Print this Article


තිස්ස උපාසකගේ ශ්‍රද්ධාව මැන බැලූ සක්දෙවිඳුගේ උපාය

තිස්ස උපාසකගේ ශ්‍රද්ධාව මැන බැලූ සක්දෙවිඳුගේ උපාය

හරිතාලතිස්සගේ කතාව

මීට බොහෝ කාලයකට පෙර අනුරාධපුරයට බටහිර පෙදෙසට වෙන්න භූමංගණ නමින් ගමක් තිබුණා. ඒ ගමේ දුක් මහන්සියෙන් මුදල් උපයන පවුලක් ජීවත් වුණා.

මේ පවුලේ පුතුන් හත් දෙනෙක් සිටියා. ඒ හැම කෙනාම නිරෝගී, ශක්තිමත් දරුවන්. ඔවුන්ගෙන් බාලයා තිස්ස ඔහු තරුණ වියේදී ඒ ගමේම සිටි සුමනා නම් තරුණියක් ආවාහ කර දුන්නා. වෙනම නිවසක පදිංචි කළා. විවාහ වූ දිනයේ ඇයගේ මව ඔවුන්ට භාණ්ඩ පහක් ලබා දුන්නා. ඒ සහල් ගරන නෑඹිලියක්, මෝල් ගසක්, වංගෙඩියක්, පියන සහිත කළයක් හා බත් පිසීමට භාජනයක්.

ඔවුන් ඒ භාණ්ඩත් රැගෙන වෙනම පැල්පතක වාසයට ගියා. සුමනා එහිදී තම ස්වාමියා අමතා මෙසේ පැවසුවා. “හිමියනි, මම හැමදාම සංඝයා වහන්සේ නමකට දන් පිළි ගන්වනවා. ඒත් අද එය මට නැතිව ගියානේ”

“සුමනා මම පුරුෂ වීර්ය තිබෙන තරුණයෙක්. ඔබ ශෝක නො කරන්න. මම කය වෙහෙස කොට මහන්සියෙන් මුදල් සොයාගෙන එනතෙක් ඔබ මේ තිබෙන සහල් ටික දෙ කොටසකට බෙදා එක් පංගුවක් සංඝයා උදෙසාත්, අනෙක් කොටස අප උදෙසාත් පිළියෙළ කරන්නැයි” පැවසූ තිස්ස නික්ම ගියා.

පසුව සුමනා විහාරයට ගොස් සංඝයා වහන්සේ නමකට දානයට ආරාධනා කොට නිවසට වඩමවාගෙන ආවා. සුමනා තමාට හැකි අයුරින් බතක් පිස එයට ලුණු ඉස එය පිළිගැන්වූවා. ඒ දානය දුටු සාමණේර හිමියන්ගේ සිතට නො සතුටක් උපන්නා. උන්වහන්සේ ඒ දානය ගෙන විහාරයට වැඩියා. සියලු සාමණේරයන් වහන්සේ ප්‍රණීත දානයක් යැයි සිතා පාත්‍රය දෙස බැලුවා.

‘‘ලුණු ඉසූ බත් දුන් නිසා අද සිට අප තිස්සට ‘ලෝණකතිස්ස’ යැයි‘‘ කියමු. උන්වහන්සේලා කවටකමට සිනාසෙන අයුරු සුමනා දුටුවා. සුමනා බලා සිටියදී ම ඒ සාමණේර නම ඇය පූජා කළ දානය ඉවතට වීසි කළා.සුමනා නිවසට ගොස් දුකෙන් පසුවුණා. සවස නිවසට ආ තිස්සට ඇය විස්තරය කිව්වා.

‘‘ඔබට ලෝණකතිස්ස කියා උන්වහන්සේලා නමක් ද පටබැන්ඳා‘‘ ඇය දුක්වුණා.

“සුමනා, සංඝයා වහන්සේලා කියන්නේ අපගේ ආචාර්යන් වහන්සේලායි. උන්වහන්සේලා මට තැබූ නම ඉතා අගනේ යි. මාගේ ඒ නාමය මුළු රටේ ම ප්‍රසිද්ධ වේවා!” ඔහු ප්‍රාර්ථනාවක් කළා.

තිස්ස පසුදා උදේම කුඹුරට ගොස් කුලියට ගොයම් කැපුවා. අලස නොවී දවල් කාලය ඉක්ම යන්නට පෙර ගොයම කැපූ නිසා කුඹුරු හිමියා සතුටු වෙලා ඔහුට වී අමුණක්ම දුන්නා. එය නිවසට රැගෙන ගිය තිස්ස මෙසේ කිව්වා.

“සුමනා, මේ වැඩි සහල් විකුණා මාලු, දී කිරි, ගිතෙල් ආදීය ගෙන ප්‍රණීත දානයක් සාදා පූජා කරමු”

ඔහු සවස් කාලයේ නැවත තවත් කුඹුරකට ගොස් කඩිසරව ඒ කුඹුරෙත් ගොයම් කැපුවා. එයින් ද ඔහුට වී අමුණක් ලැබුණා. තිස්ස මෙසේ දිනපතාම කඩිසරව වැඩකළා. ඒ ලැබෙන දේ දානයක් සේ සකසා බොහෝම ශ්‍රද්ධාවෙන් පූජා කළා. ක්‍රමයෙන් ඔහුගේ දානය පිළිගන්නා භික්ෂුන් වහන්සේ ද වැඩි වුණා. ඇතැම් විට දහ නමක්, විසි නමක්, තිස් නමක්, හතළිස් නමක් හෝ සියක් නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් භික්ෂූන් වහන්සේ දානයට ඒ නිවසට වැඩම කළා.

මෙසේ අවුරුදු දෙක තුනක් ගෙවුණා. දැන් ලෝණකතිස්ස දහස් නමකට හෝ දන් දීමට සමතෙක්. ඔහු මහා දානපතියෙක්, මුළු නගරයේ ම ප්‍රසිද්ධ වුණා. දිනක් ඔහු විහාරයට ගොස් වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් මෙසේ අසා සිටියා.

“ස්වාමීනි, මම බොහෝ භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න කැමැතියි. නමුත් බොහෝ භික්ෂූන් වහන්සේලා මේ ගමේ නැහැ. වෙනත් ස්ථානයකින් මට භික්ෂූන් වහන්සේලා වඩමවා ගත හැකිද?”

“උපාසක, නාගදීපයේ තිබෙන පරිභෝග සෑය වැඳීම පිණිස බොහෝ භික්ෂූන් වහන්සේලා එහි වඩිනවාලු. ඔබ එහි ගොස් භික්ෂූන් වහන්සේලාට දන් පූජා කර ගන්න.”

එය ඇසූ තිස්ස බොහෝ සතුටට පත්ව, තව තවත් මහන්සි වී වැඩ කර ඒ ලැබුණු සියලු දේ වියදම් කොට නාගදීප සෑය වන්දනාවේ වඩින ස්වාමින් වහන්සේට දානය පූජා කළා. දහස් නමක් වැඩියද, ඔහු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට මහත් ශ්‍රද්ධාවෙන් දානය පූජා කළා. ඒ ගමේ දී ඔහු හරිතාලතිස්ස නමින් ප්‍රසිද්ධ වුණා.

එක් දිනක් නව වතාවකට නවසියය බැඟින් භික්ෂූන් වහන්සේලා ඔහුගේ නිවසට පැමිණියා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළා. තව දිනකදී භික්ෂුන් වහන්සේලා දන් වළඳා වැඩිය පසු එක් රහතන් වහන්සේ නමක් සුමනාගේ නිවසේ ඉදිරිපිට වැඩ සිටියා.

පිණ්ඩපාතය සඳහා වැඩි බව දැනගත් සුමනා උන්වහන්සේගෙන් පාත්‍රය ගෙන නිවසට ගොස් සහල්, ගිතෙල්, පැණි, මී පැණි, සකුරු එක් කොට මිහිරි ප්‍රණීත බතක් පිස එයින් පාත්‍රය පුරවා ආධාරකයක තබා දොරකඩට පැමිණියා. එවිට වැඩ සිටි රහතන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් උපාසිකාව ඔය පාත්‍රය උඩට දමන්න. කැමැති තැනකදී මම එය ලබා ගන්නම්”

“අනේ පින්වත් ස්වාමීන් වහන්ස, එවැන්නක් මට කළ නොහැකි යි. ඔබ වහන්සේ පාත්‍රය රැගෙන කැමැති තැනකට වඩිනු මැන”.

එවිට රහතන් වහන්සේ පාත්‍රය ගෙන සුමනා බලා සිටියදී ම අහසට නැඟී එතැනින් වැඩියා. එය දුටු සුමනා දෑගිලි බැඳගෙන වන්දනා කළා. මහත් සතුටට පත්වුණා.

මේ ආකාරයට දන් දෙන හරිතාලතිස්ස සහ සුමනා ගැන සියලු භික්ෂූන් වහන්සේ ගුණ කිව්වා. එය ඇසුණු ලෝකපාලක දෙවිවරු ඒ බව රන් පතක සටහන් කොට ගෙන ගොස් තව්තිසා දෙවියන්ගේ සුධර්මා සභාවේ දී කියවනු ලැබුවා. මුළු ලංකාවේ ම ප්‍රසිද්ධ හරිතාලතිස්ස නම් ඒ ශ්‍රද්ධාවන්ත දානපතියා නොබෝ කලකින් දෙව්ලොව උපදින්නේය කියා දෙවිවරු කතා වුණා.

එය ඇසුණු සක්දෙවිඳු සිතුවා ඔහු කැමැත්තෙන්, ශ්‍රද්ධාවෙන් මෙසේ දන් පුදනවා වගේම ඔහුගේ අනෙක් ගතිගුණත් කෙසේද කියා පරීක්ෂා කළ යුතුයි සිතා භික්ෂූන් වහන්සේ නමකගේ වෙස් ගෙන හරිතාලතිස්සගේ නිවස ඉදිරිපිටට පැමිණියා.

හරිතාලතිස්ස වෙහෙස මහන්සි වී නිවසට පැමිණ මහත් වූ කුසගිනි නිවා ගැනීමට ආහාර ගැනීමට සූදානම් වූවා පමණ යි. සුමනා ඔහුගේ බත්පත බෙදා දී වතුර රැගෙන ආවා. ඇගේ අතෙහි වතුර වීදුරුව තිබෙද්දී ම සක් දෙවිඳු භික්ෂුවක් මෙන් කථා කළා.

“උපාසක මා ගඟෙන් එතෙර කළ හැකි ද? මම සෑය වන්දනා කිරීමට අනුරාධපුරයට යන්නෙමි.”

“එහෙමයි ස්වාමීන් වහන්ස” යැයි කියූ හරිතාලතිස්ස බත්පත එතැනම තිබිය දී ඒ භික්ෂුව එතෙර කිරීමට තොටුපළට යාමට පිටත් වුණා.

තොටුපළ අසලට ආ විට අර භික්ෂුව පවසන්නේ “උපාසක, මාගේ නාන කඩය ඔබගේ නිවසේ අමතකව ආවෙමි “ යනුවෙනි. දෙදෙනාම නැවත නිවසට ගොස් නානකඩය රැගෙන තොටුපළට ආවා. එ‍වෙලෙහි නැවත අර භික්ෂුව පවසන්නේ “උපාසක මාගේ සැරයටිය අමතකව ආවානේ. නැවත ගොස් එය රැගෙන එමු” තිස්සත්, භික්ෂුවත් නැවත නිවසට ගොස් සැරයටිය රැගෙන ආවා.

තුන්වැනි වරට තොටුපළ ආසන්නයට ම ආ විට භික්ෂුව පැවසුවේ “උපාසක බඳ පටිය ඔබගේ නිවසේ යි. මට අමතක වූ නිසා නැවත ගොස් ගෙන එමු.” තිස්ස කිසිදු තරහක් නො ගෙන කිසිවක් නො කියා නැවත නිවසට යෑමට පිටත් වුණා. එවිට සක් දෙවිඳුට ඔහු ගැන මහත් අනුකම්පාවක් ඇති වුණා. මොහු මහත් වූ ඉවසන පුද්ගලයෙක් කියා සක්දෙව්ඳු නියම ස්වරූපය ගෙන මෙසේ කිව්වා.

“උපාසක මුළු රෑ පුරාම ඔබ එහා මෙහා ඇවිදිමින් මහත් වූ අපහසු දෙයක් කළේ. ඔබ ශ්‍රද්ධාවන්ත තැනැත්තෙකු ද කියා විමසා බලන්නයි මම මෙහි ආවේ.”

එවිට සක්දෙවිඳුට තිස්ස මෙසේ කිව්වා.

“සක් දෙවිඳුනි, නිරෝගී පුරුෂයකු වූ මට මෙය අපහසු වූයේ නැහැ. නමුත් මාගේ බිරිය වූ සුමනා උපාසිකාව දිය බඳුන අතේ තබාගෙන මුළු රැය පුරාම බලා සිටීම මෙයට වඩා මහත් වූ අපහසු ක්‍රියාවක්”. යැයි කියා සිටියා.

“තිස්ස උපාසක, ඔබගේ බිරිය ද ඔබටම ගැළපෙන කාන්තාවක්. ඔබ දෙදෙනාගේ හැසිරීම දෙව්ලොව දෙවියෙක් සහ දෙවඟනක් එකට වාසය කරනවා වගේ” කියා ඔහුට ප්‍රශංසා කොට නික්ම ගියා. හරිතාලතිස්සත් ඔහුගේ බිරියත් තව තවත් බොහෝ පින්දහම් කොට මරණින් මතු දෙව්ලොව මහේශාක්‍ය දෙවියන් අතර උපන්නා.