Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 23: භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් බව ලැබූ දීඝවාපි පුදබිම

ලංකාවේ බෞද්ධ ස්තූප 23:

භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් බව ලැබූ දීඝවාපි පුදබිම

යත්ථ නිසීදිය භගවා - සසාවකො සාධු සමප්පයී
සමායිතං දීඝවාපිථූපං - රෝහණපුර මණ්ඩණං වන්දෙ

යම් තැනෙක්හි වැඩ හිඳ ශ්‍රාවකයන් සහිත වූ බුදුරජාණන් වහන්සේ සමාධියට සමවන් සේක් ද, රුහුණු රට පිහිටි ඒ දීඝවාපි ස්තූපය වඳීමි.

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් පන්සියයක් රහතන් වහන්සේ සමඟින් කැලණියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ, සමන්තකූට වාසී සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශී‍්‍ර පාදස්ථානයට වැඩම කළ සේක. දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට වැඩම කළ බව ද වංස කතාවන්හි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩමවා ස්තූපය පිහිටි ස්ථානයේ රහතන් වහන්සේලා සමඟින් සමවත් සුවයෙන් වැඩ හුන් බව ද සඳහන් වේ. මෙලෙසින් අති උතුම් පුණ්‍ය භූමියක් බවට පත් දීඝවාපිය පුණ්‍ය භූමිය ආරක්ෂා කරන ලෙස මහාසේන නම් දෙවියන්ට භාර කළ බව ද වංසකතාවන්හි සඳහන් වේ.

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ අම්පාර නගරයේ සිට සැතපුම් දහතුනක් පමණ දුරින් දීඝවාපි ග්‍රාමයේ දීඝවාපිය පිහිටා තිබේ. නැඟෙනහිර පළාතේ විශාලතම ස්තූපය සහ විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි ස්ථානය ගන්නා ස්තූපය ලෙස ද සැලකේ. මෙම ප්‍රදේශය පුරාණයේ ශාක්‍ය ආර්ය ජනපදයක් ලෙස ද සැලකී ඇත. “දීඝායු“ නම් කුමාරයකු මෙම ප්‍රදේශයේ ජනාවාස ව විසූ බව ද එම නිසා “දීග ජනපදය“ ලෙස ද සලකන ලදී.

එලෙසම ධාතුවංසයේ දීඝ ජනපදය නම් කර ඇත්තේ දීඝවැව නමින් බව ද සඳහන් වේ. එනම් දිග වැවක් පිහිටා තිබූ බවකි. වැව් බැම්මේ දීර්ඝ වූ ලක්ෂණයට අනුව අතීතයේ දී දීඝවාපි නම භාවිත වූ බව සිතිය හැකි ය. එසේ නොමැති නම්, දීඝායු ප්‍රදේශයේ වූ දිග වැව දීඝවාපි වූවා විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ සිටීමෙන් පාරිභෝගිකත්වයට පත් පූජනීය ස්ථානය හඳුනාගත් සද්ධාතිස්ස රජතුමා එහි ස්තූපයක් ඉදිකළේ යැයි ද සඳහන් වේ.

දඹදෙණි යුගයේ පමණ සිට මෙම දීඝවාපි ස්තූපය ‘නඛා ස්තූපය’ හෙවත් නිය ස්තූපය ලෙස ප්‍රසිද්ධ වී තිබුණු බව ද සඳහන් වේ. ඉතා මෑත කාලයේ ද සමහර කෙනෙක් හැඳීන්වූයේ “නඛා හෛර“ නිමිනි. මෙසේ හැඳීන්වීමට හේතුව වී ඇත්තේ දීඝවාපි ස්තූපයෙහි බුදුරජාණන් වහන්සේගේ “නිය ධාතූන්“ වහන්සේ තැන්පත්ව ඇතැයි ජනප්‍රවාදයේ පැවැත ඒමයි.

සද්ධාතිස්ස රජු ස්තූපය පමණක් නොව, විහාරය ද කර වූ බව සඳහන් වේ. ස්තූපයට සත් රුවනින් කඤ්චුකයක් හා රියසක (කරත්ත රෝදයක හැඩයට) පමණට මලින් ජාලාවක් කරවා පුද පූජා පැවත් වූ බවත් මහා වංසයේ සඳහන් වේ. එලෙස ම ස්තූප ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේ හා වටිනා නිධන් වස්තූන් ද තැන්පත් කරන්නට ඇතැයි ද සඳහන් වේ.

එලෙසම මෙම ස්තූපය පිහිටි පුද බිම ඓතිහාසික වශයෙන් ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක් ම සිදු වූ අනුසස් ඇති ස්ථානයක් ලෙසින් ද සැලකේ. එනම් ඒ ලංකාද්වීපයේ අවසාන මහා රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව තෙරණුවෝ දිගාවැව දී ධජග්ග සූත්‍රය දේශනා කළ බවත් ය. එය ශ්‍රවණය කිරීමට පැමිණි භික්ෂූන් වහන්සේ හැට නමක් රහත් භාවයට පත් වූ බවත් සඳහන් වේ. එලෙසම දීඝවාපි විහාරයේ වැඩසිටි ජාතක භාණක තෙරණුවෝ වෙස්සන්තර, ජාතකය දේශනා කරන බව ඇසූ තිස්ස මහා විහාරයේ විසූ තරුණ ස්වාමීන් වහන්සේ නමක් එක් දිනක දී සැතපුම් එකසිය දහහතරක් පමණ මඟ ගෙවා පැමිණි බව ද දෙසූ, ධර්මය ශ්‍රවණය කර සෝවාන් වූ බව ද සඳහන් වේ.

දීඝවාපිය පුරාවිද්‍යා කැණීම්වල දී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඒ අනුව ස්තූපය වටා ප්‍රා‍කාර බැමි දෙකක් තිබුණු බවත්, ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. මෙම කැණීම්වල දී පැරැණි බෝධිඝරයක, ආවාස ගෘහයක සහ ආරෝග්‍ය ශාලාවක ශේෂයන් ද තහවුරු කරගෙන ඇත. මෙහි අක්කර පන්සීයයකට අයත් ප්‍රදේශවල ආරාමික ශේෂයන් මතු වී ඇත. අක්කර දොලොස් දහසක් පමණ වූ දීඝවාපියට අයත්ව තිබූ පුළුල් වපසරියක් තුළ තවත් බොහෝ නටබුන් රැසක් සොයා ගෙන තිබේ.

මෙම සියලු පුරාවිද්‍යා සාධකයන්ගෙන් පෙනී යන්නේ පැරැණි දීඝවාපි පුදබිම ඉතා පුළුල් බෞද්ධාගමික මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බවයි.

සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව මෙම ස්තූපය උසින් අඩි 256 ක් වන ලෙසට සැලසුම් කර තිබේ. දීඝවාපි ස්තූපයේ පහළම පේසාවේ විෂ්කම්භය අඩි 239 ක් ද, දෙවන පේසාවේ විෂ්කම්භය අඩි 229ක් ද ඉහළින් ම වන තෙවැනි පේසාවේ විස්කම්භය අඩි 220 ක් පමණ ද වේ. එම තෙවැනි සහ ඉහළ පේසාව මත ගොඩනැඟෙන ස්තූප ගර්භයේ පාදමේ විෂ්කම්භය අඩි 212 කි. හතරැස් කොටුව සහ දේවතා කොටුව අඩි 24 බැගින් වන සමාන උසකින් ගොඩනැඟීමට නියමිත ය. පේසා වළලු ත්‍රිත්වය අඩි 12 ක් පමණ උසකින් ද, ගර්භය කොටස අඩි 91ක් පමණ ද, කොත්කැරැල්ල අඩි 60ක් පමණ ද උසකින් සමන්විත වනු ඇතැයි සඳහන් වේ.