Print this Article


පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර කළ පිනටයි

පින් කිරීමට අවස්ථාව ලැබෙන්නේ පෙර කළ පිනටයි

" කෙනකුගේ කායික පෙනුම ඔහුගෙන් යමක් ඉල්ලීමට හැකි ද යන්න ප්‍රකට කරයි. මේ කායික පෙනුම කාලාන්තරයක් දන් දීමෙන් ඇතිකරවන ප්‍රතිඵලයකි. "

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්ම්මපි යාචිතො
එතෙහි තීහි ඨානෙහි ගච්ඡෙ
දෙවාන සන්තිකෙ

පින්වතුනි,

අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ එන ගාථාවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකි ය.

“ඇත්ත කීම, කෝප නොවීම යමෙක් යමක් ඉල්ලුවිට සුළු දෙයක් හෝ දීම, යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේ ය.”

මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහ රහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම සෘද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදහ.එහිදී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර, සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද යන්න අසා දැන ගන්නා ලදී.

පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, ඇත්ත කී පමණෙකින්, කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදිය සුළු දෙයක් දුන් පමෙණකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් “එසේය, හැකිය” යි වදාරා මේ ගාථාව වදාළ සේක.

රහත් භාවය පිළිබඳ අවබෝධය ඇති කෙනකුට නිරතුරුව ඇති වන ප්‍රශ්නය නම් මුගලන් මහ රහතන් වහන්සේට මේ කරුණ පිළිබඳ දැනීමක් නැද්ද යන්නයි. මුගලන් මහ රහතන් වහන්සේ එම කරුණු සහ එහි විපාක හොඳින් දනිති. නමුත් දම් සභාවේ දී අනිත් අය නො දන්නා, සාමාන්‍ය ජනතාවට යහපතක් ඇති කරන ධර්ම කරුණක් ඉදිරිපත් කිරීමෙන් බුදුරජාණන් වහන්සේට එදින අල්පශ්‍රැතයින් සඳහා වැඩදායී යමක් ඉටුකළ හැකිය යන පරාර්ථ චේතනාවෙන් මෙබඳු ප්‍රශ්න අසන බව පෙනේ.

බුදුරජාණන් වහන්සේගේ දේශනා නිර්වාණය ඉලක්ක කරගත් දේශනාවන් බව පෙන්නුම් කරයි. එහෙත් විටින් විට ඉන් බැහැරව පොදුවේ සියලු දෙනාට යහපතක් සිදුවන, පුරුදු පුහුණු කළ හැකි ධර්ම විග්‍රහයන් උන්වහන්සේ විසින් දේශනා කර ඇත. සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු පොදුවේ ඕනෑම අන්‍ය භක්තිකයකුට ප්‍රයෝජනවත් වන, ආගමික ස්වරූපයෙන් තොරව අනුගමනය කළ හැකි ධර්ම කරුණු ය.

මේ සූත්‍රයේ මතු කරන ධර්ම කරුණු තුන ද ලෝකයේ ඕනෑම අන්‍යාගමිකයකුට වුව ද අනුගමනය කළ හැකි ධර්ම කරුණු තුනකි.

සත්‍ය ප්‍රකාශ කිරීම සත්පුරුෂ සමාජ ලක්ෂණයකි. වචනය කායික ක්‍රියාවකට වඩා පුද්ගල චර්යාව කෙරෙහි තදින් බලපාන මාධ්‍යයකි. වචනය කායික ක්‍රියාවක ප්‍රතිඵලයට වඩා මිනිස් සන්තානයේ දිගු කල් රැඳෙන මතක සටහනකි. කායික සටහනකට වඩා වාචසික සටහන දිගු වෙලාවක් පවතින අතර එය තුන් කාලයට අයත් සිදුවීම් එළි කරන, විවිධ දිසාවන්ට වාද විවාද ගෙන යන බලවේගයකි.

කෙනකු සත්‍ය ගරුක වන විට, එම භාවිතය තව කෙනකු මුලා කරන ප්‍රකාශවලින් බැහැර කරවයි. පරිභව ප්‍රකාශවලින්, අස්ථාන, අනර්ථ, නොවටිනා ප්‍රකාශවලින් බැහැර කරවයි. මේ තුළින් වචනය සංවර කර ගත හැකි ය. සමාජ පිළිගැනීම ලබාගත හැකි ය. ගැටුම්වලින් ආරක්ෂා කර ගත හැකි ය.

කෝප නොවීම ශාන්තිකර ධර්මයකි. කෝපවීම කර්ම දෝෂයකින් එනම් පුරුද්දක් නිසා ඇතිවිය හැකි ය. ආත්ම අභිමානය නිසා ඇතිවිය හැකි ය. දෘෂ්ටියක් නිසා ඇතිවිය හැකි ය. අලාභයක් නිසා ඇතිවිය හැකි ය. කායික රෝගයක් නිසාත්, මානසික ආතතියක් නිසාත් ඇතිවිය හැකි ය.

කෝපවීම නිසා ඇතිවන ප්‍රතිඵල හානි දායක වේ. විවිධ කායික රෝග ඇති කරවයි. මානසික රෝග ඇති කරවයි. ධන හානි ඇති කරයි. සමාජයේ දෝෂ දර්ශනයට පත් වේ. පිළිගැනීම නැති කරයි. මිතුරන් අඩු වේ. සතුරන් වැඩි වේ. තනතුරු පිරිනැමීමට මැලිවෙයි. සමාධි ශක්තිය ඇති නොවේ. නිවනින් ඈත් වේ.

කෝපය නැති කළ හැක්කේ ඉවසීමෙන් පමණි. මේ සඳහා සතිය විමර්ශනය අධිෂ්ඨානය අවශ්‍ය වේ. තමාට අයත් සිත දෙස නිරතුරුව බලන්නේ නම්, කෝපය ඇති වන අවස්ථා දැකිය හැකි ය. කෝපය ඇති කරවන කරුණ මධ්‍යස්ථ සිතින් භාරගත් විට කෝපය නැති වේ. අලාභය බාර නොගන්නා විට කෝප වේ. අනෙකුත් මත පැවතිය හැකි යැයි භාරගත් විට කෝපය නොවේ. ඕනෑම කෙනෙකු ඕනෑම රෝගයකට පත්විය හැකි බව බාරගත් විට කෝපය ඇති නොවේ. ආතතිය ඇතිවන හේතුව භාරගෙන එයට පිළියම් යෙදීමෙන් කෝපය ඇති නොවේ. මේ චින්තන ක්‍රමය කලක් පුරුදු කිරීමෙන් සාමාන්‍ය චින්තන රටාවෙන් බැහැර විය හැකි ය. පුරුද්දක් නිසා ඔබ කෝප වන්නේ නම් එවිට සිත වෙන අරමුණකට ගෙන යන්න. වෙන ක්‍රියාවක් සිදු කරන්න. දීර්ඝ ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් පස් වතාවක් සිදු කරන්න. ඉන් කෝපය පහව යයි.

ඉල්ලන කෙනාට සුළු දෙයක් හෝ දීම හොඳ පුරුද්දකි. ත්‍යාග සම්පත්තිය කුමක්ද යන්න විස්තර කරන බුදුරජාණන් වහන්සේ එය මසුරු මළ පහ කිරීම ලෙසට හඳුන්වයි. මසුරුකම හැමවිටම අපගේ සිත් තුළ කිලිටි සිතුවිලි නිර්මාණය කරන අතර, ඒ නිසාම කෙනකු අපායගාමී බවට පත් කරයි. මේ නිසා ත්‍යාග සම්පත්තිය දියුණු කිරීමට (වොස්සග්ගරත) දන් දීමට කැමති, (යාචයොග) යමක් ඉල්ලීමට හැකි, (පයතපානී) දන් දීමෙන් පිරිසුදු දෑත් ඇති කෙනකු බවට පත් වීමට උත්සාහ ගන්නා ලෙසට අවවාද කර ඇත. කෙනකුගේ කායික පෙනුම ඔහුගෙන් යමක් ඉල්ලීමට හැකි ද යන්න ප්‍රකට කරයි. මේ කායික පෙනුම කාලාන්තරයක් දන් දීමෙන් ඇතිකරවන ප්‍රතිඵලයකි. කෙනෙකු යමක් ආයාචනා කිරීම දේව ආශිර්වාදයක් ලෙසට සලකන්න. එය පින් කිරීමට අවස්ථාවක් උදා කිරීමකි. එය ද පූර්ව පිනට සිදුවන්නකි.

මේ කරුණු ගැන ගැඹුරින් හිතන්න. ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මඟ නොහරින්න. ගුණ ධර්ම පෝෂණය කරන්න. මේ නිසා ඔබට මේ භවය තුළම තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ය. පරලොව ජීවිතය සුගතිගාමී කළ හැකි ය. මේවා නිර්වාණය අවබෝධ කරගන්නට අවශ්‍ය පූර්ව කෘත්‍යයක් කළ හැකි ය. සියලු දෙනාට සියලු යහපත සැලසේවා.