Print this Article


ඉපදුණු පොළොවට බරක් නොවෙමු

ඉපදුණු පොළොවට බරක් නොවෙමු

බුදුදහමට අනුව තරුණයා බල සහ ප්‍රඥා දසකයන් තුළ ජීවත් වන්නෙකි. කායික ව, මානසික ව වඩාත් ශක්ති සම්පන්න සහ ප්‍රබෝධමත් ම කාල සීමාව මෙයයි. මේ කාලය තුළදී තමාගේ වගකීම ඉතා ඉහළින් ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ හැකි ය. යම් තරුණයෙක් හෝ තරුණියක් එය වටහාගෙන ක්‍රියා කරන්නේ නම්, ඔවුන් ලක් දෙරණේ සුජාත දරුවන් ය. අපේ බුදුරදුන් පුද්ගල නිදහස මෙන්ම, චින්තන නිදහස අගය කළ ශාස්තෘවරයාණන් වහන්සේ නමකි.

වසර ගණනාවක් රටක් හැටියට නිදහස අහිමිවූ වටපිටාවක ඒ වෙනුවෙන් අරගල සිදුකළ, මහාසඟරුවන ගෞතම බුදුරදුන්ගේ බුද්ධ පුත්‍රයන් ය. ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදුකළ ගිහි ජනයා, ලක් දෙරණට ණය නොවූ ශ්‍රේෂ්ඨ විරුවන් ය.

ජාතිකත්වය පිළිබඳව එදා ලාංකේය පුරවැසියාට ලොකු හැඟීමක් තිබුණි. එහෙයින් පටු ජාති, ආගම් නො සලකා උදාර අරමුණු වෙනුවෙන් ඔවුන් පෙළ ගැසුණි.ඒ අතර ද ඉපදුණු පොළොවට ණය වූ මිනිසුන් දුලබ නොවේ.

ජාතිය රන් විමනකි ආගම මිණි පහනකි

අප ලද නිදහස අර්ථ සම්පන්න කරගැනීම ඉතා වැදගත් ය. එසේ නො වුණහොත් එය වල්බූරු නිදහසකි. යම් විටක එම කාර්ය භාරය දැන කටයුතු කරන්නේ නම්, ඔවුන් ඉපදුණ භූමියට මහත් සම්පතකි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් නිදහස් සටනේ දී එය පෙන්වූයේ මෙසේ ය.

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

ජාතියක, ආගමක විශාල වගකීම ඇත්තේ රටේ තාරුණ්‍යයටය. එවන් තාරුණ්‍ය එය අවබෝධකොට නො ගත හොත් අවාසනාවකි. මහින්ද හිමියන් මහණකම ලෙස කල්පනා කළේ රටේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය යි. එවන් පසුබිමක වර්තමානය තුළ අප සිහිමුළා වූවන් ලෙස හැසිරීම මහත් නිවටකමකි. කෑම බීම, ඇඳුම්, පැළඳුම්, විලාසිතා ජීවිතය කොට ම සිතීම මහත් අපරාධයකි.

සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවෙ සිහ වෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරියට
මහණකමත් බණ දහමත් එයයි මට

තම රට,ජාතිය අත්හළ නොහැකි වගකීමකි. අනාගතය බාර ගැනීමට සිටින ප්‍රජාව ලෙස එය අවබෝධ කොටගත යුතු ය. එසේ නොවීම තමන් ජාතියට, ආගමට ණයකරුවකු බවට පත්වීමට හේතුවක් වේ.

මිනිසත්කම පුළුල් අර්ථ සපයන්නකි. එය අවබෝධ කොට නොගැනීම දෙලොව අපාගතවීමට හේතුවකි.

ශී‍්‍ර පාදස්පර්ශයෙන් ආරක්ෂා වූ මේ භූමිය මහත් පුණ්‍යවන්ත දීපයකි . ඇතැම් විදේශික උගතුන් පවා එය තේරුම් ගත් අයුරු නිදහස් සටනේ දී පිළිබිඹු විය. එවන් භූමියක වටිනාකම හඳුනා නො ගැනීම අයහපත් වේ.

දුටුගැමුණූු රජු ලංකා භූමිය තුණුරුවන් විෂයෙහි අවස්ථා කිහිපයක දී පූජා කළේ ය. මහින්ද හිමියන් නිදහස් සටනේදී පෑන අවියක් කොට අවධාරණය කර ඇති ආකාරය බුද්ධාලම්භන පී‍්‍රතිය උපදවන සුළු ය.

තමන්ගේ දෙයට ගැරහීම

හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආදා
සාධු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

දළදා වහන්සේගේ වැඩමවීම කෙ තරම් පුණ්‍යවන්ත කටයුත්තක් වූවේදැයි ඉහත කවිය තුළ පැහැදිලිවේ. නිදහස තුළ ආගමික ඉගැන්වීම් බැහැර කළ නොහැකි ය. එසේ සිදුවුවහොත් සංයමය, හැඟීම, පව, පින, හොඳ, නරක පිළිබඳ අවබෝධය නැතිවී යා හැකි ය. ජාතිකත්වය, ඒ මත ඇතිවන අභිමානය රටක ප්‍රදේශයක දියුණුවට බලපායි.

තමන්ගේ දේ පිළිබඳ අවතක්සේරු වෙන් බලන ජාතියකට නැඟිටීමක් නොමැත. අන්‍ය දේ අගයමින් තමන්ගේ දෙයට ගරහමින් කටයුතු කිරීම නිවටකමකි. අපේ දේ ආරක්ෂා කරමින් එයට ගෞරව කරමින් අනන්‍යතාවයන් ආරක්ෂා කරගනිමින් යා යුතු ය. දියුණු වූ සෑම ජාතියක් ම එසේ ය. නිදහසින් පසු රටක් ලෙස ඉදිරියට යාමට තිබූ බොහෝ අවස්ථාවන් අපට මඟහැරුණේ දීන ආකල්ප නිසාවෙනි. පටු සීමාවන් මත කටයුතු නොකොට ශ්‍රී ලාංකිකයන් ලෙස සිතීමෙන් ඉදිරි ගමනක් නිර්මාණය වේ. එසේ නොවුණුහොත් එකතුවී ලබාගත් මේ නිදහසේ අග්‍රඵලය ලබාගැනීම දුෂ්කර ය.

හදවතින් පමණක් නොව අප බුද්ධියෙන් තීරණගත යුතු වේ. එය නිදහස් සටනේදී පවා නිරන්තරව අවධාරණය වූ කරුණකි. එස් මහින්ද හිමියන් තම කවිත්වය තුළ එය මෙසේ අවධාරණය කළහ.

කුලබේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ

මෙහිදි කුල භේදය අර්ථාන්විත නොවන බව අවධාරණය වන්නේ නිදහස් චින්තනයක එවැනි දෑ නො තිබිය යුතු බව සිහිකරවමිනි. උපත, රැකියාව මත සමාජය කොටස් කිරීම අමනෝඥ ක්‍රියාවකි. සමාජය තුළ විවිධත්වයන් තිබිය හැක. ඒ තුළ විචිත්‍රත්වයන් ඇතිවේ. එය යහපත් සමාජයකට ගලපා ගන්නවා වෙනුවට රටක් ආපස්සට ගැනීමට යොදා නො ගත යුතු ය.

කුමන ස්වරූපයකින් පැමිණිය ද එයට අනුබල දීම සමාව ලබාදිය නොහැකි වරදකි. නිදහස් සිතිවිලි කුමන ඉරකින් මේ සමාජය බෙදුවද එහි හානිය සමස්ත ජනයාට ය. මහින්ද හිමියන් අවධාරණය කරනුයේ මෙය රටකට මහත් විපතක් බවයි. එයින් රට මුදා ගැනීමේ භාරදූර කාර්ය පැවරෙන්නේ නිදහස් චින්තනයෙන් යුත් තරුණ ප්‍රජාවට ය.

සැබෑ නිදහස

විමසීමෙන් තොරව කටයුතු කරන පිරිස්වලට හොඳ අලුත් අදහස් ඇති නොවේ. සංකේතාත්මකව ලබාගත් නිදහස මහ පොළොවෙහි යථාර්ථයක් වන්නේ නිදහස් නිවහල් චින්තනයක් ඇතිවිට පමණි. දහම පැහැදිලි කරවුයේ “න චින්තයන්තෝ පුරිසෝ විසේසමයගච්ඡති’ නො හිතන, නිදහස් චින්තනයෙන් යුක්ත නො වන්නාට සාර්ථකත්වයන් ලද නොහැකි බවයි. බුදුරජාණන් වහන්සේ නිරන්තරවම නිදහස් අදහස්වලට ගරු කළහ. එපමණක් නොව ඔවුන්ට එවැනි අදහසක් දැරීමට ඇති අයිති පිළිගත්හ. උපාලි ගෘහපති සංවාදය ඊට කදිම නිදසුනකි. තමන් වහන්සේ මඟ පෙන්වන්නෙක් පමණක් බවත්, ක්‍රියා කිරීම තම තමන් සතු බවත් දේශනා කළහ.

මුල් බැසගත්, වෙනස් කළ යුතු දැ එසේ නො කිරීම බොහෝ ප්‍රශ්නයන්ට මුලයි .ජාතියක් ලෙස නිදහස සමරන අද වැනි දිනක සැබවින්ම අප නිදහස් අදහස් මත වහල් ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වේ.

දහම පිළිබඳ සඳහන් කරන තැනදී පවා බුදුරදුන් දේශනා කළේ "ඒහිපස්සිකෝ" ලෙසයි. ඇවිත් බලා තේරුම් ගැනීමට අවකාශ ලබා දුන්හ. වීමංසන, බ්‍රහ්මජාල, කාලාම මහා පරිනිබ්බාන,වේදල්ල වැනි සූත්‍ර ඉතා වැදගත් ය.

යමක් පිළිගැනීමේ දී කටයුතු කළ යුතු ආකාරය කරුණු දහයක් මත පදනම් ව ඉතා දීර්ඝව විස්තර කළහ. ඇසුව පමණින්, පරපුරෙන් පැමිණි නිසාම යමක් නො පිළිගත යුතුව ඇත. අනෙක් කාරණාවන් තුළ ද මිනිසාගේ නිදහස් චින්තනය ආරක්ෂාවන ලෙස කරුණු ගෙන හැර දැක්වූහ.

යන්ත්‍ර මෙන් නොව හැඟීම් දැනීම් ඇති අය වශයෙන් කටයුතු කිරීමට චින්තනය නිදහස් වීම අතිශයින්ම වැදගත් ය. පරිනිබ්බාන සූත්‍රයේ දී පෙන්ව ාදෙන සතර මහෝපදේශ කෙ තරම්ම නිදහස් චින්තනයට මඟ කියා දෙන්නේ ද යන්න තේරුම්ගත හැකිවේ.