Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

රජ්ජුමාලා උරුවෙල් දනව්වේ ගයා නුවර බමුණු ගෙයක දාසියක් විය. බමුණා ගේ ලේලිය දාසිය නුරුස්සන්නී ය. දාසිය පෙනෙන විටන ඇයට දැඩි කෝපයක් ඇති වේ.

ඇතැම් විට රජ්ජුමාලාගේ කිසිම වරදක් නැතිව, කෙස් වැටියෙන් අල්ලා ගෙන ඇයට පහර දෙන්නීය. මේ පීඩනය දරාගත නොහැකිව එක් දවසක් ඇය තම දික් කෙස් වැටිය සිඳුවා හිස මුඩු කරගත්තා ය. ස්වාමිදියණිය එය දැක පෙරටත් වඩා කෝප වී ඇගේ ගෙලෙහි ලනුවක් බැඳ එයින් අල්ලා ගෙන තැළුවා ය. ගෙලෙහි මාලාවක් සේ නිතර එල්ලෙන ලනු පට ඇති බැවින් එතැන් සිට ඇය රජ්ජුමාලා නම් වූවා ය.

එක් දිනෙක ස්වාමි දියණියගේ තාඩන ඉවසිය නොහැකි තැන වතුර ගෙනෙන්නට යන ලෙස කළය ගෙන නික්මුණා ය. වන ලැහැබකට ගොස් මෙසේ ජීවත් වීමෙන් කුමන ප්‍රයෝජනයක් දැයි සිතා මෙ තැනම දිවි නසා ගන්නෙමි’ යි සිතුවා ය. ඉක්බිති ලනුවක් ගහක බැඳ මල පුඩුවක් ද සාදා ගෙල වැල ලා ගන්නට සැරසී කිසි වෙකු ළඟ ඇද්දෝ යි හාත්පස බැලුවා ය.

එදා අලුයම නුවණින් ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඇය ගෙල වැල ලා ගන්නට සැරසෙනු දැක , කලින් ම එහි වැඩ ගසක් මුල වැඩ හුන් සේක. වට පිට බැලූ රජ්ජුමාලා රන් පැහැති සිරුරින් බබළමින් ගසක් මුල ඉන්නා භාග්‍යවතුන් වහන්සේ දුටුවා ය. මහා කාරුණිකයන් වහන්සේ ඇයට කතා කොට “ දියණිය රජ්ජුමාලා මා වෙත පැමිණෙන්න යැයි වදාළ සේක. එය ඇසුණු සැනෙකින් ම ඇගේ සියලු දුක් අමතක විය. අමා දහරින් නෑවුණු කලෙක සේ ඇය සිත, මහත් සැනසුම් ඇති විය. ඇය මහත් ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙතට ගොස් පා පියුම් වැඳ පසෙකට වී හුන්නා ය. භාග්‍යවතුන් වහන්සේ ඇයට ධර්මාවවාද කළ සේක. නිවී ගිය සිතැති ඕ ඒ දහම් අසා සත්‍යාවබෝධය කළා ය. සෝවාන් හිි පිහිටියා ය. දිවි ඇතිතෙක් සතකු නො පෙළන , තම දිවි නසන සතුරනට ද මෙත් වඩන දයාවෙන් පිරි ආර්‍යාවක් වූවා ය. බුදු සරණ ගිය රජ්ජුමාලාගේ සිතුවමින් මෙවර බුදුසරණ කවරය සිතුවම් කොට ඇත.