Print this Article


අංගුත්තර නිකායෙන් 3: චිත්ත පරියාදාන වර්ගය

අංගුත්තර නිකායෙන් 3:

චිත්ත පරියාදාන වර්ගය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, සත්ත්වයන්ගේ සිතෙහි ස්වභාවය හා සිතේ සැඟවුණු කෙලෙස්, රූප, ශබ්ද. ගන්ධ, රස හා පොට්ඨබ්බ වශයෙන් එකිනෙක ගෙන තමන් වහන්සේගේ බුද්ධ ඤාණයෙන් මෙබඳු වෙනත් දෙයක් නොදකිම්’යි මෙසේ වදාළ සේක.

අටුවාව මෙසේ පැහැදිලි කරයි.

යම් සේ වනාහි රූපයට බලවත් සේ ලොල් වූ පුරුෂයෙක්, ස්ත්‍රී රූපයක් දැක ඇති කරගන්නා සිතෙන්, සිත කිළිටි කරවයි ද, මත් කරවයි ද, දැඩි සේ මත් කරවයි ද, මුළා කරවයි ද, දැඩිසේ මුළා කරවයි ද, එසේ වී මුත් පුරුෂයාට ස්ත්‍රී ශබ්දයට, ස්ත්‍රී ගන්ධයට, රසයට, පොට්ඨබ්බයට, එසේ නො කරයි.

ශබ්දයට දැඩි සේ ලොල් වූවහු ස්ත්‍රී රූපය නො සලකා හැරිය හැක. ස්ත්‍රී ගන්ධයට දැඩි සේ ලොල් වූ පුරුෂයකු ස්ත්‍රී රූපයට ද දැඩිසේ ලොල් විය හැකි මුත්, ස්ත්‍රී ශබ්දය නො සලකා හැරිය හැක. මෙසේ ඇතැමෙකුට මේ පස් කරුණු අතරින් එකම අරමුණක් කෙරෙහි පමණක් සිත හාත්පසින් මැඬලීම වේ. තවත් කෙනකුට දෙකක් ද, තුනක් ද, සතරක් සහ පසම ද සිත හාත්පසින් මැඬලීම වේ. එහෙයින් මෙසේ වෙන් වෙන් ව ම පඤ්ච ගරුක පුරුෂයන් වෙන් වෙන් ව ගෙන දේශනා කළ සේක. මෙසේම පුරුෂ පරියාදාන සූත්‍රය, පුරිස සද්ද පරියාදාන සූත්‍රය, පුරිස ගන්ධ පරියාදාන සූත්‍රය, පුරිස රස පරියාදාන සූත්‍රය, ආදී වශයෙන් සූත්‍ර පසක් පාලි පෙළෙහි සඳහන්ව ඇති පරිදි ඔවුන්ගේ අර්ථයන් ද ස්ත්‍රීන් පිළිබඳ ව දැක් වූ සූත්‍ර ක්‍රමයෙන්ම දැන ගැනීම වටී.

චිත්ත පරියාදාන වර්ගයෙහි රූප වර්ගය නිමි.