Print this Article


මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය

මැදගම කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය

වයඹ පළාතේ , පුත්තලම් දිස්ත්‍රික්කයේ උතුරු පිටිගල් කෝරලයේ යගම් පත්තුවට අයත් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා බිංගිරිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය පිහිටා ඇත. මාදම්පේ සිට විලත්තව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ මාදම්පේ නව නගරයේ සිට විලත්තව දෙසට සැතපුම් හතරක් ගිය තැන ශ්‍රී පුෂ්පාරාම විහාර පින් බිම හමු වේ.

මෙම විහාරස්ථාන නුවර යුගයට අයත් පුරාණ විහාරයක් බවට කෙරෙන ප්‍රධාන සාධකය පැරණි බුදු ගෙයකි. එහි ඉදිරිපස සඳහන් කර ඇති ක්‍රිස්තුවර්ෂ 1912 හා බුද්ධ වර්ෂ 2456 යනුවෙන් දක්වා ඇති දොරටුව හා විහාර මන්දිරයේ ඇතුළත බිත්තිවල ඇති සිතුවම් එය සනාථ කරයි.

ඊට පෙර ද දැව පිට තනා තිබූ බුදු මැදුරක් තිබුණ බව කියැවේ.එහි තිබූ පෞරාණික බුද්ධ ප්‍රතිමාව පමණක් අද පවතී.පොල්අතු සෙවලිකර තිබූ ධර්ම ශාලාවක් තිබූ බව ද කියැවේ.1927 වර්ෂයේ දී වර්තමාන පවතින ධර්ම ශාලාව ඉදිකර ඇත.

මෙම විහාරස්ථානයට ඉඩ කඩම් පූජාකර ඇත්තේ රන්දුනු පරම්පරාවේ සහ රන්දෙනි පරම්පරාවේ ගම් ප්‍රධානීන් ය.විහාරස්ථානයේ උන්නතිය සහ චිරස්ථිතිය උදෙසා කටයුතු කළ සුපේෂල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා වනුයේ ශ්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් වීරකොඩියාන උපනන්ද ස්වාමීන් වහන්සේ සහ මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයේ ආචාර්ය හිමිනමක් ලෙස කටයුතු කළ එළිවිටියේ උපසිරි ස්වාමීන් වහන්සේ ය.

1960 -1970 දශකයේ බුදු ලෙන චෛත්‍ය කර්මාන්තය සහ ශ්‍රී උපනන්ද දහම් පාසල ආරම්භ කර ඇත.

වත්මන් විහාරාධිපති ධූරය උසුලනු ලබන්නේ ශ්‍යාමොපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක ,මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති .මුළු දිවයිනටම සාම විනිසුරු රත්මල් අගාරේ සිරි විමලනායක ස්වාමීන් වහන්සේ විසිනි. උන් වහන්සේ පවුල් 550ක දායක පිරිසකගේ ධර්මානුකූල ජීවිතය හැඩගැස්වීම සඳහා කටයුතු කරති. ප්‍රධාන පිවිසුමේ වාහල්කඩ සහ දර්ශනීය නව සංඝාවාස ගොඩනැඟිල්ලක් ඉදිකර ඇත.

විහාර භූමියේ පිහිටි බෝධීන් වහන්සේ ද ඉපැරැණි ය. විහාරස්ථ ශ්‍රී උපනන්ද දහම් පාසල පුරා වසර හැටක අතීතයකට හිමිකම් කියන කීර්තිමත් දහම් නිකේතනයකි.එලිවිටියේ උපසිරි හිමි විසින් දහම් පාසල ආරම්භ කර ඇත.සිසු දරු දැරියෝ 300ක් පමණ දහම් අධ්‍යාපනය හදාරති.විහාරාධිපති නාහිමි ප්‍රමුඛ ප්‍රදේශයේ උගත් බුද්ධිමත් පහළොස් දෙනෙක් දහම් ගුරුවරු ලෙස නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කරති.පළමු ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය විභාගය දක්වා පන්ති පැවැත් වේ.

ප්‍රාදේශීය , දිස්ත්‍රික් , සමස්තලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන්වල දී ජයග්‍රහණය කළ සිසු දරුදැරියෝ බොහෝ වෙති.

දහම් පාසලේ උන්නතියට අත හිත දෙන විහාරස්ථ දායක සභාව, දහම් පාසල් සංවර්ධන සමිතිය ,ප්‍රාදේශීය දානපතියන් ,මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය භාර නිලධාරී මහත්ම මහත්මීන් ගෞරව පූර්වක ව සිහිපත් කරමු.