍රෂ්ණා ගෝඛලේ මුණ ගැසීමෙන් විජයවර්ධනයන්ගේ දේශපාලන හැඟීම් කුළුගැන්විණි. එසේම නීතිඥ එෆ්.එච්.එම්. කෝබට් මහතාගේ ඇසුරෙන් ජාතිමාමක හැඟීම් ටිකෙන් ටික පෝෂණය විය.

එංගලන්තයේ අධ්‍යාපනය ලබන කාලයේ සමකාලිනයෙකු වූ ඉන්දියාවේ ශ්‍රී ජවහල්ලාල් නේරු වැනි අයගේ ඇසුර ද තම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් යමක් කළ යුතුය යන හැඟීම් ජීවිතානුබද්ධ කර ගැනීමට ඉවහල් විය.

1912 වර්ෂයේ දී ලංකාවට පැමිණි ඩී.ආර්. විජයවර්ධනයන්ට නීතිඥ වෘත්තියෙහි යෙදෙන්නට හෝ තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහභාගී වන්නට හෝ කැමැත්තක් නොවූයේ ම ය.

”රටේ උගත් ජනතාවගේ මහජන මතය පෙළ ගැස්වීමට පුවත්පතකට විශේෂ හැකියාවක් ඇතැයි” යනුවෙන් එදා එංගලන්තයේ දී නීතිඥ කෝබට් මහතා පළ කළ අදහස් තරුණ විජයවර්ධනයන්ගේ සිත තුළ නළියමින් පැවතුණි.

කේම්බි‍‍්‍රජ් විශ්වවිද්‍යාලයේ සමකාලීන ශ්‍රී ජවහල්ලාල්නේරුතුමන් තම පණිවුඩය ජනතාව අතරට ගෙන යාමට ”අලහබාද් නිවුස්” නමැති පුවත්පත භාවිත කරන බව ද දැන ගැනීමට ලැබිණි.

තමන් ද නිදහසේ වැදගත්කම ජනගත කිරීමට පුවත්පත භාවිත කළ යුතුය යන පිළිගැනීම මත එච්.එස්. පෙරේරා මහතාගේ කතෘත්වයෙන් පවත්වා ගෙන ගිය, අභාවයට යමින් පැවැති ”දිනමිණ” පුවත් පත 1914 දී මිලදී ගෙන පවරාගනු ලැබී ය. පසුව ”සිලනීස්” පුවත්පත මිල දී ගෙන 1918 ජනවාරි 03 වෙනිදා සිට ”ඩේලි නිවුස්” නමින් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වශයෙන් පළ කරවනු ලැබීය.

සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුණාචලම් වැනි අයගේ සහය ඇතිව ආණ්ඩුක්‍රම ප‍‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කළ විජයවර්ධන මහතා 'ලංකා ජාතික සමිතියේ' ප‍‍්‍රබල මඟ පෙන්වන්නෙකු විය.

සිංහලේකොඩිය පිළිබඳ මතභේදයක් ඇති වූ අවස්ථාවේ ඊ.ඩබ්. පෙරේරා මහතා ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සහයෙන් එංගලන්තයේ වේල්ස්හි රාජකීය රෝහලේ තිබූ ශ්‍රී වික‍‍්‍රම රාජසිංහ රජුගේ කොඩිය සොයා ගෙන ඉංගී‍්‍රසීන්ට යටත් වී වසර සියයක් ගතවන දින එනම් 1915 මාර්තු 02 වන දින ”දිනමිණ” පුවත් පතෙහි පළ කරමින් ජාතික හැඟීම් ජනතාව අතර රෝපණය කරන්නට විය.

විදේශීයයන් සතුව තිබූ ”ඔබ්සවර්” 1923 දී මිල දී ගන්නා ලදි.තැන් තැන්වල ස්ථානගතව තිබූ මෙම පුවත්පත් මුද්‍රණාල එක තැනක ස්ථානගත කිරීම හැම අතින්ම පහසුවක් බව සැලකූ විජයවර්ධන මැතිතුමන් බේරේ වැව අසල ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සුවිසල් මැදුරක් ඉදිකරවන ලදි. තම මෑණියන් ලවා කිරි උතුරවා 1926 දී විවෘත කරන ලැබූයේ ජාතියට මහත් දායාදයක් උරුමකරවමිනි.

ආණ්ඩුක‍‍්‍රම ප‍‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ශ්‍රී ලංකා ජාතික සමිතිය නිරන්තර අරගලයෙහි යෙදීමේ ප‍‍්‍රතිඵලයක් වශයෙන් මෙරටට පැමිණි ඩොනමෝර් කොමිෂන් සභාව 1927 දී එහි වැඩකටයුතු ආරම්භ කරන ලදි. කොමිෂමේ සාමාජික ජෙරි බට්ලර් කේම්බි‍‍්‍රජ් සරසවියේ විජයවර්ධන මහතාගේ සමකාලීනයෙකු වූයෙන් කොමිසමේ කටයුතු ලංකාවට වඩාත් වාසිදායක ආකාරයෙන් සිදුකර ගැනීමට විජයවර්ධන මහතාට හැකි විය.

1930 දී ඉරිදා ”සිළුමිණ” පුවත් පත ආරම්භ කළ අතර, මෙම පුවත්පතින් ජාතිකත්වය ඔප් නංවමින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, භාෂාව, සාහිත්‍යය, ආගමික දැනුම පමණක් නොව ජාතික උරුමයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන තෝතැන්නක් විය. කෘතහස්ත ලේඛකයන්ගේ සාරගර්භ ලිපිවලින් අලංකෘත විය.

මෙම පුවත් පත ශත දහයේ විශ්වවිද්‍යාලය යැයි විරුදාවලි ලැබූයේ විවිධ දිශානතීන් හි දැනුම එක් තැනකින් උකහා ගතහැකි වනු නිසයි.

1932 දී දෙමළ බසින් ”තිනකරන්” පුවත්පත ද ආරම්භ කරන ලදී. මෙලෙස 1932 වන විට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා ත්‍රිත්වයෙන් ම දිනපතා සහ සති අන්ත පුවත් පත් 6 ක් ආරම්භ කරන ලදී.

ලෝක ප‍‍්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවීමට නොහැකි ලාංකේය ජනතාවට ද ලබා දිය යුතුය යන හැඟීමෙන් කටයුතු කළේ ය.

පුළුල්කර පිහිටුවීමේ දී එය පේරාදෙණියේ ආරම්භ කළ යුතුය යන මතයේ දැඩිව සිටි කෙනෙකි විජයවර්ධන මහතා. ඒ වෙනුවෙන් එකල දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත්වල ලිපි රාශියක් පළ කෙරිණ. අවසානයේ පේරාදෙණියේ සුන්දර පරිසරයක ලංකා විශ්වවිද්‍යාලය පිහිට වූ අතර, එතුමාගේ දායකත්වයට ගරු කිරීමක් වශයෙන් විජයවර්ධන ශාලාව නමින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් ද නම් කෙරිණ. උගත් භික්‍ෂූන් වහන්සේලා ශාසනයට ඉමහත්ම ශක්තියක් වනු ඇතැයි විශ්වාස කළ විජයවර්ධන මහතා විසින් උසස් අධ්‍යාපනයට ස්වාමීන් වහන්සේලා වඩ වඩාත් පොළඹවනු පිණිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට නොමිලේ නේවාසික පහසුකම් සපයනු පිණිස තම ධනයෙන් සංඝාරාමය ඉදි කරවූ අතර, නොමිලයේ ම ආහාර පාන සැපයීමට ද කටයුතු කරන ලදි.

කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය, බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානය ආදී විහාරස්ථානවලට තම දායකත්වය සපයමින් ඒවායේ දියුණුව සඳහා අනුපම සේවයක් කෙළේ ය. 1941 වර්ෂයේ දී වජිරාරාම විහාරස්ථානයට තම ධනය වැය කර පර්චස් 37 ක ඉඩමක් පරිත්‍යාග කරනු ලැබූයේ එහි ආගමික කටයුතු පුළුල්ව කර ගෙන යනු පිණිසයි.

හෙළ කලාවට, සංස්කෘතියට ඇලුම් කළ එතුමා එහි උන්නතිය සඳහා ද ඇප කැපව කි‍‍්‍රයා කෙළේ ය. 1934 වර්ෂයේ දී රවීන්ද්‍රනාත් තාගෝර්තුමන් ලංකාවට පැමිණි අවස්ථාවේ වැඩ සටහන් සකස් කරනුයේ විජයවර්ධන මහතායි. එහි දී උදයශංකර් නාට්‍ය කණ්ඩායම කොළඹ දී නාට්‍ය රඟ දැක් වූ අතර, ශාන්ති නිකේතනයේ ශිෂ්‍ය පිරිස සංගීත සංදර්ශන පැවැත්වූහ.

එපමණක් නොව පෙරදිග සංස්කෘතියේ අනුපමේය වටිනාකම පිළිබඳ දේශන ද පවත්වන ලදී. උඩරට නැටුම් ප‍‍්‍රමුඛ සංගීත ආදී ශිල්ප කලාවන්හි උන්නතිය සඳහා තාගෝර්තුමන්ගේ උපදෙස් පරිදි ගාන්ධර්ව සභා පිහිටුවන ලදි.

එසේම හොරණ ශ්‍රී පාලි විද්‍යාලයට මුල්ගල් තබන ලද්දේ ද මෙම සංචාරයේදීයි. මෙම වැඩ පිළිවෙළෙහි ප‍‍්‍රතිඵලයක් වශයෙන් සූර්යශංඛ මොල්ලිගොඩ, චිත‍‍්‍රසේන, පණිභාරත, සෝමබන්දු විද්‍යාපති, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැනි ශ්‍රී ලාංකේය ප‍‍්‍රමුඛ කලාකරුවන් අපගේ කලාවේ ප‍‍්‍රවීණයන් බවට පත්වීම සඳහා භාරත දේශයට යෑමට උනන්දු වූහ.

මෙලෙස ආගමික සහ ජාතික මහ මෙහෙවරක් සිදු කළ යුග පුරුෂ ඩී.ආර්. විජයවර්ධන මැතිතුමන් 1950 ජූනි මස 13 වෙනි දින අභාවප‍‍්‍රාප්ත විය. එතුමන්ගේ ගුණ සමරන මේ මොහොතේ අපි එතුමන්ට නිවන් සුව පතමු.