Print this Article


සෑම අතින්ම පැහැදීම් ගෙන දෙන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ උපසේන මහ රහතන් වහන්සේ

සෑම අතින්ම පැහැදීම් ගෙන දෙන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ උපසේන මහ රහතන් වහන්සේ

උපසේන තෙරුන් වහන්සේ ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සෑම තැනකම ප්‍රකට ය. ඒ නිසා උන්වහන්සේ සමීපයේ පැවිදි වූ කුල පුත්‍රයන් ගණන අපමණ ය. තම ශිෂ්‍ය පිරිස අමතා උපසේන තෙරුන් වහන්සේ වදාළේ තමා ආරණ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන බවයි. ඒ නිසා ඔබ ද එසේ වන්නට කැමැති නම් පමණක් පැවිදි වන ලෙස යි. මෙලෙස පැවිදි වූයේ තෙළෙස් ධූතාංග පිරීමට කැමැති වූ භික්ෂු පිරිස පමණකි.

උපසේන මහ රහතන් වහන්සේ සෑම අතින් ම පැහැදීම් ගෙන දෙන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර ය. උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස ද එබඳු පැහැදීම් ගෙන දෙන ගති පැවතුම්වලින් බැබළෙයි.

උපසේන මහ රහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර නියත විවරණ ලැබුවේ පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී ය. එදා හංසවතී නුවර විසූ මොහු පදුමුත්තර බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට නික්ම ගියේ විහාරය වෙත යි.

එකල බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සඳහා දුන් තනතුර වන්නේ ‘සෑම අතින් ම පැහැදීම ගෙන දෙන භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානයයි. එය දුටු මේ උත්තමයා ද ‘මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබමි’යි අධිෂ්ඨානයෙන් බුද්ධ ප්‍රමුඛ මහ සඟනට දන් පිදුවේ සත් දිනක් මුළුල්ලේ ය. එදින බුද්ධ ප්‍රමුඛ මහ සඟරුවනට මහ දන් පවත්වා සත්වන දින අවසානයේ දී තම අපේක්ෂාව බුදුන් වහන්සේට දන්වා සිටියේ මහත් අදිටනෙනි.

එදින බුදුන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වනු දැක ‘කුල පුත්‍රය ඔබගේ අභිප්‍රාය මෙයින් කල්ප ලක්ෂයකට මතු බුදුවන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉටුවන බවට නියත විවරණ දුන් අයුරු විශිෂ්ට ය.

පසුව ජීවිතාන්තය දක්වා කුසල් රැස් කොට එයින් චුතව දෙව්ලොව , මිනිස් ලොව ආදී අපමණ ආත්ම භාවයන් හි සැරි සරා සසරේ අවසන් ආත්ම භාවයේ දී උපත ලැබුවේ ගෞතම බුදු සසුනේ දී ය. ඒ නාලක බමුණු ගම්මානයේ විසූ සාරි බැමිණියගේ පුතණුවන් ලෙස යි. ‘උපසේන’මාණවක නාමයෙනි.

ගෞතම බුදුන් වහන්සේගේ සදහම් දේශනාවෙන් සැනසුණු උපසේන මාණවකයාගේ සිත ඇදී ගියේ පැවිදි වීමට යි. ඒ අනුව පැවිදි වූ උපසේන තෙරුන් වහන්සේ උපසම්පදාව ලබා වසක් ගත වීමෙන් පසුව තවත් කුල දරුවකු පැවිදි කර උපසම්පදා කරවීම සිදු විය. මෙලෙස වස් දෙකක් ගත කළ උපසේන තෙරුන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය හිමි නම ද සමඟින් වැඩම කළේ බුදුන් වහන්සේ හමුවට ය. එහිදී බුදුන් වහන්සේ උපසේන තෙරුන් වහන්සේ අමතා වදාළේ, ‘මහණ, ඔබ කෙතෙක් දුරට වස් සමාදන් වූ වාදැ’යි යනුවෙනි. එවිට උපසේන තෙරුන් වහන්සේ වදාළේ, වස් දෙකක් ලෙස යි. එහි දී ශිෂ්‍ය වහන්සේගේ වස් කාලය විමසූ විට එක් වසක් යැ’යි උපසේන තෙරුන් වහන්සේ බුදුන් වහන්සේට ලබා දුන් පිළිතුර ය.

එහි දී බුදුන් වහන්සේ හිස් පුරුෂය, ඔබ ඉක්මනින් ම මහන්තත්වයට පැමිණි බවට දොස් පැවරීමෙන් උපසේන තෙරුන් වහන්සේට ඇති වූයේ ඉමහත් කළකිරීමකි. එදින උපසේන තෙරුන් වහන්සේ සිතා ගත්තේ කෙදිනක හෝ බුදුන් වහන්සේගෙන් ප්‍රසංසා අසන්නෙමි’යි යනුවෙනි. ඒ අනුව විවේක සුවයෙන් විසීමට හැකි ස්ථානයකට වැඩම කළ උන් වහන්සේ බවුන් වඩා රහත් වීමට භාග්‍යවත් වූහ.

මෙලෙස උපසේන තෙරුන් වහන්සේ ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක්ලෙසින් සෑම තැනක ම ප්‍රසිද්ධ ය. ඒ නිසා උන්වහන්සේ සමීපයේ පැවිදි වූ කුල පුත්‍රයන් ගණන අපමණ ය. තම ශිෂ්‍ය පිරිස අමතා උපසේන තෙරුන් වහන්සේ වදාළේ තමා ආරණ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන බවයි. ඒ නිසා ඔබ ද එසේ වන්නට කැමැති නම් පමණක් පැවිදි වන ලෙස යි.

මෙලෙස පැවිදි වූයේ තෙළෙස් ධූතාංග පිරීමට කැමැති වූ භික්ෂු පිරිස පමණකි. කාලයාගේ ඇවෑමෙන් දසවසක් ගත වීමෙන් පසුව උපසේන තෙරුන් වහන්සේ විනය ප්‍රගුණ කර සියලුම භික්ෂූන් වහන්සේ සමඟින් වැඩම කළේ ජේතවනාරාමයට යි.

එහිදී බුදුන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අමතා, විමසුවේ පාංසුකූලිකාංගය සිත් ඇදගන්නවා දැ’යි යනුවෙනි. එහි දී එම තෙරුන් වහන්සේ වදාළේ, තමන් වහන්සේ පාංශුකූලිකාංගය පි‍්‍රය නොකරන බවත්, මාගේ ආචාර්යන් වහන්සේ වන උපසේන මහ රහතන් වහන්සේ එම අංගය ගෞරවයෙන් සමාදන් වන බවත් ය.

උපසේන මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ හොඳීන් පුරුදු පුහුණු කර ඇති බවට ප්‍රශංසා කළ බුදුන් වහන්සේ, උන් වහන්සේගේ ගුණාංගයන් වර්ණනා කරමින් ලබා දුන් තනතුර වන්නේ ‘සෑම අතින් ම පැහැදීම් ගෙන දෙන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර බව ය.

මෙහි ඉහත සඳහන් පාංශුකූලිකාංගය යනු ඉවතලන සුදු, කහ පැහැති වස්ත්‍ර හෝ රෙදි කැබැලි කිහිපයක් එකතු කරගෙන මසන ලද සිවුර පමණක් දැරීම ය. තෙළෙස් ධූතාංගවලට (13) අයත් එක් ගුණාංගයක් වන්නේ පාංශුකූලිකාංගය යි. සාමාන්‍ය පුද්ගලයකුට කිසි විටකත් රැක ගැනීමට අසීරු වූ තෙළෙස් ධූතාංගයන් පුරාණ කාලයෙහි රැක ගත්තේ ඇතැම් වීර්යවන්ත භික්ෂූන් වහන්සේලා ය. එය විශුද්ධි මාර්ගය ඇතුළු පැරැණි පොත පතෙහි ද සඳහන් ය. තෙළෙස් ධූතාංග දහතුන ම රැකගත් එකම භික්ෂූන් වහන්සේ වශයෙන් ධර්මයෙහි සඳහන් වන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ය.

වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ තමාට පිළිපැදිය හැකි ආකාරයෙන් ධූතාංග එකක් හෝ කිහිපයක් ආරක්ෂා කරගන්නා අතර, අප්‍රකට වූ එබඳු භික්ෂූන් වහන්සේලාගෙන් බුදු සසුන අදට ද බැබළෙන බව කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන්ගේ නොබිඳෙන පින කෘතියෙහි ද සඳහන් ය.