Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 22: ගිරිනුවර අර්බුදයක්

දුටුගැමුණු මහ රජතුමා - 22:

ගිරිනුවර අර්බුදයක්

ප්‍රාන්ත රාජ්‍යයක රජකමට ගැමුණු කුමරු කැමති වේවිද? කිසිදු බලපෑමකින් තොරව ගිරි අබා රජු සහ සෝමා දේවිය සේරු රාජ්‍ය බලා ගියේ ඇයි? මෙය කිසියම් කුමන්ත්‍රණයක් විය නොහැකි ද? දේවිය දස අතේ කල්පනා කරන්නට වූවා ය.

සත්‍ය තොරතුරු කඩිනමින් අනාවරණය කරගැනීමේ වුවමනාව තිබුණේ කාවන්තිස්ස රජතුමාට ය. වසරකට ආසන්න කාලයක් රැකවරණය දුන් ගිරි අබා රජුට අකෘතඥවීම දුෂ්ටකමක් නොවේද? රජතුමා කල්පනා කළේ ය.

ඒ වගේම කිසිම සේනා ශක්තියක් නොමැති ගැමුණු කුමරු තමන්ට විරුද්ධව කටයුතු කළා නම් ඔහු පන්නා දමන්නට හැකියාව තිබුණා නොවේද? සමහර විට අභය එසේ නොකළේ අපේ හොඳ හිත පළුදු කරන්නට බැරි නිසා වන්නට ඇති. මෙසේ සිතූ රජතුමා මේ පිළිබඳව නිල වශයෙන් තොරතුරු සෙවීමට තීරණය කළේ ය. එම කාර්යය කළ යුත්තේ මහ ඇමති බව තීරණය කළ රජතුමා ඔහු කැඳවී ය. “සුදුසු නිලධාරීන් පිරිසක් ගිරිනුවරට යවා සතියක් ඇතුළත මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න” රජුගේ විධානය විය.

නිරතුරුව රජමාළිගයේ ආලින්දයට පැමිණ ප්‍රධාන දොරටුව දෙස බලමින් වේළුසුමන පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් සිටි විහාරමහා දේවිය ඔහුගේ පැමිණීම ප්‍රමාද වන විට තව තවත් බියට පත් වූවා ය.

ගිරි නුවර අර්බුදයක්, මත ගැටුමක් ඇතිවූයේ නම් දාව ආචාර්යතුමාට තිබුණේ ගැමුණු කුමරු සමගින් වෙනත් තැනකට යන්නයි. නැතිනම් ආපසු මාළිගයට එන්නට තිබුණා. එසේ කළා නම් පියරජතුමාත් අකමැති වන්නේ නැහැ. සිදු නොවිය යුත්තක් සිදුවී ඇති නිසා ඇය බොහෝ දුක් වූවා ය.

දිවා භෝජනය සඳහා රජතුමා පැමිණියේ තරමක් අපහසුවෙනි. වෙනදා මෙන් ගමන කඩිසර නැත. විහාරමහා දේවිය පැමිණ හිඳ ගත්තත් දෙදෙනා අතර කිසිදු කතාබහක් නොවීය.

රජතුමා සුපුරුදු සුවයෙන් නොවන බව දේවියට අවබෝධ විය. මහත් දුකක් මෙන්ම බියක් ද ඇයට දැනිණි. දිවා භෝජනය අවසානයේ දීඝාභය කලබලයෙන් යුතුව පැමිණියේ ය.

“දීඝාභය කෑමෙන් පසු මා හමුවන්න” යැයි පැවසූ රජතුමා භෝජනගාරයෙන් නික්ම ගියේ ය.

“මෑණියනි, පියාණන් වහන්සේ අසනීපවී සිටින බවට ලැබුණු ආරංචිය නිසයි මා හදිසියේම පැමිණියේ. මා ඉක්මනට ආපසු යා යුතුයි.

“මොනවා, රජතුමා අසනීපයෙන්ද? දීඝාභය කොහොමද දන්නේ?

“ඊයේ රෑ දූතයකු මගින් මට හදිසි පණිවිඩයක් එවා තිබුණා.”

“පණිවිඩය එව්වේ කවුරුන්ද?”

දීඝාභය පිළිතුරු නොදුන්නේ ය.

මෑණියන් වහන්ස මට සමාවෙන්න. මමයි පිය රජතුමාගේ ඉල්ලීමට අනුව දීඝාභයට දූතයකු අතේ හදිසි පණිවිඩයක් යැව්වේ' දන්තී කුමරිය පැවසුවා ය.

ඊයේ රාත්‍රී රජතුමාගේ යහන් ගබඩා සේවකයකු පැමිණ “රජතුමා බිම වැටිලා” යි කීවා. මම වහාම යහන් ගබඩාවට ගියා. රජතුමා බිම වැටිලා හිටියා. අප රජතුමා යහනෙහි සතපවා බෙහෙත් තෙල් ගැල්වූවා. මා මෑණියන් වහන්සේට දැන්වීමට එන්නට සූදානම් වුණා. රජතුමා ඊට තදින්ම විරුද්ධ වුණා. රාජකීය වෛද්‍යවරයා ගෙන්වීමට සූදානම් වුණා. දැන් සනීපයි. වෛද්‍යවරයා අවශ්‍ය නැතැයි පැවසුවා.