Print this Article


අනුවණකම

අනුවණකම

සසර දුකින් මුදවා සත්ත්වයාට නිවන් සුවය ලබා දෙන්නා වූ ඒ ලෝකෝත්තර මාර්ග ඥානය, වනගත ව වෙසෙන පැවිද්දන් විසින් පමණක් ලැබිය හැකි ඔවුන්ට පමණක් හිමි දෙයක් නොව ගිහි, පැවිදි ස්තී‍්‍ර, පුරුෂ බාල, මහලු සැම දෙනා විසින් ම ලැබිය හැකි දෙයකි.

සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම කළ හොත් ඒ ලෝකෝත්තර ඥානය ගිහිගෙයි වෙසෙන තැනැත්තාට ද ලැබෙන්නේ ය. නගර ග්‍රාමවල වෙසෙන පැවිද්දන්ට ද ලැබෙන්නේ ය. නියම මාර්ගයේ ගමන් නො කළ හොත් වනයෙහි වෙසෙන පැවිද්දන්ට ද නො ලැබෙන්නේ ය.

බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රම දෙකකි. ජීවනෝපාය වශයෙන් නොයෙක් දෑ කරන අතර ම අඹුදරුවන් පෝෂණය කරන අතර ම අවකාශ ලත් පරිදි හැකි පමණින් ඒවා වැඩීමේ ද යෙදීම එක් ක්‍රමයෙකි.

අන් සියලු වැඩ නවත්වා නිවන් මඟ ගමන් කිරීම ම තමාගේ ප්‍රධාන කෘත්‍යය වශයෙන් ගෙන එහි ම උග්‍ර වශයෙන් යෙදීම එක් ක්‍රමයෙකි. උග්‍ර වශයෙන් එහි යෙදෙන්නා වූ ඒ පින්වතුන්ට ඒ ලෝකෝත්තර ඥානය ඉක්මනින් ලැබිය හැකි වන්නේ ය. සෙමින් එහි යෙදෙන්නා වූ පින්වතුන්ට ලෝකෝත්තර ඥානය ලැබීමට බොහෝ කල් ගත වන්නේ ය. සමහර විට කල්ප ගණනක් වුව ද ගත වන්නේ ය. එහෙත් පැවිදි ව හෝ පැවිදි නොවී හෝ උග්‍ර වශයෙන් එහි යෙදීම සැම දෙනාට ම කළ හැකි දෙයක් නො වේ. එසේ කළ හැකි වන්නේ අව්වට, වැස්සට, පින්නට, ශීතලට උෂ්ණයට ඔරොත්තු දෙන්නා වූ ද රූක්ෂ හෝ මඳ වූ හෝ ආහාරයෙන් වූව ද ජීවත් වීමේ ශක්තිය ඇත්තා වූ ද, බොහෝ කල් නො නිදා සිටීම් එක් ඉරියව්වකින් සිටීම්, ආදියට ඔරොත්තු දෙන්නා වූ ද, නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇතියවුන්ට පමණෙකි. එබඳු පුද්ගලයෝ ලෝකයෙහි සුලභ නැත්තාහ.

ඔරොත්තු දෙන යහපත් ශරීරයක් නැති ව තමන් ගේ ශීලානුභාවයෙන් ම භාවනාවේ ආනුභාවයෙන් ම, සියල්ල සිදු වෙති යි සිතා, උග්‍ර වශයෙන් පිළිවෙත් පිරුවත් අනුකරණය කරන්නට යන්නෝ එයින් අමාරුවට වැටී පිරිහීමට පත් වන්නාහ. යථාවකාශ පරිද්දෙන් මඳීන් මද බෝධිපාක්ෂික ධර්ම වැඩීමේ ක්‍රමය ලඝු කොට නො සිතිය යුතු ය. එය මතු කවර කලෙක හෝ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමේ පාරමිතාව වන්නේ ය. බුදුවරු හමු වූ කල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදි මාර්ග ඵලවලට පැමිණ නිවන් දක්නෝ පෙර ජාතිවල දී බෝධිපාක්ෂික ධර්මයන් වඩා පාරමිතාව සම්පූර්ණ කර ගෙන තිබුණා වූ පුද්ගලයෝ ය. ඇතැම්හු සසර කළකිරුණු කල්හි ගිහි ව සිට ශීල සමාධ්‍යාදිය පිරීම ප්‍රමාණ නො වෙතියි සිතා පැවිදි වන්නට තැන් සොයති. ගුරුවරු සොයති. පැවිදි වන්නට තැන් නොලත් කල්හි ගිහි ව සිට හැකි පමණින් බෝධි පාක්ෂික ධර්ම සම්පාදනයෙහි නො යෙදී අන්‍යයන්ට දොස් කියමින් නිකම් ම කාලය ගත කෙරෙති. එය මහත් අනුවණ කමෙකි.

බෝධිපාක්ෂික ධර්ම විස්තරය ග්‍රන්ථය ඇසුරින්