Print this Article


කර්මයේ විපාක කෙසේ වළකමු ද?

කර්මයේ විපාක කෙසේ වළකමු ද?

අප බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයේ බුදුරදුන්ගේ බණ අසා

මහාකාල නම් උපාසකතුමා සෝවාන් ඵලයට පත්විය.

එතුමා දිනක් සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බණ අසා උදෑසන ජේතවනාරාමයෙහි පොකුණෙන් මුහුණ සෝදමින් සිටිද්දී රාත්‍රියේ ගෙයක් බිඳ සොරුන් වස්තුව පැහැරගෙන දුවමින් සිටි අතර, ඒ සොරුන් අල්ලාගන්න ගෙ හිමියන් පසුපස පන්නාගෙන ආවා.

සොරුන් මහාකාල උපාසකතුමා ඉදිරියේ බඩු දමා පැන ගියා. හොරු අල්ලා ගන්නට පසුපස එළවා පැමිණි ගේ හිමියන් මහාකාල උපාසක ඉදිරියේ තිබෙන භාණ්ඩ දැක නුඹ ගෙවල් බිඳිමින් බණ අසන්නකු ලෙස හැසිරෙනවා ද? යි ඔහු අල්ලාගෙන පහර දී මරණයට පත්කළා.

භික්ෂූන් වහන්සේ මෙය දැක නිවැරැදි මහාකාල පහර කා මිය යෑම ගැන කම්පා වී බුදුරදුන්ට ඒ බව සැල කළා. බුදුරදුන් මෙසේ වීමට හේතුව වදාළහ. පින්වත් මහණෙනි, මොහු පෙර ආත්මයක එක් ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමයෙන් ඇලී ඇය හිමිකරගන්නට ඇගේ ස්වාමියා නොකෙරූ වරදක් පටවා ඔහුට පහර දී මරා දැමුවා.

ඒ අකුසල කර්මයේ විපාකය මතු වී මෙසේ දුක් විඳ මිය යන්නට මැරෙන්නට වූයේ යැයි බුදුරදුන් දේශනා කොට වදාළා.

කරන ලද කුසල කර්මයෙන් හෝ අකුසල කර්මයෙන් සැප විපාකයත්, දුක් විපාකයත් කොයියම් අවස්ථාවක හෝ ඵලදීම වළකාලන්නට කිසිම අයකුට හැකියාවක් නැත.