Print this Article


පැවිදි ජීවිතයේ සාර්ථකත්වය තිබෙන්නේ අධිෂ්ඨානය හා කැපවීම තුළයි

පැවිදි ජීවිතයේ සාර්ථකත්වය තිබෙන්නේ අධිෂ්ඨානය හා කැපවීම තුළයි

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, කෙළිදෙළෙන් ගත කරන ළමා වියේදී ම පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කිරීමට තරම් පෙළඹවූ හේතු කාරණා මොනවා ද?

මම උප්පත්තිය ලැබුවේ මහනුවර දිස්ති‍්‍රක්කයේ කුණ්ඩසාලය මැතිවරණ කොට්ඨාසයට අයත් දුම්බර මිටියාවතේ පාතදුම්බර නාරම්පනාව ග්‍රාමයේ දී . එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවිය හෙබ වූ බදුලු මුතියංගණ රාජමහා විහාරාධිපතිත්වය දැරූ අස්ගිරි මහා විහාර පිරිවෙන් ආදී කර්තෘන් වහන්සේ වූ අතිගෞරවාර්හ විද්‍යා විශාරද පණ්ඩිත හාලිඇල්ලේ ශී‍්‍ර සුමනතිස්ස අනුනායක හිමිපාණන් වහන්සේ තුළ පැවතුණ දුටුවන් කෙරෙහි පහදින ප්‍රාසාදජනක බවත්,සෘජු ගමන් විලාසයත්, ආරෝහපරිනාහ දේහ විලාසයත්, සුපේෂල ශික්ෂාකාමී බවත් කෙරෙහි මගේ සිත කුඩා අවධිය තුළ නිරායාසයෙන් ම ඇදීයාමෙන් පැවිදීවීම කෙරෙහි මහත් ආසාවක්, උනන්දුවක් ඇති වුණා.

නාරම්පනාව ගමේ පන්සලේ ආධිපත්‍ය දැරුවේත් උන්වහන්සේමයි. ඒ අනුව මව්පිය ආශිර්වාදය ඇතිව උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් 1981 ජනවාරි 25 වෙනි දින නාරම්පනාවේ ආනන්ද යන උතුම් වූ ශාසනික නාමයෙන් පුණ්‍යවන්ත උත්තරීතර පැවිදි ජීවිතයට එළඹුණා.

මූලික පැවිදි අධ්‍යාපනය අස්ගිරි මහා විහාර පිරිවෙන තුළින් හා උසස් අධ්‍යාපනය පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන තුළින් ලබාගෙන අවුරුදු 19 වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. සුහද මාරුවකට අනුව කැලණිය විශ්ව විද්‍යාලයට වැඩම කළ කාල පරිච්ජේදයේ දී විසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1986 ජූලි 06 වෙනි දින පැවිදි ආචාර්යන් වහන්සේ වූ විද්‍යා විශාරද පණ්ඩිත හැලිඇල්ලේ ශී‍්‍ර සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අස්ගිරි මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී වාහලනාග නාමයෙන් උතුම් වූ අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගැනීමට කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

පිරිවෙන් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලැබූ අවධිය තුළ ඔබ වහන්සේ ලබාගත් අත්දැකීම් අනුව නුතන භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා පිළිබඳව පැහැදිලි කරනවා නම්,

අස්ගිරි මහා විහාර පිරිවෙනේ එවකට වැඩසිටි ගුරුදේව නායක හිමිපාණන් වහන්සේ ඇසුරින් පැවිදි ජීවිතයට ඇවැසි මූලික බණ දහම් ඉතාමත් කීකරුව ඉගෙන ගත්තා. ඉතාමත් අඩු පහසුකම් යටතේ බොහෝ දුෂ්කරතා මැද ඇතැම් විට දානය නොමැති අවස්ථාවලදී පවා අප විසින් දානය පිළියෙළ කරගනිමින් ඉතාමත් කැපවීමෙන්, අධිෂ්ඨානශීලීව අධ්‍යාපන කටයුතු කරනු ලැබුවේ ගුරුවරුන් කෙරෙහි අප්‍රමාණ ගුරු ගෞරවයෙන්, ආදරයෙන්, ලැදියාවෙන්, භක්තියකින් හා ආයතනික ලැදියාවකින් යුතුව යි.

ආචාර්ය මැදගොඩ ශී‍්‍ර සුමනතිස්ස හිමි, කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි , මැදගොඩ චන්දරතන හිමි,තිබ්බටුගොඩ පියනන්ද හිමි ආදී එම යුගයේ සිටි ධර්මධර, විනයධර, සුපේෂල ශික්ෂාකාමි කීර්තිමත් ප¼ඩිවරුන් යටතේ අධ්‍යාපනය ලැබූ අවධින්වල ආයතනික වත්පිළිවෙත් ඉෂ්ට කරමින් ධර්ම අධ්‍යාපනය ලබා ගැනීමට කටයුතු කළා. රූපවාහිනි, දුරකතන, අන්තර්ජාල වැනි පහසුකම් නොතිබුණ නිසාම ලෞකික දේ කෙරෙහි නැඹුරු නොවී මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කරගෙන යා හැකි වාතාවරණයක් හැමදාමත් තිබුණා.

වර්තමානය තුළ පැවිදි ශිෂ්‍යයන් වගේම පාසල් ශිෂ්‍යයන් යන දෙපිරිසම හානිකර පැත්තට ආකර්ෂණය කරගන්නා බලවේග විශාලයි. ඒ තුළින් වර්තමාන සමාජයට සිදුව ඇති යහපතට වඩා අයහපත වැඩියි. එම නිසා සන්ක්‍රාන්ති වයස් සීමාවන් තුළ මෙම දෙපිරිසම ආරක්ෂා කළ යුතු කාලයක් එළඹිලා තිබෙන්නේ. එම අභියෝගය ජයගත යුතුයි.

ශාසනික වශයෙන් නිවැරැදි නායකත්වයක් හා විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ගුරු හාමුදුරුවරුන්ගේ ආභාසය ලැබුණේ කුමන ආකාරයෙන් ද?

අති ගෞරවාර්හ විද්‍යා විශාරද පණ්ඩිත හාලිඇල්ලේ ශී‍්‍ර සුමනතිස්ස අනුනාහිමිපාණන් වහන්සේ වැනි ශාසනික සම්ප්‍රදාය මනාව ප්‍රගුණ කළ,මනා පෞරෂත්වයකින් හෙබි, ආදර්ශවත්,කීර්තිමත් සංඝ පීතෘන් වහන්සේලාගේ ඇසුර ලැබීමේ භාග්‍ය මුලික පැවිදි ජීවිතයේ අඩිතාලම ගොඩනඟා ගැනීමට අතිශයින් ම වැදගත් වුණා. පැපිලියාන සුනේත්‍රාදේවී පරිවේණාධිපති ව වැඩ සිටි ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයට අයත් පඬිවරුන්ගේ ආභාසයත් පැවිදි ජීවිතයට විශාල ආලෝකයක් , අනුබලයක් එක්කළා..උන්වහන්සේලා විසින් විෂයය දැනුමට අමතරව පැවිදි ජීවිතය වර්ධනය කරගැනීමට අවශ්‍ය, පෞරුෂවර්ධනයත් , යම් ශාසනික මෙහෙවරක් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය හා වාතාවරණය සකස්කරදීම , ඉදිරි ශාසනික ජීවිතයට අතිශයින් උපකාරී වුණ බව මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට පැවරෙන භාරදූර වගකීම ඉටුකිරීමේ දී පැන නඟින ගැටලු කෙබඳු ද?

විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ ලබාගත් සුදුසුකම් අනුව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් රැඳීමට අවස්ථාව තිබුණත්, ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමත් සමඟ උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට අස්ගිරි මහා විහාරයේ වැඩ කටයුතු සහ පිරිවෙන ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වුණා. ඒ අනුව 1991 වර්ෂයේ දී පිරිවෙන නැවත ආරම්භ කළා. එම පිරිවෙන තුළ පැවැති සාර්ථකත්වය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 1998 වර්ෂයේ දී එය මහ පිරිවෙනක් තත්ත්වයට පත් කළා. 2008 වර්ෂයේ දී ලංකාවේ පළමුවරට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබාදෙන පිරිවෙනක් බවට පත්කිරීමට කටයුතු කරනු ලැබුවේත්, භික්ෂූන් වහන්සේලාට විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය භාෂාමය හැකියාව ඔප්නංවා ගැනීමටයි.

එවකට අස්ගිරි මහා විහාර පාර්ශවයේ වැඩ සිටි මහානායක අතිපූජ්‍ය පලිපානේ ශී‍්‍ර චන්ද්‍රානන්ද .මා හිමිපාණන් වහන්සේ විසින් 1998 වර්ෂයේ දී අස්ගිරිය මහා විහාරයේ කාරක සංඝ සභාවට පත් කිරීමත් සමඟ අස්ගිරි මහා විහාර පිරිවෙන මුලික කරගෙන සිදුකළ ධර්ම ශාස්තී‍්‍රය සේවයට අමතරව, අස්ගිරි මහා විහාරයේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මහා විහාරයට පැවරෙන ශාසනික වගකීම් සඳහා සෘජුව සම්බන්ධ වීමට සිදු වුණා.

පිරිවෙනේ කටයුතු, සංඝ සභාවේ කාර්යභාරය , රටේ ඇතිවන විවිධ ජාතික, ආගමික, දේශපාලනික ප්‍රශ්නවලදී මූලස්ථානයක් වශයෙන් නිරායාසයෙන් පැවරී තිබෙන වගකීම හා අනේක විධ සමිති සමාගම් ආදී කොට ඇති බොහෝ කාර්යභාරයන්ට අනිවාර්යයෙන් ම සම්බන්ධ වීමට සිදුවෙනවා. 2000 වර්ෂයේ දී අස්ගිරි මහා විහාරයේ අභිනවයෙන් මහා නායක ධූරයට පත් වූ උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මා හිමිපාණන් වහන්සේගේ කාලය තුළ අස්ගිරි මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරයට පත් කළා. එදා සිට සංඝ සභාවේ වගකීම් සඳහා පෙරදාට වඩා වැඩියෙන් මැදිහත් වීමට සිදු වුණා. ජනාධිපති උපදේශක මණ්ඩලය, බුද්ධ ශාසන උපදේශක මණ්ඩලය, හා වෙනත් ආයතනයන්හි උපදේශකත්වය ලබාදීම ආදී විවිධ කාර්යයන් සඳහා යොමුවුණේ පිරිවෙන පවත්වාගෙන යන ගමන්මයි.

ඒ වගේම යම් ගැටලුවක දී යම් තීරණයකට එළඹෙන අවස්ථාවල දී එයට ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ගේ දෝෂදර්ශනයට ලක්වීම ස්වභාවයක්. එවැනි අවස්ථාවලදී උපේක්ෂාවෙන් මුහුණදෙනවා.