Print this Article


බුදු සිරුර බැබළවූ උතුම් ආසන

බුදු සිරුර බැබළවූ උතුම් ආසන

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ දී සමහරු මුලින්ම පැහැදුනේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් රූප කායට යි. එවැනි අසිරිමත් සිදුවීමක් වේනාගපුර කියන බ්‍රාහ්මණ ග්‍රාමයේ දී සිදුවුණා. අද අප සිත පහදවා ගන්නේ “බුදු සිරුර බැබළවූ උතුම් ආසන” ගැන යි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂු පිරිසක් සමඟ කොසොල් ජනපදයන්හි චාරිකාවේ වැඩම කරමින් සිටියදී වේනාගපුර නම් වූ බ්‍රාහ්මණ ගමටත් වැඩම කළා. ඒ වනවිට භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, ශ්‍රාවක සඟරුවන ගැනත් උදාර ගුණ ඝෝෂාවක් පැතිර යමින් තිබූ නිසා වේනාගපුරවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුද භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියා. ඔවුන්, අසිරිමත් සම්බුදු ශරීරය දෙස විස්මයෙන් බලමින් මෙසේ පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා ආශ්චර්යයි!

භවත් ගෞතමයන් වහන්ස, ඉතා පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින් පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධ යි. බබළනවා. හරියට සරත් කාලයෙහි හටගත් ළපටි ඩෙබර ගෙඩිය පිරිසිදුව දිලිසෙනවා වගෙයි. නටුවෙන් ගිලිහී ගිය ගමන් වැටුණු තල් ගෙඩිය පිරිසිදුව දිලිසෙනවා වගෙයි. දක්ෂ රන්කරුවෙක් ඉතාම හොඳීන් සැකසූ කෝවෙහි දමා ඉතාමත් හොඳීන් තළා පෙළා සැකසූ දඹරන් නිකක් රත් පලසක් මත තිබෙද්දී ලස්සනට බබළනවා. දලිසෙනවා. රැස් විහිදෙනවා. අන්න ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් අතිශයින්ම පැහැපත්. සමෙහි පැහැයත් පාරිශුද්ධ යි. බබළනවා.” එම ගෘහපතිවරු සිතුවේ භාග්‍යවතුන් වහන්සේ ගිහිකල ශාක්‍ය වංශයෙහි අතිශය සුඛුමාල දිවියක් ගතකළ රජ කුමාරයකු නිසා එසේ පැහැපත් සමක් හා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ලැබූ බවයි. එමෙන් ම පැවිදි ජීවිතයේදී ත් සැප පහසු උසස් ආසන, මහා ආසන භාග්‍යවතුන් වහන්සේට ලැබෙන බවත්, ඒවා පරිහරණය නිසා පැහැපත් සමක් සහ ප්‍රසන්න ඉඳුරන් ලබන්නට ඇතැයි තමන් සිතන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

භාග්‍යවතුන් වහන්සේ එවිට වේනාගපුර වැසි බ්‍රාහ්මණවරුන්ට මෙසේ වදාළහ. “පින්වත් බ්‍රාහ්මණවරුනි, ඔබ අදහස් කරන සැප පහසු උසස් ආසන, මහා ආසන පැවිද්දන් හට දුර්ලභ යි. නමුත් උසස් ආසන, මහා ආසන තුනක් තිබෙනවා. ඒ උසස් ආසන, මහා ආසන තුන නම් මම කැමති විදිහට ලබනවා. නිදුකින් ලබනවා. බොහෝ සෙයින් ලබනවා. එනම් දිව්‍ය වූ උච්චාසයන මහාසයනය යි. බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය යි. ආර්ය වූ උච්චාසයන මහාසයනය යි.” ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එම ආසන තුන ගැන පහදා දෙමින් රමණීය අයුරින් දහම් කරුණු ඉස්මතු කොට වදාළේ මෙලෙසිනි.

දිව්‍ය වූ උච්චාසයන මහාසයනය

“පින්වත් බ්‍රාහ්මණය, මම යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කරද්දී උදේ වරුවේ සිවුරු හැඳ පොරවාගෙන ඒ ගමට වේවා නියම් ගමට වේවා, පිඩුසිඟා වඩිනවා. දානය වළඳා වනාන්තරයට පිවිස, වියළි තණ වේවා, වැටී තිබෙන කොළරොඩු වේවා එකතුකොට (ඒ මත දෙපට සිවුර අතුරා) පළගක් බැඳගෙන, කය සෘජුකොට තබාගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා. කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත, වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඒ වගේම ප්‍රීතියට ද නො ඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන්, නුවණින් යුතුව කයෙන් සැපයක් ද විඳීනවා. ආර්යන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණ කියා පවසනවා ද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යාමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති හතරවන ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා.”ඉන්පසු ධ්‍යාන සැපයෙන් යුතුව සතර ඉරියව්වේදී ම තමන් වහන්සේ ගතකරන විරාගී චරණය ගැන මේ අයුරින් පැහැදිලි කොට වදාළහ.

“පින්වත් බ්‍රාහ්මණය, ඉදින් එබඳු විහරණයකින් යුතු මම සක්මන් කරනවා නම්, ඒ වෙලාවේදී මාගේ සක්මන දිව්‍ය සක්මනක්. එබඳු විහරණයකින් යුතු මම සිටගෙන සිටිනවා නම්, ඒ වෙලාවේදී මම සිටින්නේ දිව්‍යමය වූ සිටීම යි. එබඳු විහරණයකින් යුතු මම වාඩිවී සිටිනවා නම් ඒ වෙලාවේදී මා සිටින්නේ දිව්‍යමය වූ හි¼දීමක යි. එබඳු විහරණයකින් යුතු මම සැතපී සිටිනවා නම්, ඒ වේලාවේදී මා සිටින්නේ දිව්‍යමය වූ සැතපීමකයි. ඒ වෙලාවේදී තිබෙන්නේ මාගේ දිව්‍යමය වූ උච්චාසයන මහාසයනය යි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ විට අතිශයින් පැහැදීමට පත්වූ බ්‍රාහ්මණ පිරිස සිය සතුට මෙසේ ප්‍රකාශ කළහ. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි! භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට මෙබඳු වූ දිව්‍යමය උච්චාසයන මහාසයනයන් අන් කවරකු නම් රිසි සේ ලබාවි ද? නිදුකින් ලබාවි ද? බොහෝ සෙයින් ලබාවි ද?” කියා ය.

බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ අත්විඳීන නිරාමිස සුවය මෙසේ පැහැදිලි කොට වදාළා. “මම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරවා වාසය කරනවා. ඒ වගේම දෙවනි දිශාවටත්, තුන්වන දිශාවටත්, හතරවන දිශාවටත් පතුරවා වාසය කරනවා. ඒ වගේම උඩ, යට, හරහට, සියලු තැනට සියලු අයුරින් තමා හා සමකොට සකල ලෝකයටම විපුල වූ, ප්‍රදේශ වශයෙන් පුළුල් වූ, ප්‍රමාණ රහිත වූ, වෛර නැති මෙත් සිත පතුරවා වාසය කරනවා.”

මේ ආකාරයටම කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපේක්ෂා සහගත සිතින් දස දිශාවටම පතුරුවා වාසය කරන බව පෙන්වා දුන් භාග්‍යවතුන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තව සිව් ඉරියව් පවත්වන බව පෙන්වා වදාළා. “පින්වත් බ්‍රාහ්මණය, ඒ වෙලාවේදී තිබෙන්නේ මාගේ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය යි. පින්වත් බ්‍රාහ්මණය, යමක් දැන් මා කැමති සේ ලබනවා ද, නිදුකින් ලබනවා ද, බොහෝ සෙයින් ලබනවා ද මේ තමයි ඒ බ්‍රහ්ම වූ උච්චාසයන මහාසයනය.”

ආර්ය වූ උච්චාසයන මහාසයනය

පෙර පරිද්දෙන් ම බ්‍රාහ්මණ ගෘහපතිවරු තම අතිශය පැහැදීම පළකළ පසු භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි ආසනය ගැනත් මෙසේ වදාළා. “භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙන මම මේ විදිහට දැනගන්නවා. මගේ රාගය, ද්වේශය, මෝහය ප්‍රහාණය වෙලා තිබෙන්නේ. කරටිය සිදුණු තල් ගසක් මෙන් කරලයි තිබෙන්නේ. යළි හට නො ගන්නා ස්වභාවයට පත් කරලයි තිබෙන්නේ.” මෙසේ වීතරාගී ,වීතදෝෂී, වීතමෝහී නිකෙලෙස් හද මඬලක් දරා වැඩසිටිමින් සිව් ඉරියව් පැවැත්වීම ආර්ය වූ උච්චාසයන මහාසයනය යැයි පෙන්වා වදාළහ.

එවිට බලවත් වූ චිත්ත ප්‍රසාදයෙන් යුක්ත බ්‍රාහ්මණ ගෘහපතිවරු යළි මෙසේ පවසා සිටියා. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්යයි! භවත් ගෞතමයන් වහන්ස, පුදුම සහගතයි!, භවත් ගෞතමයන් වහන්සේ හැරුණු කොට මෙබඳු වූ ආර්ය උච්චාසයන මහාසයනයන් අන් කවරකු නම් රිසි සේ ලබාවි ද? නිදුකින් ලබාවි ද? බොහෝ සෙයින් ලබාවි ද?” කියායි.

මේ රමණීය වූ දම්දෙසුම අවසානයේ දී වේනාගපුරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු පිරිස අවබෝධයෙන් යුතුව ම තෙරුවන් සරණ ගියේ මෙසේ පවසමිනි. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වසා තිබූ දෙයක් විවෘත කළා වගෙයි. මංමුළාවූවන් ට නියම මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න, අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරාගෙන සිටිනවා වගෙයි.

ඔය අයුරින් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, අපිත් භවත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්ස, අප අද පටන් තෙරුවන් සරණ ගිය උපාසකයින් වශයෙන් පිළිගෙන වදාරණ සේක්වා!” යනුවෙනි.