Print this Article


ලිඛිත සාක්ෂි සහිත පුරාණතම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ

ලිඛිත සාක්ෂි සහිත පුරාණතම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ

ජම්බුද්වීපයේ (මහා භාරතයේ) ඉතා පැරණි යුගය මොහෙන්ජාදාරෝ හරප්පා ශිෂ්ටාචාරය ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. හරප්පාහි ඇති මුදෝවක ඇසතු ගසේ පූජනීයත්වයට සාක්ෂි සපයන පැරණිම අවස්ථාව ලෙසින් සැලකිය හැකි ය. එම හරප්පා මුදෝව ක්‍රිස්තු පූර්ව තුන්දහස ට පෙර යුගයකට අයත් වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ ය.

ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය (ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි. පි. 19 - 1994)

අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමලුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි රෝපණය කර පසුගිය උඳුවප් පුර පසළොස්වක දිනය එළැඹි දෙසැ. 29 දාට අවුරුදු 2328 සපිරුණේ ය. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව (බුද්ධගයාවේ සිට වැඩම කරවන ලද) රෝපණයෙන් පසුව සිදු වූ සිදුවීම් කීපයක් ම මහාවංසයෙහි සඳහන් වී ඇත.

ඒ අතර අෂ්ඨඵල රුහ හෙවත් ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් පැළ අටක් රෝපණය ද, දෙතිස් ඵල රුහ රෝපණය ගැන ද මහාවංසයෙහි සඳහන් වේ. (මහාවංසය - පරිවර්තනය පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමි හා බටුවන්තුඩාවේ පඬිතුමා 19 පරි ගාථා 59 - 64) ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ උද්භිද නාමය වන්නේ ficus religiosa (ෆිකුස් රෙලිජෝසා) යන්නයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම සංඝමිත්තා රහත් මෙහෙණින් ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා විසින් කරන ලද බව අපේ වංස කතාවල විස්තර කර ඇත. මේ සමඟ ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සතරවනක් පිරිසම යුත් බුද්ධ ශාසනය ද මේ රටේ ස්ථාපිත වූයේ ය.

ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම ඓතිහාසික වශයෙන් මහාවංසය ඇතුලු අප රටේ ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත. මේ සිදුවීම පුරාවිද්‍යාත්මකව ද නිරූපණය වන මූර්ති කැටයමක් මෙකල ඉන්දියාවේ මධ්‍ය දේශ්හි සාංචි ස්තූපයේ තොරණක මූර්තිමත් කර ඇත.

උරුවෙල් දනව්වේ සිට ලක්දිවට වැඩමවා රෝපණය කරන ලද මහා බෝධි ශාඛාව පිළිබඳ පුරාවස්තූන්ගෙන් සනාථ වන්නේ ය. සාංචි ස්තූපයේ නැඟෙනහිර තොරණ මුදුණෙහි හරස් අතට දිවෙන පුවරු අතුරෙන් යට හා මැද පුවරුවල නිරූපිත මූර්ති කැටයම්වලින් දැක්වෙනනේ මේ පුවතයි. සාංචි මූර්ති කැටයම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් වන හෙයින් මේ පුවත නිරූපණය වන කැටයම් නෙළන්නට ඇත්තේ එම සිදුවීමේ සිට දළ වශයෙන් අවුරුදු සියයකට හෝ එකසිය පණහකට හෝ නොවැඩි කාලයක දී ය. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග පි. 18 - 2003)

ලොව පැරණිම කෞතුකාගාරය

ශ්‍රී මහ බෝධීන්වහන්සේ නැවක් මගින් ලංකාවේ දඹකොළ පටුන වරායට වැඩම කළ බව වංසකතාවල සඳහන් වන ප්‍රකට කරුණකි. ඒ නැවේ කොටස් මේ සිද්ධියට සම්බන්ධ නිසා ඉතා වැදගත් පෞරාණික වස්තූන් වන්නේ ය. එම නැවේ කොටස් තැන්පත් කිරීම් සඳහා වෙනම ශාලා තිබුණු බවත්, ඒ සඳහා ජනතාවගේ ගරුත්වය ලබාදුන් බවත් මහාවංසයේ සඳහන් වෙයි.

“උපාධිකා විහාරය” යැයි ප්‍රසිද්ධ වූ ඒ මෙහෙණවරෙහි භික්ෂුණීන් සහිත වූ ඒ සංඝමිත්තා නම් ස්ථවිර තොමෝ වාසය කළහ. මන්දිර තුනක් ප්‍රමුඛ කොට ඇත්තා වූ මන්දිර දොළසක් නරේන්ද්‍රතෙමේ (දෙවන පෑතිස් රජු) කරවීය. ඒ මන්දිරයන් අතුරෙන් ශ්‍රී මහා බෝධිය වැඩූ නැවට අයත් කුඹ යටිය පිහිට වූයේ ය. එක් ගෙයක එහි පලුපත තැබ්බ වූයේ ය. එයින් ඒ මන්දිරයන් ප්‍රකට වූහ. (මහා වංසය පි. 77 ගාථා 67 - 70) “එසේ එම මන්දිරවල නැවේ කොටස් තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා තබන ලද්දේ ක්‍රිස්තු පූර්ව 03 වන සියවස තරම් ඉතා ඈත කාලයක දී ය. එපමණක් ද නොව ඒ නිසා එම මන්දිර ප්‍රකට වූ බව ද එහි සඳහන් කර ඇත. එම වස්තූන් සඳහා වූ කෞතුකාගාරය පිහිටුවන ලද්දේ පැරණි ලංකාවේ යැයි ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා මේ අදහස ප්‍රථම වරට ප්‍රකාශ කළ බව ද මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 19 - 2003)

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ මහමෙවුනා උයනේ උඩ මලුවේ රෝපණය කිරීම සිදු කළේ කවුරුන් ඉදිරිපිට ද යන බවත් වාර්තාගත ව ඇත. ඒ අනුව ලිඛිත සාක්ෂි සහිත ව ඇති ඉතා පුරාණතම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ වන්නේ අපගේ මෙම ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ බව ඉංගී‍්‍රසි ජාතික ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජේ ටෙනන්ට් මහතා සඳහන් කරයි. (ceylon vol . II tenent sir james london - p 61 - 1859)

ක්‍රිස්තු වර්ෂ පස් වන සියවසේ දී ලංකාවට වැඩම කළ පාහියන් නම් චීන භික්ෂූන් වහන්සේ විසින් සිය වාර්තාවල අපගේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලංකා ධරණිතලයේ රෝපණය කළ අන්දම සඳහන් කරන්නේ මෙසේ ය.

පෙර එක් රජ කෙනෙක් භාරතයට දූතයන් යවා එහි වෘක්ෂයෙන් (බෝධියෙන්) රිකිල්ලක් ගෙන්වා ගෙන බුදු මැදුර අසල රෝපණය කරවී ය. රියන් දෙසීයක් පමණ උස් ව වැඩුණු වෘක්ෂය පසෙකට ඇලවෙන්නට වූයෙන් එය කැඩී වැටේදෝයි ආධාරකයක් දුන්නේ ය. ආධාරකය තබන තැනින් අංකුරයක් පැන නැගී එම ආධාරක ටැඹ පලා ගෙන ගොස් පොළව යට මුල් ඇද්දේ ය. මේ අංකුර අතිශයින් මහත් විය. වියත් හතරක් තරම් මහතට එය වැඩී තිබුණේ ය. ඒ නිසා ඒ ආධාර කුළුණු දෙකම පැලුණු නමුත් එය ඉවත් නොකොට ඇත. මෙම බෝධි වෘක්ෂය පාමුල බුද්ධ ප්‍රතිමාවක් සහිත මන්දිරයක් සාදා ඇත. සැදැහැවත් පැවිද්දෝ නිරතුරු ව එහි වන්දනාමාන කරති. Buddhist records of western world book - vol VIII sanuel beal p. 115 - 118 re print - 1981