Print this Article


දියුණුවීම ඉතා පහසු ය

දියුණුවීම ඉතා පහසු ය

පොල්ගහවෙල වෙහෙරපිටිය
විද්‍යර්ථොදය මහා පිරිවෙන් පරිවේණාධිපති,
ශාස්ත්‍රපති
වල්ගම සුමනසිරි හිමි

මෙලොව සැම කෙනෙක් ම දියුණු වන්නට බෙහෙවින් කැමැති වන්නේ ය. සැපය, ප්‍රීතිය, සතුට ලැබීමට අකමැති කිසිවෙක් මෙලොව නැත. මිනිසාට දියුණු වන්නට හැකි සෑම මාර්ගයක් ම පළමු කොට දේශනා කළේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ ය.

මෙලොව සැම කෙනෙක්ම දියුණු වන්නට බෙහෙවින් කැමැති වන්නේ ය. සැපය, ප්‍රීතිය, සතුට ලැබීමට අකමැති කිසිවෙක් මෙලොව නැත. මිනිසාට දියුණු වන්නට හැකි සෑම මාර්ගයක් ම පළමු කොට දේශනා කළේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ ය.

උන් වහන්සේ මෙලොව හා පරලොව දියුණුව මැනවින් පහදා දුන් සේක. ගුණ නුවණ දියුණු කර ගත් අයට හොඳින් දියුණු වී සැප විඳීමට ඉතා පහසු ක්‍රම බුදු දහමෙහි සවිස්තර ව පෙන්වා දී තිබේ. බුදු දහම ප්‍රගුණ කළ අය ඒ බව මැනවින් දනිති.

සිඟාලෝවාද, පරාභව, වසල, ධම්මික, ව්‍යග්ග පජ්ජ ආදී සූත්‍ර වලින් මිනිසාගේ දියුණුව හා පිරිහීම සිදුවන අන්දම ඉතා හොඳීන් විස්තර කර දී තිබේ. සදාතනික දර්ශනයක් ලෙස නුවණැත්තා විසින් පිළිගෙන තිබෙන බුදු දහම අනුව පිළිපදින කාහටත් යහපත මිස අයහපත සිදු නොවන්නේ ම ය.

මෙලොව දියුණුවට හේතු වන කරුණු හයක් අත්‍ථද්වාර ජාතකයෙහි පෙන්වා දී තිබේ. මෙහි මාතෘකා ගාථාවෙහි ඇතුළත් වන්නේ එකී කරුණු හයයි.

අප බුදුරජාණන් වහන්සේ පෙර කලෙක බරණැස් නුවර ධනවත් සිටුවරයෙක් ව උපන්නේ ය. එතුමාට එක් ඥානවන්ත පුතකු වූ අතර, දිනක් ඔහු පියා අමතා දියුණු වීමේ කරුණු මොනවා දැයි ඇසුවේ ය. එහි දී අප මහ බෝසතාණන් වහන්සේ කරුණු හයක් දියුණුවේ දොරටු ලෙස පෙන්වා දුන්නේ ය. නිරෝගිකම - සීලවන්තකම - වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම - බොහෝ ඇසූපිරූ තැන් ඇති බව - සුචරිතයෙහි යෙදීම - අලස නැති කම - යනු ඒ කරුණු හයයි.

මෙහි නිරෝගිකම නම් ලෙඩ රෝග අඩු බවයි. ලෙඩ දුක් නැති අයෙක් මිහිපිට දක්නට නැත. එහෙත් ලෙඩ අඩු වූ තරමට ජීවිතය වාසනාවන්ත වන්නේ ය. “ආරෝග්‍ය මිච්ඡේ පරමං ච ලාභං” මිනිසාට ඇති උතුම්ම ලාභය නිරෝගී කමයි.

මුදල් විය පැහැදම් නොකොට ඉතා පහසුවෙන් නිරෝගී බව ලබා ගත හැක. වර්තමානයේ දක්නට ඇති නා නා විධ ලෙඩ දුක් මිනිසා විසින් ම මිල දී ගත් ඒවා කිවහොත් එහි සත්‍යතාවක් නැත්තේ නොවේ. නිතරම ලෙඩ රෝග වැළදෙන පුද්ගලයාට තම දියුණුවට කිසිවක් කර ගැනීම අපහසු ය. සෑම කටයුත්තක් ම ඉතා පහසුවෙන් හා ප්‍රීතියෙන් සිදු කර ගැනීමට හැකි වන්නේ නිරෝගී බවෙන් පසුවූයේ නම් පමණි.

දියුණුවේ දෙවැනි දොරටුව සීලයයි. කය-වචනය සංවරව පවත්වා ගැනීම සීලය යි. මවු පිය - ගුරුවර ආදීන්ට ගරු බුහුමන් දක්වමින් ඔවුන් රැක බලා ගන්නා වූ පුද්ගලයින් සමාජයේ ඉතා දුර්ලභ ය. ඔවුන් හොඳ මිනිසුන් ය. එබඳු ගුණ දහම් රකින අය තුළ චාරිත්‍ර සීලය වේ. සතුන් මැරීම - සොරකම - වැරදි කාම සේවනය - බොරු කීම - මත් ද්‍රව්‍ය ගැනීම - ආදියෙන් වැළකීම වාරිත්‍ර සීලයයි.

මේ දෙයාකාර වූ සීලය සුරැකීම පුද්ගලයකුගේ දෙලොව දියුණුවට හේතු වන්නේ ය. විනය ගරුක පුද්ගලයින් ලෙස සමාජයේ ජීවත් වීමට ද හැකි වන්නේ ය.

වැඩිහිටියන්ට ගරු කරමින්, ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිපදිමින් ක්‍රියා කිරීම දියුණුවේ තෙවැනි දොරටුවයි. ගුණ නුවණින්, බහුශ්‍රැත බවින් වැඩිහිටියන් අපහට ලබා දෙන අවවාද හා අනුශාසනා උභයාර්ථ සාධනයට බෙහෙවින් උපකාර වන්නේ ය. යමෙක් සමාජයේ උසස් තැනක සිටී නම්, ඔහුගේ හෝ ඇයගේ එම සාර්ථකත්‍වය පිටුපස ඇත්තේ ඉහත ධර්මෝපදේශයයි. එසේම වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම ආයු - වර්ණ - සැප - බල වැඩීමට ද හේතු වන බව අප නිතර අසන දෙයකි.

බොහෝ ඇසූපිරූ තැන් ඇති බව දියුණුවේ සිව්වැනි දොරටුවයි. පින් - පව් - කළ යුත්ත - නොකළ යුත්ත - යා යුතු මඟ - නො යා යුතු මඟ ආදී වශයෙන් යම් දෙයක් තේරුම් ගත හැක්කේ අධ්‍යාපනය ලබා ගුණ නැණ වර්ධනය කරගත් අයට පමණයි. එසේම තම ජීවිතය වුව ද යහපත් මඟට හරවා ගත හැකි වන්නේ දැන උගත්කමක් ඇත්නම් පමණයි. සෑම යහපතක් ම කළ හැක්කේ උගතාට පමණි. අනුවණයා ලොවට සැමදා අනර්ථයක් ම සිදු කරයි. එබැවින් දියුණුවේ රහසක් ලෙස උගත්කම පෙන්වා දිය හැක.

සුචරිතවත් බව දියුණුවේ පස් වන දොරටුවයි. සදාචාර ධර්ම දියුණු කර ගත් අයගේ ධනය - බලය - කීර්තිය දිනපතා වර්ධනය වේ. ඔවුන්ගේ ජීවිතය තමන්ට මෙන්ම අන්‍යන්ට ද වැඩ දායක ය.

අලසකම නැති බව හෙවත් අනලස් බව දියුණුවේ සය වැනි දොරටුවයි. ආරම්භ කළ කටයුත්ත එහි අවසානය තෙක් නො නවත්වා ම කරගෙන යාම මින් අදහස් කෙරේ. උත්සාහයෙන් සිහි නුවණින්, හික්මීමෙන් අප්‍රමාද ව කටයුතු කරන අයට පහසුවෙන් දියුණු විය හැකිය.

තමාගේ දියුණුව ඇත්තේ තමා අතේ ම ය. එය අන්‍යයන්ට සිදු කර දිය නොහැක, දහමේ දැක්වෙන අන්දමට “අත්ත සරණා” තමන්ට පිහිට තමා ම ය. “අත්ත දීපා විහරථ” තමන් ම තමන්ගේ දිවියට ආලෝකයක් වන්න... “න අනඤ්ඤ සරණා” ඔබට පිහිට වීමට අන්‍යන්ට නොහැක. එබැවින් අන් අයගේ අඩුපාඩු, හොඳ - නරක නො සොයා තමන්ගේ ම ඇති අඩු පාඩු සොයා බලා, ඒවා නැති කර ගෙන, නැති ගුණ ඇති කරගෙන දෙලොව ම දියුණුව සලසා ගැනීමට සියලු දෙන සිතට ගත යුතු ය.