Print this Article


නිවනට නො පැමිණිය හොත්...

නිවනට නො පැමිණිය හොත්...

අතිදීර්ඝ වූ මේ සංසාරයෙහි සැරිසරන්නා වූ එක් එක් සත්වයකුහට නිවනට නො පැමිණිය හැකි වුවහොත් අනාගතයෙහි ඒ ඒ ජාතිවල උපදින්නට සිදු වන වාරයන්ගේ ප්‍රමාණයක් නැත්තේ ය.

ජරාවට, මරණයට පැමිණෙන්නට සිදු වන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. තමා විසින් දුක සේ සපයා ගෙන ආදරයෙන් ආරක්ෂා කරන ධනය විනාශ වන්නා වූ,අනුන් විසින් පැහැර ගන්නා වූ වාරවල ප්‍රමාණයක් ද නැත්තේ ය.

තමාගේ ආදරණීය අඹු දරුවන් අනුන් විසින් පැහැර ගන්නා වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය. අනුන්ගෙන් නින්දා බස් අසන්නට සිදු වන්නා වූ, බැණුම් අසන්නට සිදු වන්නා වූ, පහර කෑමට සිදු වන්නා වූ, මරණයට පත් වන්නට (ඝාතනයට) සිදු වන්නා වූ වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

දුර්භික්ෂවලට හසු වී නිරාහාරව මිය යන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

නොයෙක් කරුණට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නා වූ, කනගාටු වන්නට සිදු වන්නා වූ, බිය වන්නට සිදු වන්නා වූ, හඬන්නට සිදු වන්නා වූ වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

නරකාදී සතර අපායෙහි ඉපිද දරුණු කටුක දුක් විඳීන්නට සිදු වන වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත්තේ ය.

එබැවින් සංසාරය මහා දුක්ඛ පරම්පරාවෙකි. මහා දුක්ඛස්කන්ධයෙකි. මේ මහා දුක්ඛස්කන්ධයෙන් මිදී වාසය කිරීමට ආරක්ෂා ස්ථානයක් කාම - රූප - අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි නැත්තේ යැයි කියන ලද මහා දුක්ඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම ආරක්ෂා ස්ථානය නිවන ය.

නිවන් මඟ හෙළිවන්නේ, දොර හැරෙන්නේ බුද්ධෝත්පාද කාලයේ ය. යම් තාක් කල් බුදුන් වහන්සේ ගේ ධර්මය ලොව පවතී ද , ඒ තාක් නිවන් මඟ හෙළි වී පවත්නේ ය. නිවන් දොර නොවැසී පවත්නේ ය.

මෙය තථාගතයන් වහන්සේගේ ධර්මය මැනවින් පවත්නා කාලයෙකි. මෙය සසර දුකින් මිදී නිවන් පුර පැමිණෙනු කැමති පින්වතුන්ට නිවන් ලබන්නට උත්සාහ කිරීමට යහපත් කාලයෙකි. මෙය එයට කාලය නොවෙති’ යි සිතා අතිදුර්ලභ වූ අගනා වූ අවස්ථාව ඉක්ම යන්නට නො දිය යුතු ය.

බුද්ධාගම ඇදහීමෙන් බලාපොරොත්තු විය යුතු වූ උසස් ම දෙය නිවන ය. එබැවින් තථාගතයන් වහන්සේ ගේ ධර්මය පවත්නා වූ, නිවන් මඟ හෙළි වී තිබෙන්නා වූ මේ උතුම් කාලයෙහි එ මඟ ගමන් කොට නිවන් පුරයට පිවිසීමට සියල්ලෝ ම උත්සාහ කෙරෙත්වා.

රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ බෝධිපාක්ෂික ධර්ම විස්තරය ග්‍රන්ථය ඇසුරෙනි.