Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

****

නැණ ගුණ දම් පිරි සිසු පරපුරකට සෙවණ දෙන නන්දන මහ පිරිවෙන

කඹුරුපිටියේ නන්දරතන නාහිමියන් අපවත්වීම කැස්බෑව, නන්දන පිරිවෙනට දැරිය නොහැකි පාඩුවක් විය. එම වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම පිරිවෙන ලෙස නන්දන පිරිවෙන සම්මානයට පාත්‍ර විය. නන්දන පිරිවෙන්හි ස්වර්ණමය යුගය ලෙස නම් කළ හැකි වර්ෂය වනුයේ එතෙක් මෙතෙක් පිරිවෙන ලද ඉහළම ජයග්‍රහණය ලද 2011 වර්ෂය යි. එනම් සිසුන් 14 දෙනෙකුගේ මූලික පිරිවෙන් අවසාන ප්‍රතිඵල අතර පැවැති විශිෂ්ට සාමාර්ථ ගණන 47කි. කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම පිරිවෙන ලෙස සම්මාන ලද නන්දන පිරිවෙන එවක සමස්ත ලංකාවෙන්ම හොඳම ප්‍රතිඵල ලද මූලික පිරිවෙනයි. මේ සියල්ල පසුපස සිටි දැවැන්ත යුග පුරුෂයාණන් වහන්සේ නන්දන පිරිවෙන්හි සම්මානිත පරිවෙණාධිපති,සමස්ත ලංකා භාවනා පිළිබඳ පිරිවෙන් ගුරු උපදේශක තනතුරු හෙබවූ ,ශාස්ත්‍රපති, රන්පත්විල විමලරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට නතුව අපවත් වී වදාළ වේපතඉර ඤාණානන්ද, මෑතකදී අපවත් වී වදාළ වැවේගම සමිත යන දෙගුරුන් වහන්සේලා ද පිරිවෙනෙහි ප්‍රගතිය වෙනුවෙන් අපමණ කැපකිරීම් සිදු කළහ.

තවද, කොළඹ දිස්ත්‍රික් දෙමළ භාෂා ගුරු උපදේශක තනතුර හෙබවූ හසලක අත්ථදස්සි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කථිකාචාර්ය ධූරයක් දැරූ කටුවන චන්දරතන, වත්මන් සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයක් හොබවා වදාරන තම්ජන්තැන්නේ ධම්මරංසි, චිරප්‍රකට විචිත්‍ර දේශකයාණන් වහන්සේ නමක් වන තෙලුල්ලේ සුමනනන්ද හා සීනිපැලැල්ලේ චන්දිම යන හිමිවරුන්ගෙන් සමන්විත වූ පැවිදි ඇදුරුමඩුල්ල ඉතා ප්‍රතිබල සම්පන්න වූහ.

ගුරු-සිසු දෙපාර්ශ්වයම වගවීමෙන් හා කැපවීමෙන්, කරුණාවෙන් හා මෛත්‍රියෙන් මෙහෙයවමින් පරිවෙණාධිපති ධූරය හොබවා වදාළ රන්පත්විල විමලරතන හිමියන්ගේ විශ්‍රාම ගැනීම ද පිරිමැසිය නොහැකි පාඩුවක් විය.

උන්වහන්සේගේ සුවිශේෂිත්වය වූයේ ගුරු-සිසු දෙපාර්ශ්වයෙහිම ගෞරවයට පාත්‍ර වූ නිසා ය. ඇතැම් විට කඹුරුපිටියේ නන්දරතන හිමියන් විසින් ගනු ලැබූ තීරණ වුවද වෙනස් කළ උන්වහන්සේ සැබෑ පෞරුෂත්වයකින් යුතු වූහ. උන් වහන්සේගේ අවවාද අනුශාසනා තුළින් ගුරු-සිසු දෙපාර්ශ්වයම නිවැරැදි දිශානතියකට මෙහෙය වූයේ සෘජු නායකත්වයේ ප්‍රතාපවත් පෞරුෂත්වය මනාව ප්‍රකට කරමිනි.

උන්වහන්සේගේ විශ්‍රාම යාමෙන් නන්දන පරිවෙණාධිපති ධූරයට පත් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කැස්බෑවේ සුමනානන්ද හිමියෝ වර්තමානය තෙක්ම අප්‍රතිහත ධෛර්යයෙන් හා දැඩි කැපවීමෙන් යුක්තව එකී භාරදූර කාර්යයෙහි නියුතු වෙති. උන්වහන්සේගේ ප්‍රථම කාර්යය බවට පත්වූයේ මූලික පිරිවෙනක් ව පැවති නන්දන පිරිවෙන මහ පිරිවෙනක් බවට පත් කිරීමයි. එකී වගකීම බොහෝ අභියෝගතා මධ්‍යයේ නිසි ලෙස ඉටු කළ උන්වහන්සේ 2012 වර්ෂයේදී නන්දන පිරිවෙන මහ පිරිවෙනක් බවට පත්කළහ.

මහ පිරිවෙනක් බවට පත්වීමෙන් අනතුරුව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන සමත් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් සහිත සිසුන් නන්දන විදු බිමෙන් ම බිහි කළහ.

පිරිවෙන ආරම්භයේ පටන් ම බිහි වූ භික්ෂූන් වහන්සේලා ලක්දිව පමණක් නොව දේශ දේශාන්තරවල ද වැඩ සිටිමින් සසුන්කෙත බැබලවීමෙහි ලා කටයුතු කරන්නේ නන්දන ආදී ශිෂ්‍යයන්ගේ අභිමානය ද සුරක්ෂා කරමිනි.

මෙම ලිපියේ මුල් කොටස දුරුතු අමාවක (12 ) පත්‍රයේ පළවිය. අද පළවන්නේ එහි අවසන් කොටසයි.

****

පැවිදි පිළිවෙත

බුදු සසුන මහා සයුරක් සේ ය. භික්ෂූන් වහන්සේ නැවක් සේ ය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ ඇසුරින් පස් වසක් ගෙවීමේ කාලය නැව සාගරයේ යාත්‍රා කරන කාලය මෙනි. භික්ෂුව පැවිදි පිළිවෙතෙහි ඉගෙනීම, පිළිවිසීම සංයෝජනවලින් තුනීවීම නැව සාගර ජලයෙන් දුර්වල වී බැමි බුරුල්වීම මෙනි.

දිරාපත් වූ නැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැංගුරම් ලද කාලය භික්ෂුව වර්ෂ හතක් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඇසුරින් මිදී කමටහන් ගෙන ආරණ්‍යවාසී වීමේ කාලය මෙනි.

අව්වෙන් සහ සුළඟින් නැව වේලි, රාත්‍රී කාලයෙහි හිම වැටීමෙන් තෙත් වී, එම තෙත් බව ආරක්ෂා වී විදර්ශනා ඥානයෙන් සිදුවන කාර්යයම සිදු කරයි. මෙසේ සිදුවන කල්හි නැව දුර්වල වන්නා සේ විදසුන් වඩන භික්ෂුවගේ සංයෝජන බහුල වශයෙන් දුර්වල වේ. එමෙන් ම කල්යෑමේ දී කුණාටු සහිත මහා වැස්සක් ඇතිවීමෙන්, ඒ වැහි ජලයෙන් නැව පිරී, ඉතිරී පැතිරී පුපුරා යයි. එමෙන්ම රූප ශබ්දකාදී වශයෙන් විදසුන් වඩන්නහුගේ භාවශ්‍රවයන් නැති වී රහත් වන්නේ ය. ඉන් පසුව ද ස්කන්ධ පංචකය පැවතීම දිරූ නැව කැඩී බිඳී විනාශ වී යෑමේ ලකුණු පහළ වන්නාක් මෙනි. දිරූ නැව සම්පූර්ණයෙන් ම විනාශ වීම මහලු වූ ශරීරය මරණයෙන් අවසන්වීම මෙනි.

බුදුන් වහන්සේ, භික්ෂූන් වහන්සේගේ රහත්ඵල ලැබීම සහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම නැවකට සමාන කළේ, නැවෙහි කාර්යයට සමාන කළේ එසේ ය.

****

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ