Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 18: ගැමුණු කුමරු සැඟවීමට මව් බිසවගෙන් සැලසුමක්

දුටුගැමුණු මහ රජතුමා - 18

ගැමුණු කුමරු සැඟවීමට මව් බිසවගෙන් සැලසුමක්

මාගම රාජධානි සීමාව පසුවන තුරු වේගයෙන් පැමිණි අස්රිය ඉන්පසු හැල්මේ ගමන් කරන්නට විය. වේළුසුමනගේ මන්දගාමී බව දුටු දාව ආචාර්යතුමා “වේළුසුමන, රිය ගෙනයාම අශ්වයන්ට භාර කළේ මක්නිසා ද? මේ ගමන යාමට ඔබටත් කැමැත්තක් නැද්ද?යි ප්‍රශ්න කළේ ය.

එදින රාත්‍රියේදී ම විහාරමහා දේවියගේ ඉල්ලීම පරිදි වේළුසුමන විසින් වෙස්වළාගත් ගැමුණු කුමරු මාළිගාවට කැඳවාගෙන එන ලදී. රහස් උමගකින් රජ මාළිගය වෙත පැමිණි ඔවුන් දෙදෙනා විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ ශාලාවකට පැමිණියහ. විහාර මහා දේවිය ඔවුන් පැමිණෙන තුරු එහි රැඳී සිටියා ය.

“ගැමුණු, හදිසි තීරණ ගෙන පැනයන්න එපා. පිය රජතුමාගේ කෝපය සන්සිඳෙන තුරු සැඟව සිටින්න. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මා සූදානම් කරන්නම්. ඔබට පැනයාමට නොහැකි වන ලෙසට හැම තැනම මුරකාවල් යොදලා. ගිරි නුවර යාමට සූදානම් වෙන්න. ඒ සඳහා ආරක්ෂාව මම සලසන්නම්. ගිරිනුවර රජමාළිගය ආසන්නයේ පිහිටි පුරෝහිත නිවස දැනට වසා දමා තිබෙන්නේ එහි සිටි පුරෝහිත බ්‍රාහ්මණතුමා ටික දිනකට ඉන්දියාවේ ගොස් සිටින්නේ ඔබට ඒ නිවසේ නිදහසේ සිටින්නට පුළුවන්. රජ මාළිගයේ ගිරි අබා රජුත්, දේවියත් ඔබට රැකවරණය සලසා දෙන්නට කැමැති වුණා. ඒ වගේම මෙය රහසක් වශයෙන් තබා ගන්නටත් ඔවුන් පොරොන්දු වුණා”.

“වේළුසුමනත්, දාව ආචාර්යතුමාත් ඔබ සමඟ පැමිණේවි. හෙට උදෑසන ම අස්රියකින් ගිරි නුවරට යන්න. ඒ සඳහා අස්රියක් සූදානම් කර තිබෙනවා. රියැදුරු වේළුසුමනයි. ඔබට එහි සැඟවී යන්නට පුළුවන්. ආරක්ෂක කපොලුවල දී රථය පරීක්ෂා කරන්නේ නැහැ. ගිරිඅබා රජුගේ අශ්ව රථයත් ආරක්ෂක නිලධාරීන් ඉදිරියෙන් ගමන් කරාවි.”

මව් බිසව විසින් තමන්ට ආරක්ෂාකාරී ව පිටව යෑමට සූදානම් කර ඇති වැඩපිළිවෙළ ගැන ගැමුණු කුමරු විමතියට පත්විය. එහෙයින්ම ඇයගේ ඉල්ලීමට අවනත ව ගිරිනුවරට යාමට කැමැත්ත පළ කළේ ය.

“මෑණියනි, ගිරිනුවර රජ මාළිගය පිළිබඳ මා තුළ ප්‍රසාදයක් නැහැ. එහි වෙසෙන ගිරිඅබා මාමණ්ඩිය සහ නැන්දණිය කෙරෙහි විශ්වාසය තබන්න අමාරුයි. එහි මට නිදහසක් නැති වග දැනුණොත් වෙනත් තැනකට යන්නට සිදුවේවි.

නැහැ පුතා එහෙම හිතන්න එපා. ඒ අය පුතාට අවශ්‍ය සියලු පහසුකම් සලසාවි. පිය රජතුමා ඉක්මණින් ම පුතාට සමාව දී රජ මාළිගයට ගෙන්වා ගනීවි. දාව ආචාර්යතුමාත්, ගැමුණු කුමරුත් ගිරි නුවරට කැඳවාගෙන යාම වේළුසුමනට පවරන ලද්දේ ඔහු ආරක්ෂක භටයන් සමඟ ඉතා සුහද ව කටයුතු කළ හෙයිනි. එමෙන්ම ගැමුණු කුමරුට ඉතා හිතවත් ව සිටියේත් වේළුසුමන නිසා ය.

උදෑසනින් ම වේළුසුමන සෙනෙවි අස්රිය රැගෙන පැමිණියේ ය. ගැමුණු කුමාරයා සහ දාව ආචාර්යතුමා රියට ගොඩවිය. මහනෙල යෝධයා සැමට සුබ පැතීය.

ගැමුණු කුමාරයා පිටත් වූ බව මහනෙල යෝධයා හිමිදිරි උදෑසනින්ම පැමිණ විහාරමහා දේවියට දැනුම් දුන්නේ ය. ඇය සැනසුම් සුසුමක් හෙළුවා ය. නමුත් තමා රාජද්‍රෝහී ක්‍රියාවකට සම්බන්ධ වුණා යැයි හැඟීමක් යටි සිතේ වද දෙන්නට විය. තමා ගේ මෙම රහසිගත කුමන්ත්‍රණය හෙළි වුවහොත් රජතුමාගෙන් කිසිදු සමාවක් නොලැබෙනු ඇත. නමුත් ගැමුණු කුමාරයා රැක ගැනීම සඳහා මෙය හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් තිබේදැයි සිතා සිත සනසා ගත්තා ය.

මාගම රාජධානි සීමාව පසුවන තුරු වේගයෙන් පැමිණි අස්රිය ඉන්පසු හැල්මේ ගමන් කරන්නට විය. වේළුසුමනගේ මන්දගාමී බව දුටු දාව ආචාර්යතුමා “වේළුසුමන, රිය ගෙනයාම අශ්වයන්ට භාර කළේ මක්නිසා ද? මේ ගමන යාමට ඔබටත් කැමැත්තක් නැද්ද?යි ප්‍රශ්න කළේ ය.

“නැහැ ආචාර්යතුමනි, මාගම රාජධානි සීමාව පසුවන තෙක් අප අනතුරේ. ඒ නිසා එතෙක් අප වේගයෙන් ආවා. දැන් අපට බියවීමට කාරණයක් නැහැ. ඉදිරියේ ඇති මාර්ගය බොහෝ දුෂ්කරයි. හවස් වන විට අපට ගිරි නුවරට යා හැකියි.”

වනදුර්ග, ගිරි දුර්ග පසු කරමින් පැමිණි අශ්ව රථය සවස් වන විට ගිරි නුවර රජමාළිගාව වෙතට පැමිණීයේ ය. රජ මැදුරේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි වේළුසුමන මාගම සිට පැමිණි තමන්ට රජතුමා බැහැදැකීමට අවශ්‍ය බව පැවසී ය.

“මම මහරජතුමාගෙන් අවසර ගෙන එනතුරු ඔබ මෙහි නතරවෙනු.” යි කී ආරක්ෂක භටයා දොරටුව නොවසාම රජමාළිගය තුළට ගියේ ය.

ආරක්ෂක භටයාගේ ප්‍රමාදය දුටු වේළුසුමන විවරව තිබුණු දොරටුවෙන් රජ මාළිගයට ඇතුළු විය. රජතුමා ද, සෝමා දේවිය ද ඉදිරිපස දොරටුව වෙත පැමිණ සිටියා ය.

“රජතුමනි, මාගමින් පැමිණි අස්රිය ඇතුළට ගන්නද?”

වේළුසුමන දුටු ඇය ගිරි අබා රජු දෙස නොබලා ඔහුගේ අනුමතය නොගෙනම නොපහන් බවක් පෙන්වමින් කතා කළා ය.

“අස්රිය ඇතුළට ගන්න එපා. එය ආපසු හරවාගෙන අර ඈත පෙනෙන උද්‍යානය දිගේ ඉදිරියට යන්න. ඒ මාර්ගය දිවයන්නේ අපේ පුරෝහිතතුමාගේ මන්දිරයට. අපේ ආරක්ෂක නිලධාරීන් ඔබට මඟ පෙන්වාවි.”

එසේ පැවසූ ඇය මාළිගය තුළට ගියා ය. පසුව ගිරි අබා රජු අශ්ව රථය වෙත පැමිණ ගැමුණු කුමාරයා සහ දාව ආචාර්යතුමා සමඟ කතා කර ඈත පෙනෙන පුරෝහිත මන්දිරයට යන ලෙසත් එහි සියලු පහසුකම් සපයා ඇති බවත් දැන්වීය.

ආරක්ෂක භටයන් පෙරදැරිව ගමන් ගත් අශ්ව රථය උද්‍යානය කෙළවරේ ඇති සුවිසල් මැදුරක් වෙත පැමිණියේ ය. ආරක්ෂක භටයා එහි දොර හැර ආලින්දය, නිදනකාමර, පුස්තකාලය, විචිත්‍රාගාරය පෙන්වා වේළුසුමනට යතුර භාර දී පිටව ගියේ ය.

මොහොතකින් ආරක්ෂක භටයන් සමග පැමිණි ගිරිඅබා රජතුමාත්, ගැමුණු කුමාරයාත්, දාව ආචාර්යතුමාත් සාදරයෙන් පිළිගත්තේ ය. ඔවුන්ගේත්, මන්දිරයේත් ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයන් සේවය කරනු ඇතැයි පැවසී ය.

. “මෙය අපේ පුරෝහිතතුමා වාසය කළ නිවස. එතුමා ටික කලක් නැවතීමට ඉන්දියාවට ගියා. මෙය පිහිටා තිබෙන්නේ උද්‍යානයේ කෙළවරයි. කිසිවකුත් මේ පැත්තට එන්නේ නැහැ. ඒ නිසා වැඩි අවධානයක් නැහැ. විවේකයෙන් ඉන්නට පුළුවන්. ආරක්ෂාවත් හොඳයි. මෙහි පුස්තකාලයේ විවිධ භාෂාවලින් ලියැවුණු පොත් රාශියක් තිබෙනවා. රාජ්‍ය පරිපාලනය ගැන ලියැවුණු පොත් ගැමුණු කුමරුට කියවන්නට පුළුවන්.