Print this Article


පහන් සිතක කවි

විශ්වයේ සුවසෙතට

නිසි මඟට නිසි තැනට
නිසි කලට නිසි විලස
එකමුතුව ගොනුවෙන්න
අති උතුම් මිනිස්කම
විශ්වයෙම සුවසෙතට

****

මෙවර ජයග්‍රාහී කවිය

මව්පියන් සිහි වී

මව් පිය දෙපළ ඉර හද මෙන් මම දකිමි
බුදු බණ කතා නිතරම කියූ හැටි සිතමි
බියකරු සසරෙ දුක දැන දහමෙහි සිටිමි
අම්මේ තාත්තේ ඔබෙ පා මම වඳිමි

පොඩි දුව කියා පෑ සෙනෙහස සිතට නැඟේ
අමතක කරනු නොහැකිය කිසි දිනෙක මගේ
මව් පිය දෙපළ සිහිකර බුදු බණක් දිගේ
පින් පෙත් පුදන්නෙමි යන්නට නිවන් මගේ

****

නුවණින් දැන ගමු

මොහොතක් මොහොතක් පාසා
මේ කුණු කය දිරලා යනවා
කෙස් ටික සුදු පැහැ වෙනවා
නොනෑවොතින් දුගඳ හමනවා

දත් ටික මුතු ඇට වගේලු
වැටුණදාට දුක හිතේ ය

ඉපදීමත් වැඩි වෙන්නේ
කළ පව්මයි පලදෙන්නේ
නුවණින් එය දැන ගන්නේ
එවිටයි සැනසුම වන්නේ

****

මගේ දුක

පෙර භවයකදී මා කළ පවකට
බණ පද නෑසේ බිහිරි සවනතට
බුදු පුතුනේ මට මෙත් කරුණාවෙන්
බුදු බණ පදයක් ලියා එවනු මැන

****

පොඩි හාමුදුරුවෝ

පොඩි හාමුදුරුවනේ මං බලා හිටියා
ඔබ වහන්සේ සක්මන් කරන
බෝ මලුවෙ කොනක
එරමිණිය ගොතා ගෙන

පොඩි හාමුදුරුවනේ මං අහං හිටියා
ඔබ වහන්සේ සුමධුර දම් දෙසන
බණ මඩුවෙ කොනක
එකත් පස්ව වැඳගෙන

****

කවි කිවිඳියනට සතර පෝදාටම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.