Print this Article


දුර බලන්න ළඟ නොබලන්න

දුර බලන්න ළඟ නොබලන්න

අවෛරයෙන් ම වෛරය සංසිඳේ නම්, එතැන ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට හේතුවක් නොමැත. වෛරයෙන් ම වෛරය සංසිඳුවා ගන්නට යාමේ දී එතැන ද්වේෂය ජනිත වෙයි. ද්වේෂය චිත්ත මූලික වන බැවින් අවසානයේ එය ප්‍රචණ්ඩත්වයට හේතුවක් වනු ඇත. මේ බව අපට පසක් කෙරෙන්නේ ජාතක පොතෙහි එන දීඝිති කෝසල ජාතකයෙනි.

සමාජය තුළ ප්‍රචණ්ඩත්වය විවිධ ආකාරයෙන් හැම කල්හි ම ක්‍රියාත්මක වෙයි. ප්‍රචණ්ඩත්වය ඔස්සේ අපරාධයන්ගේ වර්ධනය සමාජයක් මුහුණ දෙන බරපතළ ගැටලුවකි. ලෝකයේ වර්තමාන සෑම රටකම, සෑම සමාජයක ම පාහේ මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දැකිය හැකි අතර ඇතැම් විට ඒවා බියජනක ද වෙයි. පුද්ගල පැවැත්මට හානිකර වන්නා වූ කවර ක්‍රියාවක් වුව ද ප්‍රචණ්ඩත්වයක් ලෙස දැකිය හැකි ය.

මිනිසුන් ප්‍රචණ්ඩත්වයට යොමු වීම කෙරෙහි ආර්ථික, දේශපාලන, සාමාජික මෙන්ම මානසික හේතූන් ද බලපායි. කෙනෙකු ප්‍රචණ්ඩත්වයට යොමු වීම කෙරෙහි ඔහු ජීවත් වන පරිසරය විසින් කරනු ලබන බලපෑම් අති මහත් ය. විශේෂයෙන් වර්තමානයේ ගෝලීය කරුණු සමාජ ව්‍යාප්තිය තුළ ලෝකයේ ඈත කෙළවරෙක කෙරෙන බරපතළ අපරාධයක තතු තත්ත්වාකාරයෙන් ම දැක බලා ගැනීමට හැකිවන පරිදි නූතන ජනමාධ්‍ය ප්‍රබල වී ඇත. සමාජයට අහිතකර මිනිස් චර්යාවන් සැකසීමට අවි ආයුධ ඔස්සේ කෙරෙන අරගලයන් නිරන්තරයෙන් මිනිස් මනසට ඇතුළු වීම හේතු වෙයි.

බාහිර සමාජ පරිසරය පුද්ගලයාගේ මනස දූෂිත තත්ත්වයට පත් කෙරෙන බව සඳහන් ප්‍රකට බෞද්ධ ඉගැන්වීමක් අංගුත්තර නිකාය දේශනාවෙහි එයි. එයට අනුව මහණෙනි, මෙම සිත ඉතා ප්‍රභාස්වර ය. පිටතින් පැමිණෙන කෙලෙසුන්ගෙන් එය කිලුටට පත්වෙයි. යන්න එම බුදු වදනයි. පුද්ගලයාගේ මනස ප්‍රචණ්ඩත්වයට පත්වීම කෙරෙහි ආගන්තුක පරිසරය බෙහෙවින් බලපාන බව පෙනේ. මිනිස් මනසක යහපත් බව මෙන්ම දුෂ්ට බව වර්ධනය වීම කෙරෙහි ආගන්තුක පරිසරයේ බලපෑම පිළිබඳ ව ඉතා වැදගත් ජාතක කතාවක් අපට හමුවෙයි. එනම් සත්තිගුම්බ ජාතකය යි. එයට අනුව ගසක වැඩුණු ගිරා පැටවුන් දෙදෙනෙක් සුළඟට හසුව එම අවට ස්ථාන දෙකට පතිත වෙයි. මෙහි එක් පැත්තක වාසය කළේ තාපස පිරිසකි. අනෙක් පැත්තෙහි සොරු පිරිසක් වාසය කළහ. තාපසයන් අතරට වැටුණු ගිරවා වැඩෙන්නේ තාපස ධර්මයන් මැද්දේ ය. නැතහොත් සත්පුරුෂ සේවනය ඔස්සේ ය. අනෙක් ගිරවා වැඩෙන්නේ සොරු කණ්ඩායමක් අතරේ ය. එම ගිරවා ආශ්‍රය ලබන්නේ අසත්පුරුෂයන්ගෙන් ය. එබැවින් එම ගිරවා හැසිරුණේ ප්‍රචණ්ඩකාරී ආකාරයෙනි.

මෙම ජාතක කතාවෙන් පෙන්වා දෙන උපදේශනය වන්නේ ප්‍රචණ්ඩත්වය මිනිස් මනස තුළ වර්ධනය කෙරෙන්නේ තමා ජීවත් වන වට පිටාවෙන් බවයි.

පුද්ගලයාගේ චරිත වර්ධනය පිළිබඳ ඔහු ජීවත් වන පරිසරයේ බලපෑම් තීරණාත්මක සාධකයක් වන බව බුදු දහමෙහි හැම විටම අවධාරණය කෙරේ. බෞද්ධ සාහිත්‍යයෙහි එන අංගුලිමාලගේ කතාව මීට ඉතා ප්‍රකටම නිදසුනක් වෙයි. අංගුලිමාලගේ නාමයෙහි ගම්‍ය වන අර්ථය පවා ප්‍රචණ්ඩත්වය වන තරමට ම එම චරිතය අප සමාජයේ මුල් බැසගෙන ඇත. අහිංසක නමින් කුඩා කාලයේ හැඳින් වූ මෙම කුමාරයා අංගුලිමාල නමින් මනුෂ්‍ය ඝාතකයෙකු වූයේ කෙසේද? යන්න විමසා බැලිය යුතු යි. කුඩා කල ශිල්ප ලබන්නට තක්සලාවට යන අහිංසක, ගුරුවරයාගේ සිත් නොරිදා ඉතා ප්‍රසන්න ලෙසත්, දක්ෂ ලෙසත් අධ්‍යාපනය ලැබුවේ ය. ඔහුගේ දක්ෂකම කෙතරම් ද යත් තම සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ඔහු බඳුන් වීය. පෙළ දහම ඇසුරින් අංගුලිමාල කතාව වඩාත් හොඳින් ප්‍රති නිර්මාණය කළෝ ගුරුළුගෝමීහු ය. ඔහුගේ අමා වතුර කෘතියෙහි අහිංසක කුමාරයා කෙරෙහි ඇති කර ගත් ඊර්ෂ්‍යාව හේතුවෙන් අනෙකුත් ශිෂ්‍යයන් හැසිරුණු අයුරු විවරණ වේ.

එනම් අමාවතුර පාඨය විග්‍රහ කළ විට අහිංසක අඟුල්මල් බවට පත් කරලන්නට ඔහු සමඟ එකම ශිල්ප ලද සමාජයේ බලපෑම් හේතු වූ අයුරු පෙනේ. මෙහි මූල බීජය හට ගන්නේ මිනිස් සිතේ ය. ඒ ඊර්ෂ්‍යාව හේතු කරගෙන ය. අහිංසක තක්සලාවේ දක්ෂයකු වීම අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට හේතුවයි. ඔවුන් අහිංසක හා ගුරුවරයා අතර බිඳවීම ඇති කරවන්නේ සාහසික චෝදනාවක් කරමිනි. එනම් ආචාර්යවරයාගේ බිරිඳත්, අහිංසක ශිෂ්‍යයාත් අතර රහස් සබඳතාවක් ඇතැයි යන ඉතා දුෂ්ට චෝදනාව ඉදිරිපත් කරමිනි. එම චෝදනාව ගුරුවරයා පිළිගන්නා තැනට පත් කළේ කණ්ඩායම් කීපයක් වරින් වර ගුරුවරයාට ඒ බව දැන්වීමෙනි. මෙහිදී කුමන්ත්‍රණය කෙතරම් බිහිසුණු ද යන්න පෙනේ. ගුරුවරයා ද ඊට කිපී අවසානයේ දක්ෂම ශිෂ්‍යයා මිනීමරුවකු බවට පත් කෙරිණි. ගුරුවරයා අහිංසක ලවා ගුරු පූජාවක් මෙසේ ලබන්නට යෝජනා කරනුයේ ශිෂ්‍යයා මරා දැමීමෙන් තමන්ට ඇතිවිය හැකි අවමානයෙන් මිදෙන්නට ය. ශිෂ්‍යයාට මරණ දණ්ඩනය දීමට ගුරුවරයා සමාජයට පවරයි. සමාජයෙන් මැරුම් කෑමට සලස්වයි.

එහෙත් අඟුල්මල් සියලු ශිල්පයෙහි දක්ෂයකු වීම නිසා කඩු ශිල්පය ද, පුහුණු කර තිබිණි. ඔහුගේ කගපත ඉදිරියේ දිවි බේරා ගත් කෙනෙකු නැත. චතුරංගනී සේනාවට ද ඔහු මර්දනය කළ නොහැකි විය. ඔහු අතින් ඝාතනය වූ පිරිස දහස් ගණනකි. ගණන අමතක වූ කල්හි අංගුලිමාල එය කරේ දමන්ට විය. කොසොල් රජු පවා ඔහුගේ නම ඇසූ කල්හි වෙව්ලා සසල වූ අයුරු ගුරුළුගෝමී ඉතාම රසවත්ව ඉදිරිපත් කොට තිබෙයි.

මෙම කථාවේ එන ප්‍රචණ්ඩත්වය ගොඩ නඟන්නේ සමාජය යි. මෙම ප්‍රචණ්ඩත්වයට හේතුවන දෑ වර්තමාන සමාජයට ද අදාළ ය. සමාජයේ වරදින් මිනිසුන් මිනීමරුවන් වනු නූතනයේ ද අපට දැකිය හැකි ය. අඟුල්මල් ප්‍රචණ්ඩත්වය අත්හරින්නේ දහමට සිත් යොමා ගැනීමෙනි. බුදු වදන් ඔහුගේ කන වැකෙත් ම ඔහු සන්සුන් වීය. එම සන්සුන් බව රහත් වීමෙන් ලෝකෝත්තර තත්ත්වයට පත් වූ අයුරු ද පෙනෙයි.

ප්‍රචණ්ඩත්වය ජනිත වන්නේ මිනිස් සිතකම ය. බර්ට්‍රම් රසල් සාමිවරයා වරක් කියා ඇත්තේ දුෂ්ටකම ඇත්තේ මිනිසාගේ හදවත් තුළ බවයි. මිනිසාගෙන් තොර වූ ලෝකයක එදිරිවාදුකම්වලට ඉඩක් නැත. මේ සියලු දේ සම්බන්ධයෙන් මිනිසාගේ සිත වගකිව යුතු බව ද ඔහුගේ අදහස වෙයි. මේ අනුව ප්‍රචණ්ඩකාරී හැඟීම් ජතිත වීම වැළැක්වීමට නම් අන්‍යොන්‍යයන් කෙරෙහි ගොඩ නැගෙන ද්වේෂය තුරන් කළ යුතු ය. ධම්මපදය ඊට ඉතාම නිවැරදි යෝජනාවක් ගෙනෙයි.

“කිසි කලෙකත් වෛරයෝ වෛරයෙන් නොසන්සිඳෙත්. වෛරයෝ අවෛරයෙන් ම සංසිඳෙත්. මෙය සනාතන ධර්මතාවකි.

අවෛරයෙන් ම වෛරය සංසිඳේ නම්, එතැන ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට හේතුවක් නොමැත. වෛරයෙන් ම වෛරය සංසිඳුවා ගන්නට යාමේ දී එතැන ද්වේෂය ජනිත වෙයි. ද්වේෂය චිත්ත මූලික වන බැවින් අවසානයේ එය ප්‍රචණ්ඩත්වයට හේතුවක් වනු ඇත. මේ බව අපට පසක් කෙරෙන්නේ ජාතක පොතෙහි එන දීඝිනි කෝසල ජාතකයෙනි.

බලකාමී රජකු නිසා තම මව හා පියා මරණයට පත් වන අයුරු ශෝකයෙන් බලා සිටින දීඝායු කුමාරයා ඊට අදාළ පලිය කෲර රජුගෙන් ගන්නට සිතා ඉතා සැලසුම් සහගත ව හැසිරෙයි. එම සැලසුම කෙතරම් සාර්ථක වූවා ද යන්න පෙනෙන්නේ රජුගේ අතිශය සමීප මිතුරා බවට පත් වීමෙනි. දිනක් වනගතව හුදකලාව රජු හා කුමාරයා තනි වූ විට රජු කුමාරයාගේ උකුලෙහි හිස තබා නිදන්නට පටන් ගනී. තම මව පියා මැරූ වාඩුව ගන්නට කඩුව ඔසවා මේ රජු මරන්නට කල්පනා කරද්දී ම පුතුගේ සිතට එන්නේ පියා දුන් අවවාදයකි. එනම්, පුත දීඝායු දුර බලන්න. ළඟ නොබලන්න. ෙවෛරයෙන් වෛරය නොසන්සිඳෙයි. අවෛරයෙන් වෛරය සංසිඳෙයි යන්න ය. එය කල්පනා කළ දීඝායු කුමාරයා තමා අතින් රජු මිය යාමෙන් මරණ වැලක ආරම්භය ඇති වන අයුරු දකී. එය එතැනින් ම නිමා කළේ අවෛරය තුළිනි. එම සිතුවිල්ල ජනිත වූයේ මිනිස් සිත තුළ ය. එය පාලනය කර ගැනීමෙන් ප්‍රචණ්ඩත්වයට තිතක් තබන්නට දීඝායු කුමාරයාට හැකියාව ලැබුණි. මේ ධර්ම සාහිත්‍යය අදටත් කෙතරම් ගැළපේදැයි කල්පනා කර බැලිය යුතු ය.