Print this Article


තිස්ස තරුණයාගේ කාල දානය

තිස්ස තරුණයාගේ කාල දානය

ඈත අතීතයේ අප රටේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධනවත් පවුලක් විසුවා. ඒ පවුලේ මහ බලවත්, කඩිසර , ශක්තිමත් පුතුන් හත් දෙනකු ද, දියණියක් ද සිටියා.

කාලයකට පසු ඒ නුවරට දුර්භික්ෂයක් පැමිණියා. ඒ මහා දුර්භික්ෂය නිසා ආහාර හිඟ වුණා. හැම දෙනාම දුකට පත්වුණා. රෝග බිය වේගයෙන් පැතිරී ගියා. බොහෝ දෙනා කුසගින්නේ මිය ගියා. ඒ අතරට මේ ධනවත් පවුලේ මව්පයන් ද, නෑදයන් ද, අසල්වාසීන් ද ඇතුළත් වුණා.

දුර්භික්ෂයට පෙර මේ පවුලට හිතවත් වූ එක් ස්වාමින් වහන්සේ නමක් නිතර නිතර මේ නිවසට පිණ්ඩපාතයේ වැඩියා. ඉතා ප්‍රියශීලි මේ තෙරනම සියලු දෙනාට ධර්මයෙන් අනුශාසනා කළා. මේ පවුලේත් තිබූ ධාන්‍ය සියල්ල අවසන් වූ නිසා මේ සහෝදරයෝ හත් දෙනා සමඟ සහෝදරිය ද ඒ ගම අතහැර යෑමට තීරණය කළා. ඒ අට දෙනා සමඟ අර භික්ෂූන් වහන්සේ ද පෙරටු කොට ගෙන ඒ අය මහ වනය ට ගියා. ඒ කැලයේ එක් කුටියක් තනා තෙරුන් වහන්සේට වැඩ සිටීමට සලැස්සුවා. සහොයුරිය සමඟ මේ සොහොයුරන් ගල් ගුහාවක වාසය කළා. එදා පටන් ඔවුන් ආහාරයට ගත්තේ වනයේ තිබෙන මුල්, ගෙඩි, මල්, අල ආදිය පමණ යි. ඒවා පිළියෙළ කොට පළමුව තෙරුන් වහන්සේට දන් පූජා කර පසුව ඔවුන් අනුභව කළා.

අවුරුදු දොළහක් මෙසේ දුර්භික්ෂය පැවැති නිසා ඔවුන් වනයේ ගත කළා. ආහාරයට අල , ගෙඩි ආදිය පමණක් නිසා ශරීර දිරා ගියා. දිරා ගිය වැරහැලි වලින් විලි වසාගෙනයි සිටියේ. දික් වූ නියපොතු, ලොම්, සුදුමැලි වූ කෙට්ටු ශරීර නිසා ඔවුන්ගෙන් දිස්වූයේ භයානක පෙනුමක්. හරියට ප්‍රේතයන් වාගෙයි.

දිනක් එක්තරා මිනිසෙක් වනයේ ඇවිදින විට මොවුන් දැක මේ නම් ප්‍රේතයන් යැයි සිතා මහත් බියට පත්ව ඔහුගේ අතේ තිබූ එක්තරා වටිනා සළුව ද දමා බියෙන් පලා ගියා. ඔවුන් ඒ සළුව ගෙන

නැෙඟණියනි, ඔබ මෙසේ කඩමළු දවටාගෙන සිටින්නට එපා. මෙය ඔබ තබා ගන්න කියා එය ඇයට දුන්නා. ඇය ඒ සළුව රැගෙන තබා ගත්තා. පසුවදා තෙරුන් වහනසේ නැවත පිඬුසිඟා වැඩියා.

තෙරුන් වහන්සේට පිණ්ඩපාත දානය බෙදු මේ තරුණිය සිතුවා, මෙතරම් වටිනා සළුවක් මට කුමට ද? මෙය වටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේට යි. මම එය උන්වහන්සේට පූජා කරනවා කියා, ඇය ඒ සළුව උන්වහන්සේට පූජා කළා. පසුව ඇය මගේ සහෝදරයෝ මේ සළුව පූජා කළ නිසා මා සමඟ උරණ වේවිද දන්නේ නැහැ යැයි සිතා කැලයට ගොස් පඳුරක් තුළ සැඟවුණා. තෙරුන් වහන්සේ ඒ සළුව අතේ තබාගෙන මෙසේ කල්පනා කළා.

වනය මැද ඉතා දුක සේ වසන මේ දිළිඳු දියණිය තම සොහොයුරන්ටත් නො කියා ඉතා දුෂ්කර දෙයක් කළේ. පෘථග්ජන මා විසින් මේ සළුව පරිහරණය නො කළ යුතුයි. ආශ්‍රවයන් නැති කොට දමා නිකෙලෙස් සිතින් මේ සළුම මම පරිහරණය කරමි'යි සිතා වීර්යයෙන් භාවනා කොට කෙලෙස් දුරුකර නිකෙලෙස් වූ සේක.

මේ සියලු දේ සක්දෙවිඳු දුටුවා. තරුණිය ගැන අනුකම්පා කළ සක්දෙවිඳු ඉතා රම්‍ය වූ දිව්‍ය වස්ත්‍ර පසුම්බියක දමා ගෙනවිත් පඳුර පා මුල නිදා සිටි තරුණිය අසලින් තබා ගියා. නැඟනිය කොහිදැයි සොයමින් ගිය සොහොයුරන් පඳුර අසල සිටි නැගණිය ඇහැරවා, “නැගණියනි වූයේ කුමක් ද? ඔබ මෙසේ සැඟ වී සිටින්නේ ඇයි?” කියා විමසුවා.

ඇය සොහොයුරන්ට සිදු වූ විස්තරය කියා සිටියා. එවිට ඒ සොහොයුරෝ “සාධු සාධු නැඟණියනි, නුඹ කෙ තරම් හොඳ වැඩක්ද කළේ? ආර්යයන් වහන්සේට ඒ සළුව පිදූ පින අපත් අනුමෝදන් වෙනවා!” යැයි කියා සිටියා. එක් සොහොයුරෙක් ඒ අසල පසුම්බියක් තිබෙනවා දැක මේ කුමක්දැයි ඇයගෙන් අසා එය විවෘත කර බැලූ විට මහත් වූ සුවඳ හමන දිව්‍ය වස්ත්‍ර එහි ඇති බව දුටුවා. එවිට ඒ තරුණිය කියනවා,

“අය්යණ්ඩිය, මා තෙරුන් වහන්සේ ට වස්ත්‍රය පිදූ පින නිසා අපට මේ දිව්‍ය වස්ත්‍ර ලැබෙන්න ඇති.”

“නැඟණියනි, එයනම් සැබෑවකි. මෙය දෙවියන් විසින් අපට දුන් තෑග්ගක් බව නම් ඒකාන්තයි. ඔබ දුන් දානයේ මෙලොව විපාක යයි මේ.”

ඇය පසුව එහි තිබූ එක් වස්ත්‍රයක් තෙරුන් වහන්සේට පූජා කර, අනෙක් වස්ත්‍ර සොහොයුරන් සමඟ ප්‍රයෝජනයට ගත්තා. දුර්භික්ෂය අවසන් වී තිබු බැවින් තෙරුන් වහන්සේ පෙරටු ‍ කොටගෙන නැවතත් නගරයට පැමිණියා.

ඒ දුර්භික්ෂ කාලයේ දී එනුවර ම තවත් සිදුවීමක් වුණා.

එක් භික්ෂූණ් වහන්සේ ‍නමක් දුර්භික්ෂය අධිකව පැවති කාලයේ පිණ්ඩපාතය සඳහා මුළු අනුරාධපුර නගරයේ ම වැඩම කළ ද කිසිදු දෙයක් ලැබුණේ නැහැ. එක් තරුණයෙක් තෙරුන්වහන්සේ නමක් වැඩම කරනවා දැක වහා නිවසට ගොස් සොහොයුරිය අමතා,

“නැගණියනි, අපට කාල දානයක් දීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. අපගේ නිවසේ කැඳ බත් හෝ ඇත්නම් එය රැගෙන විත් පිඬුසිඟා වඩින මේ තෙරුන් වහන්සේට පූජා කරමු.”

“අනේ අය්යණ්ඩි, නිවසේ කිසිදු ආහාරයක් නැහැ. නමුත් අපගේ මව්පියන් ඉතිරිකළ දහසක් වටිනා මැණික නම් තිබෙනවා.”

පින් කැමැති ඒ තරුණයා ඒ මැණික ගෙන ගොස් එක් නිවසක දී එක් දාන වේලක් ගෙනවිත් තෙරුන් වහන්සේට පූජා කළා. ඒ දානය පිළිගත් තෙරුන් වහන්සේ සිදු වූ මේ සියලු දේ දැන “මම කෙලෙස් සහිතව මේ ආහාරය වැළැදීම නො කළයුතු දෙයක්. දානයට පෙර මම වීර්ය කළයුතුයි” සිතා පාත්‍රය පැත්තකින් තබා උත්සාහයෙන් භාවනා කොට රහත් භාවයට පත්වුණා. ඒ බව දුටු සද්ධාතිස්ස රජුගේ කුඩයේ සිටි දෙවියා සතුටු ව සාධුකාර දුන්නා. සාද්ධාතිස්ස රජු ඒ සාධුකාරය අසා “දෙවිය, කවරෙකුට ප්‍රශංසා කරමින් ද ඔබ මේ සාධුකාරය දෙන්නේ.”

“මහරජ, මේ නුවර තිස්ස නැමති තරුණයෙක් ජීවත් වෙනවා. ඔහු දහසක් වටිනා මැණිකක් විකුණා තෙරුන් වහන්සේ නමකට එක් දානයක් පූජා කළා. උන්වහන්සේ දානයට පෙර නිකෙලෙස් වුණා. මම ඒ දෙදෙනාටම යි මෙසේ සාධුකාර දුන්නේ.” ඒ ඇසු රජතුමා තිස්ස රජ මාළිඟයට කැඳ වූවා.

“තිස්ස නුඹ කළ පින ඉතා ඉහළයි. ඒ පිනෙන් කොටසක් මා හට දෙන්න. අද සිට නුඹ මාළිගයේ භාණ්ඩාගාරය බාරව කටයුතු කරන්න “ යැයි කියා සිටියා.

එක් දිනක් මේ තිස්ස ඇමැති නගරයෙන් පිටතට ගියා. නාන තොටුපළක් දැක එතැනට පැමිණියා. පෙර සඳහන් කළ සොහොයුරන් හත් දෙනා ද, නැගණිය ද එතැනට ආවා. ඒ තරුණිය දුටු මේ තිස්ස ඇමැති ඇය විවාහ කර ගැනීමට කැමැත්ත පළකළා. ඔවුන් විවාහ වුණා.

පසුව ඒ දෙදෙනා බුද්ධ ශාසනය වෙනුවෙන් නොයෙක් පින්දහම් කළා. ත්‍රිවිධ රත්නයට නොයෙක් ආකාරයෙන් පූජා කළා. මහා දානමාන දුන්නා. කාලයකට පසු ‍මිය පරලොව ගිය මේ දෙදෙනා දෙවියන් අතර උපන්නා.