Print this Article


නීවරණ ප්‍රහාණ වර්ගය

නීවරණ ප්‍රහාණ වර්ගය

අංගුත්තර නිකායෙන් 5

ඒකක නිපාතය

අකම්මනීය වර්ගය

(අකර්මණ්‍ය වර්ගය - ක්‍රියාවකට (වැඩකට)
යෝග්‍ය නොවූ
සැවැත් නුවරදී

සූත්‍ර අංක 21
අකම්මනිය සූත්‍රය

1.3.1

මහණෙනි, යම් සේ (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ, කටයුත්තකට යෝග්‍ය නොවන ලද්දේ වේ නම් මේ සිත හා සමාන එක ද ධර්මතාවයක් මම නොදකිමි. මේ සිත (භාවනා වශයෙන්) නොවඩන ලද්දේ ක්‍රියාවකට යෝග්‍ය නොවේ. (නොවඩන ලද සිත අකර්මණ්‍ය වේ.)

සූත්‍ර අංක 22
කම්මනීය සූත්‍රය

1.3.2

මහණෙනි, යම්සේ (භාවනා වශයෙන්) වඩනලද සිත කර්මයට යෝග්‍ය වේ ද ඒ සිත හා සමාන අන් එක ද ධර්මයක් මම නොදකිමි. මහණෙනි, (භාවනා වශයෙන්) වඩන ලද සිත කර්මණ්‍ය වේ. (කටයුත්තකට යෝග්‍ය වේ.)

සූත්‍ර අංක - 23
මහා නත්ථ සූත්‍රය (මහත් + අනර්ථ)

13.3

මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) නොවඩනා ලද්දේ (එනිසාම) මහත් වූ අනර්ථය (අවැඩ) පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම නො දකිමි. මහණෙනි, නො වඩන ලද සිත මහත් අනර්ථය පිණිස පවත්නේ ය.

සූත්‍ර අංක 24
මහත්ථ සූත්‍රය (මහත් + අර්ථ)

1.3.4

මහණෙනි, යමක් මෙසේ (භාවනා වශයෙන්) වඩන ලද්දේ මහත් අර්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ද ධර්මයක් මම නොදකිමි. මහණෙනි, වැඩූ සිත මහත් අර්ථ (මහත් වැඩ) පිණිස පවත්නේ ය.