Print this Article


අසිහිය අනාරක්ෂිත බවේ ඇරඹුමයි

අසිහිය අනාරක්ෂිත බවේ ඇරඹුමයි

යම් දෙයකට තදින් ඇලීම, එය අත් නොහැරීම ඇබ්බැහිවීමයි. වර්තමාන තරුණ පරම්පරාවට ඇති ප්‍රධානතම බාධාව මේ ඇලීම් සහගත භාවයයි.

ඇබ්බැහිවීම තවත් ආකාරයකින් අන්තගාමීත්වයකි. සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට කිසිසේත් අත්‍යවශ්‍ය නොවන දෑ අවශ්‍ය යැයි සිතා දෙලොව ම හානියට පත්කර ගනී. මේ තුළ සිදුවන්නේ, තමන් තමන්ට රැවටීමයි. එසේ වුවත් ඇබ්බැහි වූවන් තමා ඇබ්බැහි වීම් සහගත පුද්ගලයකු බව තේරුම් නොගනී. මෙහි ඇති බරපතළ ස්වභාවය වන්නේ මේ තත්ත්වයයි.

ඕනෑම දෙයක ප්‍රමාණය දැන ගන්න

සාමාන්‍යයෙන් තරුණයන් ඇබ්බැහිවන අංශ ගණනාවක් සමාජ ජීවිතයේ දී හඳුනාගත හැකි ය. ඒ අතර සූදුව, සුරාව, කාමය, ඇතැම් තාක්ෂණික මෙවලම්, අධික විනෝදාස්වාදය, වීථි සංචාරය, බාල බොළඳ නිර්මාණ රසවිඳීම, සමාජ ජාලා පරිහරණය විශේෂිත ය. මින් ඇතැම් කාරණා පමණ දැන සිදුකළ යුතු අතර, ඇතැම් දේ අනිවාර්යයෙන්ම බැහැර කළ යුතු ය.

කුමන හෝ කාරණයක් සම්බන්ධ ව අගතිගාමී වීම බුදු දහම අනුමත කරන්නේ නැත. පුද්ගලයකු විනාශයට පත්වන, දහමෙහි උගන්වන ප්‍රධාන අගතිගාමී කාරණා 04 ක් දැක්වේ. එය සතර අගතියයි. මෙහි ඇබ්බැහිවීම් අයත් වන්නේ සතර අගතියේ මුල්ම කාරණය වන ඡන්දයට ය. කැමැත්තෙන් අගතිගාමී වන තරුණයා තම අරමුණ වෙනුවෙන් නොකළයුතු වූ බොහෝ දේ සිදු කිරීමට පෙළඹේ. ඇතැම් මිනීමැරුම්, පැහැර ගැනීම්, සොරකම්, අපචාර මෙහි ප්‍රතිඵලයකි.

බුදුරදුන් නිරන්තර ව දේශනා කළේ තමන් වහන්සේ මඟ පෙන්වන්නෙක් පමණක් බවත්, ක්‍රියා කිරීම තම තමන් සතු බවත් ය. ඕනෑම කෙනෙකුට යමක් සඳහන් කිරීමේ දී එය නුවණින් තේරුම්ගත යුතු ය. ඒ සඳහා ඕනෑ තරම් කමටහන් අපේ සමාජයෙන් සොයාගත හැකි ය.

ඉතා කුඩා කල නම් ළමා වයස තුළ අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමාගනී. එය සාමාන්‍ය මුත් තරුණ වයසක දී එසේ සිදුකිරීම තමාට සිදුකරගනු ලබන අපහාසයකි. උසස් වූ මනසක් ලැබූ මිනිසා යමක් තෝරා බේරා ගත යුතු ය. යමක් විඳීමේ දී එහි ආදීනව තේරුම් ගැනීමෙන් පසු එය ඉවත් කිරීම මිනිස්කමට ගෞරවයකි. වැරදි සිදුවිම මිනිස් ස්වභාවයක් වුවත් එය නිවැරදි කර ගැනීමට ද අවකාශ ඇත. එසේ සිදු නොකිරීම තරුණකමට, මිනිස්කමට අගෞරවයකි.

විශ්වාස කරන්නේ වාසනාව ද?

ඇතැම් තරුණයන් උත්සාහයට වඩා වාසනාව, දෛවය විශ්වාස කිරීමට පෙළඹේ. ඒ මත ඇතැම් සූදු ක්‍රීඩාවන්ට යොමු වේ. මේ තුළ දැඩිව එල්බගෙන තම දේපළ පමණක් නොව මව්පියන්ගෙ කනකර බඩු පවා උකස් තබා සූදු ක්‍රීඩාවේ නියැළෙයි. ඒ මත අනුගත ජීවිතය සැලසුම් කරයි. අද හෝ හෙට තමාට ජයග්‍රහණයක් ලැබෙතැයි ඔවුන් විශ්වාස කරයි.

සූදුවෙන් ජීවිත ජයගත් කිසිවකු මිහිපිට ඇත්තේ නැත. එහෙත් එහි නිරත වන්නෝ මේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් ය. පරාභව සූත්‍රයට අනුව මෙය පිරිහීමට හේතුවකි. කලක් ප්‍රසිද්ධ ව සිටි ඉංගී‍්‍රසි ගුරුවරයකු සිරගත වීම දක්වා ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකට පත්වූයේ මෙම සූදුව නිසාවෙනි. ඒ බව ඔහුම පසු කලෙක ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. සූදුවේ යථාර්ථය මෙයයි. ප්‍රේම කීර්ති ද අල්විස් නම් කලාකරුවා විසින් රචිත සුනිල් එදිරිසිංහයන් ගයන

“මිනිසෙකු පිට නැඟි අසරුවෙකී ඒ බර ගෙයි වහලට බරකී

පාන්දරින් පැරදුණ ඒ මිනිහා හැන්දෑවෙත්

අසු පිටට නඟී.....” ගීතයේ එන ලෙස

අද බැරිනම් හෙට හෝ ජයග්‍රහණයක් ඇතැයි අනවබෝධයෙන් යුතුව ඔවුන් කල්පනා කරයි. සූදුව එතරම් ම භයානක ඇබ්බැහිවීමකි. මේ මත අනිසි බලයක්, සූදුව මෙහෙයවන්නන් අත්පත් කර ගනී. නෙයිනගෙ සූදු පොළ මෙන්ම වර්තමානයේ පවතින රේස් බයි රේස් කුටිවල යථාර්ථය ද මෙයයි. එහි උච්චතම ස්ථානය කැසිනෝ වැනි සූදු පොළවල් ය. ගමේ බූරු පොළේ සිට අන්‍ය මුදලට ලෝභයෙන් යම් විටක ක්‍රීඩාවක් සිදුවන්නේ නම් එය සූදුවයි. හැදෙන වැඩෙන තරුණ පරපුර මේ තත්තවය තේරුම්ගත යුතු ය.

සිමෙන්ති පොළොවට දෙහි බින්දුවක් වැටුණොත්.....

මත් ද්‍රව්‍ය, මත් පෙති සහ මත් වතුර වර්තමාන තරුණ පරපුර ගිලගත් මහත් වසංගතයකි. සතුට, දුක, ජයග්‍රහණ සැමරීමට පමණක් නොව පාලුව කාන්සිය මඟහරවා ගැනීම උදෙසා මතට ලොල්වී ඇත. තරුණ මනස විකෘති කරනවා පමණක් නොව මත් වීමට සහ ප්‍රමාදයට එය ඉවහල් වේ. හකු බැස ගිය, ඇඟ වැටකොළු පතෝල තරමට ඇඹරීමට පත් කරන මත්ද්‍රව්‍ය ඇත්තටම රකුසෙකි. ලෝකය විඳීමට අවශ්‍ය නම් සිහියෙන් හා බුද්ධියෙන් සිටිය යුතු ය. පරාභව සූත්‍රයට අනුව සුරා දුර්තවීම පිරිහීමට හේතුවකි. පිරිමියකුගේ පුරුෂ ශක්තිය හීනවීමේ සිට අසාමාන්‍ය දුගඳක් හැමීමට දීර්ඝ කාලීන මත්පැන් පාවිච්චිය හේතු වේ. ඇතැම් තරුණ දරුවන් මානසික රෝගීන් බවට මත් පෙති නිසා පත් වූ අවස්ථාවන් හඳුනාගත හැකි ය.

ආකල්ප දියුණුකරගත් වැදගත් තරුණ තරුණියන් මත්ද්‍රව්‍යය ප්‍රතික්ෂේප කරනු ලැබේ. ආර්ථිකමය සහ සමාජමය වශයෙන් මතට ඇබ්බැහි වූවන් පහතට වැටෙන අතර බේබද්දන් ලෙස සමාජයෙන් කොන් වේ. සිමෙන්ති පොළොවට දෙහි බිංදුවක් වැටුණ පසු ඇතිවන තත්වය ඇල්කොහොල් ආමාෂගත කර ගැනීමේ දී සිහිපත් කළ යුතු ය. අපිට තිබෙන පිය උරුමය සිහියයි. එය නැති වූ තැන අප සියල්ලෝ ම අනාරක්ෂිත ය.

හොඳ නරක දෙකෙහිම විනාශය

කාමය, රාගය මත මිනිසුන් පිරිහීමට ලක්වේ. පරාභව සූත්‍රයේ දී එය මනාව විස්තර වේ. සම්මතය තුළ කටයුතු නොකිරීම් මත ජීවිත, දේපළ විනාශය සාමාන්‍ය වේ.

රාගය ගින්නකි. හොඳ දේ මෙන්ම නරක දේ ඒ තුළ විනාශයට පත් වේ. කාන්තාරයේ ඔටුවා පතොක් කෑම මත කට තුවාල වේ. එවිට ඌට දැනෙන ලේ රසය ගැන ඔටුවා කල්පනා කරනුයේ පතොක් රස ලෙස ය. එහෙයින් නැවත නැවතත් පතොක් අනුභව කරන ඔටුවා ඒ තුළ ජීවිතක්ෂයට පත්වේ. රාගය ද එසේම ය.

අසාතමන්ත ජාතකය මෙන්ම අන්ධභූත ජාතකය තුළින් පැහැදිලි වන්නේ ද එයම ය. ඇතැම් තරුණ ජීවිත විනාශ වීමෙහිලා මේ රාගය, කාමය හේතු වේ. කාමයෙන් ආශක්ත වූ විට දෑස අන්ධ වේ. කාමය රාගය මත අනිසි දේ කිරීම නැවත භවයක නපුංසක ව ඉපදීමට තරම් බරපතළ පාපයකි.

යුගදිවියට එළඹීමට සිටින තරුණ තරුණියන් විශේෂයෙන් මේ පිළිබඳ හොඳින් තේරුම්ගත යුතු ය. එසේ නොවුණහොත් ගිහි ගෙදර ගිනි ගෙයක් විය හැකි ය. ඇතැම් විට මිනිස් ජීවිත දහය දොළහ මේ විනාශයට පත්වේ. ශරීරයේ එක ඉන්ද්‍රියක් දෙකක් නිසා සමස්ත ශරීරය, ගෞරවය නැති කර ගැනීම අනුමත කළ නොහැකි ය.

ගිහි ගෙදර ගිනි ගොඩක් ද?

රසවිඳීම අවශ්‍යමුත් සීමාව ඉක්මවා විනෝදාස්වාදය සෙවීම හානි කරයි. අනවශ්‍ය ගමන් බිමන් නිරන්තරව සිදුවීම නොවිය යුතු ය. බුදු දහමට අනුව එය අපාය මුඛ ධර්මතාවයන් ය. දෙලොව සැනසීමට හේතුවන දෑ මිස වැනසීමට හේතුවන දෙයින් ඉවත්විය යුතු ය. අනවශ්‍ය ඒකරාශීවීම නිසා ඇති වන්නේ ගැටුම් කල කෝලාහලයන් ය. ඉන්ද්‍රියන් සීමාව ඉක්මවා පිනවීමට යාම තුළ ඇතිවන්නේ තමාට එය ඔරොත්තු නොදෙන තැනට පත්වීම ය. දරාගත නොහැකි තැනට යමක් පත්වීමේ දී පුපුරායාම සාමාන්‍ය වේ. සියල්ල දරා ගැනීමේ සීමාව ඉක්මවා නොයන ආකාරයට සැලසුම් කර ගැනීම අවශ්‍යය.

තාක්ෂණික මෙවලම් හා ඒ ආශි‍්‍රත සමාජ ජාලා, පරිහරණයේ දී පරෙස්සම්වීම ඉතා වැදගත් ය. තමාගේ එකම ගැලවුම්කරුවා මෙය යැයි නොසිතිය යුතු ය. ඇතැම් විට සමාජ ජාලා මගින් සංවිධානය වන විවිධ සාද, ඒ ආශි‍්‍රත ක්‍රියාකාරකම් තම අනාගතයම අඳුරු කිරීමට සමත් වේ.

බාල, බොළඳ රසාස්වාදය අරමුණු කොට තාක්ෂණික මෙවලම් භාවිත නොකළ යුතු ය. එයට ඇබ්බැහි වූවන් යන්ත්‍ර මෙන් එයටම දැහැන් ගත වී සිටින අයුරු සමාජයේ වැඩිහිටි ප්‍රජාවගේ විවේචනයට ලක්ව ඇත.

තම ජීවිතයේ ශක්තිමත් ම කාල සීමාව තුළ මුළු සමාජය ම හොඳින් අධ්‍යයනය කළ යුතු වේ. එසේ නොවී කුමන හෝ දෙයකට ඇබ්බැහිවීම තම ජීවිතය අඳුරෙන් අඳුරට පත්කරගැනීමකි.

එහෙයින් ජීවිතය ආලෝකයෙන් ආලෝකයට පත්කර ගැනීමට සෑම අතින්ම කටයුතු කිරීම ඉතා වැදගත් ය.