Print this Article


ලෝකයේ අනාගතය අවිනිශ්චිතයි හැකි පමණින් ඉතිරි කරන්න...

ලෝකයේ අනාගතය අවිනිශ්චිතයි හැකි පමණින් ඉතිරි කරන්න...


එකෙනභොගෙ භුඤ්ජ්‍යෙය
ද්වීහිකම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාප්‍යෙය
ආපදාසු භවිස්සති

උපයන මුදලින් එක් කොටසක් පරිභෝජනයට ද,
කොටස් දෙකක් ව්‍යාපාර දියුණුවට ද,
හතර වැනි කොටස ආපදාවක දී ප්‍රයෝජනයට
නිධන්ගත කිරීම ද කළ යුතු ය.

පින්වතුනි,

සමහරු බුදු දහම පිළිබඳව නියම වැටහීමක් නැතිව කියන දෙයක් තමයි බුද්ධ දේශනාව සීමා වන්නේ පරලොවට කියා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මෙලොව පරලොව යන උභය ලෝකයට ම ප්‍රයෝජනවත් වන ආකාරයට දෙලොව ජය ගැනීමටයි දේශනා කර තිබෙන්නේ. මාතෘකා කළ ගාථාව සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන්නේ.

දිනක් බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහ රජතුමා පූජා කළ උණ ගස්වලින් හා ලේනුන්ගෙන් පිරුණ රජගහ නුවර වේළුවන නම් විහාරයේ වැඩ වාසය කරනවා.ඒ කාලයේ සිඟාලක නමින් හැඳීන්වූ ගෘහපති තරුණයෙක් පාන්දරින් ම නැඟිටලා තෙත් වූ ඇඳුම්  හා හිස කෙස්වලින් යුතුව දිසාවන් හයට වන්දනාමාන කරනවා.

බුදුහාමුදුරුවෝ උදෑසන පිණ්ඩපාතයේ වඩින විට මෙය දැක කුමන හේතුවක් නිසා එසේ කරන්නේදැයි තරුණයාගෙන් විමසනවා.තමන්ගේ පියා මිය යනවිට කළ ඉල්ලීමකට අනුව එසේ කරන බව සිඟාලක පවසනවා.

පසුව බුදු හාමුදුරුවෝ මගේ ආර්ය ශාසනයේ සදිසා වඳීන්නේ මේ ආකාරයට බව තරුණයාට පැහැදිලි කරලා දෙන්න සිඟාලෝවාද සූත්‍රය දේශනා කරනවා.මේ සූත්‍රය අන්තර්ගතවෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකායට අයත් පාඨික වර්ගයේ. මේ ගාථා පාඨය වර්තමානයේ බොහෝ සේ සාකච්ඡාවට ලක්වෙන මුදල් කලමනාකරණ ( Mony Management )  හා රක්ෂණාවරණ ( Insurance ) වැනි සංකල්ප බුදු දහමේ විග්‍රහ වන ආකාරය මනාව විස්තර කිරීමක්. ලෝකයට කළමනාකරණ විෂය හඳුන්වා දීමට ශත වර්ෂ ගණනාවකට පෙර බුදුන් වහන්සේ පුද්ගලානුබද්ධ වූ, ඉතා විධිමත් වූ මූල්‍ය කළමනාකරණයකට අවශ්‍ය මාර්ගෝපදේශ පෙන්වා දී ඇති බව මෙම ගාථා පාඨයෙන් පැහැදිලි වෙනවා. එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ උපයන මුදල කොටස් හතරකට බෙදිය යුතු බවයි. පළමු කොටස පරිභෝජනය සඳහා යි. කෑම් - බීම්,ඉඳුම්- හිටුම්,ඇඳුම් - පැළඳුම්, බේත් - හේත් ආදී දෛනික ජීවිතයේ දී අවශ්‍ය බොහෝ දෑ මේ පළමු කොටසින් ඉටු කරගත යුතුයි. දෙවැනි හා තුන්වැනි කොටස් දෙකම යෙදවිය යුත්තේ තමන්ගේ කර්මාන්ත දියුණුව සඳහා යි.එය මතුවට ලාභ ලැබීම අරමුණු කොට සිදුකරන ආයෝජනයක්.

හතරවැනි කොටස වෙන් කළ යුත්තේ හදිසි ආපදා තත්වයක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා යි. එනම් බැංකු ගත කිරීමයි. නිදසුනක් ලෙස ගත්විට බුදුන් වහන්සේගේ මේ කළමනාකරණ සිද්ධාන්තයට අනුව මාසිකව රුපියල් විසිදහසක ආදායමක් ලබන කෙනෙක් පන්දහසක් පරිභෝජනයට ගත යුතු අතර, තවත් පන්දහසක් බැංකු ගත කළ යුතුයි.ඉතිරි දසදහස ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. ව්‍යාපාර කටයුතු සඳහා මේ විස්තරය අදාළ වුවත් මාසික වැටුපක් ලබන කෙනෙකුට මෙය අදාළ වන්නේ නැහැ. කළ යුත්තේ ලැබෙන වැටුපෙන් හතරෙන් තුන් කොටසක් තම කටයුතු සඳහා යොදා ගන්නා අතර ඉතිරි කොටස හදිසියක දී ගැනීම පිණිස තැන්පත් කර තබා ගැනීමයි.

මේ ධන කළමනාකරණ න්‍යායයෙන් වියුක්ත වූ විට මහා ව්‍යාපාරිකයාගේ සිට එදා වේල සපයා ගෙන ජීවත්වෙන ශ්‍රමිකයා දක්වා ඒ ඒ සමාජ ස්ථරවල දක්නට ලැබෙන්නේ කඩා වැටීමක්.වර්තමාන සමාජයේ ඇතැමුන් බොහෝවිට හතරෙන් එකක් වූ පරිභෝජන සිද්ධාන්තය, හතරෙන් තුනක් කොට, ඉතිරි හතරෙන් එක ව්‍යාපාර දියුණුවට හෝ බැංකු ගත කිරීමකට යටත් කරන අතර, ඇතැම්විට එකදු කොටසක් වත් බැංකු ගත නොකරයි. බුදුන් වහන්සේ පෙන්වා දුන් බැංකු ගත කිරීමේ සංකල්පය එදාට වඩා අද වඩාත් ඵලදායී වන්නේ ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ බියකරු බව හේතුවෙන් ලෝකයම ආර්ථික අවපාතයකට මුහුණපා ඇති නිස යි. ලොව පුරා මිලියන ගණනක ශ්‍රමිකයන්ගේ රැකියාවන් අද අවිනිශ්චිත ව පවතිනවා. පවතින ආර්ථික අවපාතය නිසා බොහෝ මහාපරිමාණ සමාගම් තම ශ්‍රමිකයන් හරි අඩක් සේවයෙන් ඉවත් කරමින් පවතිනවා. එවන් පසුබිමක බුදුන් වහන්සේ දෙසූ මේ ධන කළමනාකරණ සිද්ධාන්තයෙන් හතරෙන් එකක් වූ තැන්පතු වාරිකය මුල සිට නිසි අයුරින් බැංකු ගත කළේ නම්, මෙවන් ව්‍යසනයක දී කිසිදා ආර්ථික අහේනියක් සිදු වන්නේ නෑ.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් මේ ධන කළමනාකරණ සිද්ධාන්තය ලොවට මහඟු සම්පතක්.

එදා රීස්ඩේවිඩ්ස් මැතිණිය ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ ගංගා නම් නදිය අසබඩ සිට සිඟාල තරුණයාට දෙසූ මේ සිඟාලෝවාද දහම එංගලන්තයේ සුප්‍රකට තේම්ස් නදිය අසබඩ සිටින ජනයාට ද එකසේ ම උපකාර වන බවයි.

පින්වතුනි, අප සැම මේ ගෙවමින් පවතින්නේ අතිශය දුෂ්කර කාල වකවානුවකි. පීඩාකාරී කාල පරිච්ඡේදයකි. මේ ආපදා තත්වයෙන් මිදෙන්නට නිවැරදි සෞඛ්‍ය පුරුදු කි‍්‍රයාත්මක කරන අතරේ මතු සුඛ විහරණය සඳහා බුදුන් වහන්සේ දෙසූ මේ ධන කළමනාකරණ සිද්ධාන්තය ගුරු කොට ජීවත්වන්නට අදිටන් කරගනිමු.