Print this Article


ප්‍රේතයකු කියා දුන් පාඩමක් මහාදේව උපාසකගේ කතාව

ප්‍රේතයකු කියා දුන් පාඩමක් මහාදේව උපාසකගේ කතාව

අප රටෙහි ඈත අතීතයේ එක් නගරයක වත්තේගම නමින් එක් ගමක් තිබුණා. ඒ ගමෙහි ශ්‍රද්ධාවන්ත, ඉතා ධාර්මික ව ජීවිකාව කරගෙන යන, තුනුරුවන් කෙරෙහි පැහැදුණු එක්තරා උපාසකයෙක් ජීවත් වුණා.

ඔහු තම කුඹුරේ ගොයම් පැහෙන කාලයේ කුඹුර අසලම පැලක් සාදාගෙන ගොයම් රැකීම කරනවා. දිනක් මධ්‍යම රාත්‍රියෙහි එක්තරා ‍ප්‍රේතයෙක් ආහාරපාන ඉල්ලමින්, හඬමින් , විලාප කියමින් මහමඟ ගියා. ඒ ශබ්දය අසා මහාදේව උපාසක නැඟිට ගොස් පැලෙන් එළියට පැමිණ මෙසේ කීවා.

“මිනිසුන් නැති වනයේ රාත්‍රි කාලයේ ආහාරපාන ඉල්ලමින්, දුක සේ හඬමින් වැළපෙමින් යන්නේ කවුද?”

“අනේ මිත්‍රය, මම මසුරු බව නිසා ප්‍රේත භාවය ලබා ඉපදුන කෙනෙක්. මිනිස් ලෝකයේ දී පව් කොට, ප්‍රේත ලෝකයේ ඉපදුණා. මට කිසිදු නෑයෙක් නැහැ. නමුත් මෙහි සිටින සමහර ‍ප්‍රේතයන් සැප සේ කා බී, ආභරණවලින් සැරසී ඇත්, අස් ,රිය ආදියෙහි නැඟී රිසි සේ ගමන් යනවා මට පේනවා.”

එවිට මහාදේව උපාසක මෙසේ ඇසුවා.

“ප්‍රේතය, ඔබ වගේම ප්‍රේත ලෝකයේ වෙසෙන ඔවුන්ට ඒවා ලැබුණේ කෙසේද? ඔබට පමණක් ආහාර නැත්තේ කිමද?”

“සිංහල දීපයේ රුහුණු පෙදෙසේ බෝපිටිය නම් ගමේ මිනිසුන් ආහාරපාන දන් දී ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ඥාති ප්‍රේතයෝ එහි ගොස් පින් අනුමෝදන් වී ප්‍රේත භාවයේ සිටියත් සියලු යස ඉසුරු ලැබුණා. මම ඔවුන් දැක හඬනවා. වැළපෙනවා. ශෝක කරනවා. ඔවුන්ගෙන් ආහාර ඉල්ලමින් පසු පස්සේ යනවා. මිත්‍රය, යම් කෙනෙක් පරලොව ගියාට පස්සේ නෑයෝ වේවා, නො නෑයෝ වේවා මිය ගියවුන්ට පින් දෙනවා නම්, මා මෙන් ප්‍රේත ලෝකයේ උපන් ඔවුන් ඒ පින අනුමෝදන් වෙනවා. ඒ පින සිත් සේ භුක්ති විඳීනවා.”

එවිට මහාදේව උපාසක මෙසේ කියා සිටියා.

“ප්‍රේතය හෙට මාගේ නිවසට භික්ෂූන් වහන්සේලා වැඩමවා ආහාරපාන දන් දෙන්නම්. නුඹ ඒ පින අනුමෝදන් වෙන්න.”

“මිත්‍රය, මා එය අනුමෝදන් වෙන්නම්. අනුකම්පා ඇති ඔබ මා සඳහා දානය දෙනු මැනව. සා පිපාසයෙන් පෙළෙන මා එයින් නිදහස් කරනු මැනව.”

පසුදා මහාදේව උපාසක විහාරයට ගොස් භික්ෂූන් වහන්සේ අට නමකට ආරාධනා කොට සෑම ආහාරයකින් ම ප්‍රනීතව දානය සකසා භික්ෂුන් වහන්සේ වැඩමවාගෙන පැමිණ ආසනයෙහි හිඳුවා පැන් පූජා කර “මේ පිනෙන් ප්‍රේතයාට පැන් ලැබේවා”! යි කියා ද, ඉන් පසුව කැඳ, කැවිලි, ආහාර ආදිය පූජා කොට අර ප්‍රේතයාට පින් අනුමෝදන් කළා. ඒ දෙස බලා සිටි ප්‍රේතයා ඒ පින් අනුමෝදන් වෙනවාත් සමඟම ආහාරපාන, පැන් ආදිය ලැබුණා.

මහාදේව උපාසක පසුදා ද කුඹුරට ගියා. මධ්‍යම රාත්‍රියේ පැන් බී ආහාර අනුභව කොට මලින් සැරසුණු ප්‍රේතයා මනරම් ශරීරයකින් එහි අවුත් උපාසකට කිට්ටුවෙන් සිටගෙන මෙසේ කිව්වා.

“මිත්‍රයා, නැඟිටින්න. මෙසේ නිදන්නේ ඇයි? බලන්න ඔබ දුන් පිනෙහි විපාකය නිසා මා සතුටු වෙන අයුරු. කල්‍යාණ මිත්‍ර‍යෙක් ලැබුණ නිසා මම සැපයට පත් වුණා.”

උපාසකතුමා පැල්පතෙන් එළියට ආවා. පෙනෙන්නට කවුරුත් නැහැ.

“ප්‍රේතය නුඹ මට පෙනෙන්නේ නැහැ. මා නුඹ දකින්නට කැමැතියි. කුමක් නිසා ඔබ නොපෙනී සිටින්නේ ද?”

“මිත්‍රය, මම නිර්වස්ත්‍රයි. මට වස්ත්‍ර නැහැ. කෑම බීම කෙතරම් ලැබුණත් මට වස්ත්‍ර ලැබුණේ නැහැ.”

“ප්‍රේතය එසේ නම් මා ළඟ තිබෙන වස්ත්‍රයක් නුඹට දෙන්නම්. එය ඇඳගෙන මට පෙනෙන්ට එන්න.”

“එ‍සේ වස්ත්‍ර සියයක් දුන්නත් ඒවා මට ගන්න බැහැ. ඔබ සිල්වතුන්ට වස්ත්‍ර දී ඒ පින මට අනුමෝදන් කරන්න. එවිට මට බොහෝ සේ වස්ත්‍ර ලැබේවි.”

ඒ රාත්‍රිය ගෙවුන පසු උපාසකතුමා නැවත භික්ෂූන් වහන්සේලාට ආරාධනා කොට දන් පිළිගන්වා භික්ෂූන් වහන්සේට වස්ත්‍ර පූජා කොට ‘මේ පිනෙහි විපාක වශයෙන් ප්‍රේතයාට වස්ත්‍ර ලැබේවා!’ කියා පින් අනුමෝදන් කළා.

එදින ද රාත්‍රියෙහි කුඹුර රැකීමට ගිය උපාසකතුමා රාත්‍රි නින්දට ගියා. මධ්‍යම රාත්‍රි ප්‍රේතයා මහත් වූ අලංකාර ඇඳුම්, ආභාරණ, මලින් සැරසී උපාසකතුමා ඉදිරියේ පෙනී සිටියා.

“මිත්‍රය, ඔබ මට කළ උපකාරය නම් මෙතකැයි කියා කියන්නට බැහැ. මාගේ මව්පියන් විසින් හෝ, ලේ ඥාතින් විසින් කරන ලද උපකාරයක් නොවේ මෙය. ඔබ මට කළ උපකාරයට මමත් ඔබට උපකාරයක් කරන්නම්” කියා උපාසකගේ අතින් අල්ලාගෙන නුග ගසක් මුලට කැඳවාගෙන ගොස් නිදන් තුනක් පෙන්වූවා.

ඉන් එක් භාජනයක් රනින් ද, අනෙක රිදියෙන් ද, අනෙක් භාජනය කහවනුවලින් ද පිරී තිබුණා.

මිත්‍රය, මේවා රැගෙන ඔබ පරිභෝග කරන්න. තව තවත් හොඳීන් පින් කරන්න. මට ද ඒ පින් අනුමෝදන් කරන්න.”

“මිත්‍රයා, මියගිය ඥාතියකුට දිය හැකි එකම දේ පින පමණ යි. සියල්ල මනා සේ වියදම් කොට මියගිය ඥාතින්ට, ‍දේවතාවන්ට දන් දී පින් දෙන්න. යමෙක් මෙවැනි දානයක් දෙන්නේ නම් මෙලොවදී ම සැප ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදෙනවා. සතර අපායට නම් යන්නේ නැහැ.

එනිසා කෙ‍නෙක් තමන්ගේ අභිවෘද්ධිය කැමැති නම් මෛත්‍රී සහගත සිතින් මසුරුකම් හැරදමා නිතර නිතර සිල්වතුන් උදෙසා දන් දිය යුතුයි. මම නම් සිතන්නේ සෑම දෙනාම මහාදේව උපාසක වගේ වෙන්න ඕනේ කියලයි. මෙ‍ලොවදී යහපත් විපාක ලැබ පරලොව දී සුගතියට යන්නේ ඔබ වගේ අය යි. ධාර්මික පුද්ගලයා ධාර්මික ව උපයන දෙයින් සිල්වතුන්ට දන් දෙන්නේ නම්, ඒ පින සිත් සේ මිය ගිය ඥාතින් අනුමෝදන් වෙනවා” කියා ප්‍රේතයා මහාදේව උපාසකට පවසා නො පෙනී ගියා.එදා පටන් උපාසක තුමා කැමැති කැමැති ආකාරයට වෙහෙර විහාර තනවා, මහා සාංඝික දාන දෙමින්, දුගී මගී යාචකයන්ට ආහාර පාන දෙමින් බොහෝ පින් දහම් කරමින් සුව සේ ජීවත්වුණා.