Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 35 කොටස: ධම්මකිත්ති නාහිමියෝ අපවත් වෙති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 35 කොටස:

ධම්මකිත්ති නාහිමියෝ අපවත් වෙති

මෙතෙක් කල් තමන් වහන්සේගේ පියා ලෙසින් සිටි නා හිමියන් යළි තමන් සමඟ කිසිදා නොසිටිනු ඇතැයි සිතා උන්වහන්සේගේ සිහිය එළවා ගත නොහැකි විය. උන් වහන්සේගේ දෑසින් කදුළු බිඳු වැගිරෙන්නට විය.

නාගදීප විහාරාධිපති ධම්මකිත්ති හිමියන් ගිලන් වීම ගැන පදුමකිත්ති හිමියන් දැඩි සේ ශෝක විය. උදෑසන අවදි වූ විගස නාහිමියන්ගේ සුව දුක් බලන්නට පදුමකිත්ති හිමියන් වැඩම කරන්නේ සෙසු කාර්යයන් සියල්ලට ම පෙර ඒ කටයුතු කළ යුතු වූ හෙයිනි.

එක් උදෑසනක පදුමකිත්ති හිමියන් නා හිමියන්ගේ ආවාස කුටිය තුළට වැඩම කර බැලූ විට පෙනී ගියේ උන් වහන්සේ සුව නින්දක සිටිනා බවකි. පදුමකිත්ති හිමියන් සෙසු උදැසන වත් පිළිවෙත් සියල්ල සිදුකළ අතර බුද්ධ පූජාව තබා නා හිමියන්ගේ මුව දෝවණය කිරීම පිණිස කුටියට වැඩම කළහ.

නා හිමියන් පෙර සිටි තත්ත්වයෙන් ම සිටිනු දුටු පදුමකිත්ති හිමියන්ට දැඩි බියක්ද ඇතිවුණි.

සිරුරට අත තබා බැලූ පදුමකිත්ති හිමියන්ට කෑගැසුණි. ඒ හඬට විහාරස්ථානයේ ආවතේව කරන දෙදෙනා මෙන්ම නාවික කඳවුරේ සෙබළුන්ද දිව එන ලදී.

නා හිමියන් පරීක්ෂා කළ නාවික කඳවුරේ වෛද්‍යවරයා පැවසුවේ හැකි ඉක්මනින් පහසුකම් ඇති රෝහලකට නා හිමියන් ප්‍රතිකාර සඳහා ගෙන යන ලෙසයි. පලාලි හමුදා රෝහලේ පහසුකම් නොමැති හෙයින් හා යාපනය කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ තිබුණු බැවින් කොළඹ ගෙන යාම එකම විකල්පය විය.

නාවික හමුදා කඳවුරේ තිබූ දුරකතනයෙන් සැලකිය යුතු වේලාවක් තිස්සේ උත්සාහ කරමින් කොළඹට දුරකතන ඇමතුමක් ලබා ගන්නට පදුමකිත්ති හිමියෝ සමත් වූහ. කොළඹ නා හිමිවරුන්ට කතා කර උන් වහන්සේ පැවසුවේ ඉක්මනින් ගුවන් මඟින් නා හිමියන් කොළඹට ගෙන යා යුතු බවකි.

ඒ අවස්ථාවේදී උතුරේ ප්‍රදේශ භාර නාවික ආඥාපතිවරයා විසින් නාවික හමුදාපතිවරයාට අමතා හෙළිකොප්ටරයක සහාය ඉල්ලා සිටියේ ය. එහෙත් ඒ වන විටත් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරමින් තිබූ හෙයින් හෙළිකොප්ටරයක් නාගදීපයට ගොඩ බැස්සීම අවදානම් බව ගුවන් හමුදාපතිවරයා පැවසූ අතර, අවසානයේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරට හෙළිකොප්ටරයක් ගොඩ බස්වන ලද අතර, නාවික හමුදා අධිවේගී යාත්‍රාවකින් නා හිමියන් කරෙයිනගර් දක්වා ගෙන යන ලද්දේ ආරක්ෂිත බෝට්ටුවක් ද සහිතව ය.


රෝගාතුරවූ ධම්මකිත්ති හිමියන් ගැන ශෝකයෙන් සිටින පදුමකිත්ති හිමි

නාහිමියන් කොළඹට වැඩම කරවාගෙන යන ගමනට පදුමකිත්ති හිමියෝ ද සහභාගි වූහ. නා හිමියන් වැඩම කිරීම පිණිස කරෙයිනගර් නාවික හමුදා කඳවුරට ගොඩ බැස්වූ හෙළිකොප්ටරයට යුද්ධයෙන් දැඩි ලෙස තුවාල ලබා සිටි සෙබළුන් ද නංවන ලදී. එපමණක් නොව මිය ගිය සෙබළුන්ගේද සිරුරු පොලිතින් උරවල හා මියගිය සෙබළුන් බහාලන උරවල ඔතා දමා තිබුණු අතර, ඒවායින් ගලා ආ රුධිරය හෙළිකොප්ටරය පුරා ගලා ගිය අතර පදුමකිත්ති හිමිගේ සිවුරේ ද එම ලේ තැවරී තිබුණි.

යුද්ධයෙන් බරපතළ තුවාල ලබා සිටි සෙබළුන්ගේ වේදනාකාරී හඬ ඇසෙත්ම තමන් වහන්සේ දස වධ විඳීමින් සිටින්නේ බෞද්ධයන්ගේ මුඳුන් මල් කඩක් වන් නාගදීප පුදබිම රැකගන්නටය‘ යන සිතිවිල්ල උන් වහන්සේගේ සිතෙහි රැව්දෙන්නට විය. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් දළදා වහන්සේ රැක ගැනීම උදෙසා දඹුලු වනයේ සැඟවී සිටි අයුරු උන් වහන්සේගේ සිහියට නැඟුණි. තමන් වහන්සේ ද මේ අපාදුක් විඳීන්නේ බුදු රජාණන් වහන්සගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ නාගදීප පුදබිම රැකගන්නට බව සිහි වූ පදුමකිත්ති හිමියෝ තම දෑසින් ගලා ආ දුක් කදුළු උපේක්ෂා සහිත සතුටු කදුළු බවට හරවා ගත්තේ කෙදිනක හෝ ත්‍රස්තවාදී උවදුරු දුරුවූ කලෙක නාගදීපය බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍රවන බව සිහි වූ විටය.

කොළඹට පැමිණි ගුවන් යානයෙන් නාහිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩම කරවන ලද්දේද නාවික හමුදාවට අයත් ගිලන් රථයක් මඟිනි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් දයා සඳගිරි මහතා ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසන ලෙස නාවික හමුදාවට දන්වා තිබුණි. ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට නාහිමියන් ඇතුළත් කරන ලදී. නාහිමියෝ සතියකට අධික කාලයක් රෝහලේ වැඩ සිටි අතර, යළිත් පෙර පරිදිම ගුවන් මඟින් හා නාවික හමුදා අධිවේගී යාත්‍රා මඟින් නාගදීපයට වැඩම කරවන ලදී. ඒ ගමනේදී පදුමකිත්ති හිමියන්ට ජංගම දුරකතනයක්ද ලැබුණි. උතුරු ප්‍රදේශයේ සංඥා නිසි පරිදි ක්‍රියා නොකරන හෙයින් ඒ සඳහා උන් වහන්සේට ලැබුණේ ජංගම දුරකතන පැමිණි කාලයේ දී මෙරට ජනතාව විසින් ‘ගඩොල් භාගෙ‘ නමින් හඳුන්වන ලද දුරකතනයකි.

මාස කිහිපකට පසුව යළිත් නා හිමියන්ට ආහාර අරුචිය හට ගත්තේය. නාවික හමුදා කඳවුරේ වෛද්‍යවරයා නා හිමියන් පරීක්ෂා කර බලා පැවසුවේ උන් වහන්සේගේ ආහාර මාර්ගයේ ඇති දෝෂයක් නිසා බවයි.

ඒ අතර දිනක් උදෑසන නා හිමියන් දැඩි සේ කෙඳීරිගාමින් සිටි අවස්ථාවකදී පදුමකිත්ති හිමියන් උන්වහන්සේගේ කටයුතු කිරීම පිණිස තමන් වහන්සේ පිරිසිදු වී පැමිණෙද්දී දුටුවේ විහාරස්ථානයේ ආවතේව කරමින් සිටින කුමාර නමින් හඳුන්වන දෙමළ තරුණයා අත්ආවරණ පවා නොමැතිව නාහිමියන් පිරිසිදු කරන බවකි.

පදුමකිත්ති හිමියන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය සිහිවිය.

‘‘මිනිසා වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවන බව‘‘ උන් වහන්සේ සිහි කරන්නට වූහ. දෙමළ තරුණයා නාහිමියන් වෙනුවෙන් ඒ කටයුතු සිදු කෙළේ කිසිවකු පවසා නොවේ. නාහිමියන් වෙත තිබූ ගෞරවාදර භක්තිය නිසාය. දිනකට සිය ගණන් මිය යන යුද්ධයකට අප මැදිව සිටින්නේ මිනිසත්කම අපෙන් දුරස්ව ගොස් ඇති නිසා බව උන් වහන්සේට සිතුණි.

එහෙත් ටික දිනකට පසු නා හිමියන්ට යළිත් අසනීපය වැඩිවූයේ හුස්ම ගැනීම පවා තරමක් අසීරු තත්ත්වයට පත් කරවමිනි. පදුමකිත්ති හිමියෝ දුරකතනයෙන් ඍජුවම නාවික හමුදාපතිවරයාට කතා කළහ. ඒ අනුව පෙර සේ ම නාහිමියන් ගුවන් මඟින් කොළඹට වැඩම කරවන ලදී. පදුමකිත්ති හිමියෝ ද පෙර සේ ම වැඩම කළහ. එවර නා හිමියන් ඇතුළත් කරන ලද්දේ කොළඹ ජාතික රෝහලටය.

නා හිමියන්ගේ ජන්ම දිනය යෙදී තිබීම නිසා උන්වහන්සේ ප්‍රතිකාර ලබන අතරතුරදී පදුමකිත්ති හිමියන් විශේෂ පින්කමක් සූදානම් කිරීම පිණිස ආපසු නාගදීපයට වැඩම කරන ලදී.

නාහිමියන්ගේ 86 වැනි උපන් දිනය යෙදී තිබු‍ණේ 2003 අප්‍රේල් 15 වැනිදා වන අතර ඒ සඳහා උපකාර පිණිස පුබුදුවෙල විජිතසිරි හිමියෝ ද නාගදීපයට වැඩම කර සිටියහ.

එහෙත් කඩිමුඩියේ උපන් දින පින්කම සූදානම් කර ගැනීම අපහසු වූ අතර එම පින්කම 16 වැනිදා සිදු කර 15 වැනිදා බෝධිපූජා පින්කමක් කරන්නට උන් වහන්සේ විසින් කටයුතු කරන ලදී. බෝධි පූජාව පවත්වා අවසන් කර රාත්‍රී 8.00ට පමණ විහාරයට වැඩම කළහ. විජිතසිරි හිමියෝ පදුමකිත්ති හිමියන්ට ගිලන්පස සූදානම් කරමින් සිටියහ.

උන් වහන්සේගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය.

එයින් කියැවුණේ පැයකට පමණ පෙර ධම්මකිත්ති නාහිමියන් කොළඹ ජාතික රෝහලේදී අපවත් වූ බවයි. විසන්ධි වූ දුරකතනයද විනාඩියකට ආසන්න කාලයක් කනේ තබාගෙන සිටි පදුමකිත්ති හිමියන්ගේ සිත ආවර්ජනයක් කරා යන්නට විය. මෙතෙක් කල් තමන් වහන්සේගේ පියා ලෙසින් සිටි නා හිමියන් යළි තමන් සමඟ කිසිදා නොසිටිනු ඇතැයි සිතා උන්වහන්සේගේ සිහිය එළවා ගත නොහැකි විය. උන් වහන්සේගේ දෑසින් කදුළු බිඳු වැගිරෙන්නට විය.

එකිනෙහිම පදුමකිත්ති හිමියන් මුළුතැන්ගෙට දිව ගියේ එහි ගිලන්පස සූදානම් කරමින් සිටි විජිතසිරි හිමියන්ට නාහිමියන්ගේ අපවත්වීම දැනුම් දීමටය.

ඒ සමගින් කුස්සියයේ සිට දිව ආ එම හිමියන් ද මුහුණට මුහුණ ගැටී දෙදෙනාම බිම ඇද වැටුණි.

‘පදුමකිත්ති හිමියන් කදුළු පිස දමමින් එදෙස බැලූහ.

‘‘හාමුදුරුවනේ මේ දැන් ටිකකට කලින් මහ පුදුම වැඩක් වුණානෙ. ඒක කියන්නයි මම දුවගෙන ආවෙ.‘‘

පදුමකිත්ත හිමියෝ බිම හිඳගෙනම ඒ දෙස බලා උන්හ.

‘‘දැන් ටිකකට කලින් නායක හාමුදුරුවන්ගෙ කාමරේ පැත්තෙන් මට ඇහුණා ‘පදුමකිත්ති.... පදුමකිත්ති.. ‘කියලා නායක හාමුදුරුවො කතා කරන හඬක්. මම ඒ පැත්තට යනකොට නායක හාමුදුරුවො කාමරෙන් හිස එළියට දාලා ‘පදුමකිත්ති‘ කියලා ආයෙත් කතා කළා. නායක හාමුදුරුවො කොළඹ ඉන්න බව මතක් වුණහම මාව උඩ ගියා. ඒ ගැන කියන්නයි මම දුවගෙන ආවෙ.‘‘

පදුමකිත්ති හිමියෝ මඳ වේලාවක් විජිතසිරි හිමියන් දෙස බලා උන්හ.