Print this Article


බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙනස් වූවක් ද?

බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙනස් වූවක් ද?

බුදු දහම හා බෞද්ධ සංස්කෘතිය යනු කොටස් දෙකකි. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ බුදු දහම මිස බෞද්ධ සංස්කෘතිය නොවේ. මිනිසුන් ගේ විඥානගත සමහරදේ ඔවුන් අදහන ආගමට සම්බන්ධ කර ගන්නට උත්සාහ කිරීම සාමාන්‍ය සිරිතකි.

බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන ආගමික හා සංස්කෘතික ලක්ෂණ පළමුව හඳුනාගත යුතුය. බුදු දහම ලෝකයේ පවතින සත්‍ය මුල් කර ගෙන දේශනා කරන ලද දහමකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ තමන් සොයා ගත්තේ පැරණි පාරක්, මාර්ගයක් බව ය. පුරාණ ‘අඤ්ජසං‘ යනුවෙන් දේශනා කරන බුදු රජාණන් වහන්සේ මෙය අතීත බුදුවරයන් වහන්සේලා විසින් සොයා දේශනා කරන ලද එහෙත් කාලයෙන් වැසී ගිය දෙයක් බව පැහැදිලි කළහ. ඒ මාර්ගය නම් කර්මය, පුනර්භවය, හේතුඵල දහම, චතුරාර්ය සත්‍ය වැනි අධ්‍යයනය කර තේරුම් ගත හැකි අවබෝධ කරගත හැකි යථාර්ථය යි.

බුදු දහම ඒහිපස්සික දහමකි. කිසිවෙකුටත් අණ කිරීම් හෝ බය කිරීම් නැත. පැමිණ පරික්ෂා කර අවබෝධ කරගන්නට අනුදනියි. ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි‘ නුවණැත්තන් විසින් පරීක්ෂා කර ගත යුතු දහමකි.

බෞද්ධ සංස්කෘතිය රටවල් ගණනාවකම දක්නට ලැබේ. ශ්‍රී ලංකාව, තායිලන්තය, මියැන්මාරය ආදී විවිධ රටවල ජන විඥානය සකස් වී ඇත්තේ බුදු දහමේ ආභාසයෙනි. එහෙත් සමහර විට එය බුදුරජාණන් වහන්සේ විසින් අනුමත නොකළ දෙයක් වන්නට පුළුවන. එසේ වුවද ඉන් කිසිදු හානියක් නැත. උදාහරණයක් ලෙස ශබ්ද පූජාව පෙන්වා දිය හැකිය. බොහෝ රටවල නාදය, තාලය, හෝ ශබ්දය බුදුරජාණන් වහන්සේ ට උපහාර පිණිස පූජා පැවැත්වීමට යොදා ගනු ලබයි. වරක් බුදු රජාණන් වහන්සේ එක් පිරිවැජියෙකු ගේ ආරාමයට වැඩම කළහ. උන්වහන්සේ වඩිනු දුටු ප්‍රධාන පිරිවැජියා සිය පිරිස නිහඬ කරන්නේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නිහඬ බව කැමති අයෙකු වන නිසා නිහඬ වන ලෙසය.

වරක් ආරාමයේ කෑගසමින් සෙනසුන් පිළියෙළ කළ සැරියුත් මුගලන් දෙනමගේ ශිෂ්‍ය පිරිසක් ආරාමයෙන් බැහැර වන්නැයි වදාළ බව ද සඳහන් වේ. එසේ නිහඬ බව කැමති වූ බුදුරජාණන් වහන්සේගේ සසුනට ශබ්දය පූජාවක් ලෙස පැමිණ තිබේ. නිවැරදිව වටහා නොගතහොත් මේ සංස්කෘතිකාංගයන් බුදුදහමයැයි වරදවා වටහා ගන්නට ඉඩ තිබේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන අවස්ථාවේ පවා දේශනා කළේ ‘කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං‘ යනුවෙනි. කුසල් කරන්න,බඹසර හැසිරෙන්න යනුවෙනි. එහෙත් බොහෝ විට බෞද්ධ සංස්කෘතිය ප්‍රිය කරන්නේ ආමිස පූජාවන්වලට ය. මල් පූජා, වන්දනා, ඥාන පූජා ආදී විවිධ පුද පූජාවන් බොදු සංස්කෘතියේ ජනප්‍රිය අංගයන්ය. බෝධි පූජාව පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයකි. බොහෝ විට පිරුවානා පොත දහම හදාරනු වෙනුවට ආරක්ෂාව පිණිස පමණක් භාවිතා කරනු ලබයි. එය කියවීම දැනුම පිණිස නොව භය දුරු කර ගැනීම පිණිස ය. මේ සියල්ල බැලූ බැල්මට බුදු දහම යැයි වරදවා වටහා ගත යුතු නැත.

ගිහි පින්වතා යමක් බලාපොරොත්තුවෙන් බෝධීන් වහන්සේ ට පුද පූජා පවත්වන අතර, භික්ෂුන් වහන්සේ බෝධින් වහන්සේ හා දායක පින්වතා අතර මැද සිටිමින් පූජාව පූජා කරනු ලබයි. භික්ෂුන් වහන්සේ යනු පූජකයෙකු නොව පූජ්‍යයෙකි. ප්‍රතිපත්ති රකිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයෙහි ගමන් කරන්නෙකි. පූජක පක්ෂය හා පූජ්‍ය පක්ෂය යනු එකිනෙකට වෙනත් අංශ දෙකකි.

බුදු දහම සමාජ ගත වීමේදී මිනිසාගේ අභ්‍යන්තර පොදු කැමැත්ත, ප්‍රිය අප්‍රියතාවන්වලට නම්‍යශීලී වී තිබේ. බොහෝ විට මිනිසාට නිවන් දැකීමට එක්වරම අවශ්‍ය නොවේ. මේ තරම් සුව යයි පවසන නිවන යන තත්වය සෑම පින්කමක් පසුපස සිටම ප්‍රාර්ථනා කරන නමුත් ඉතා ඉක්මනින් ඒ තත්ත්වයට පත් වන්නට කැමති වන්නේ ඉතා සුළු පිරිසකි. ඉතිරි බහුතරය ට අවශ්‍ය වන්නේ නිවන් දැකීමම නොවේ. නිවන් දකින තුරා සතුටින් ජීවත් වීමට ය. ඔවුන් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයෙන් පිහිට බලාපොරොත්තු වෙති. මෙකී සංස්කෘතිකාංගය බෞද්ධ සමාජය වැළඳගෙන සිටින්නේ ඒ හේතුවෙනි.

එහෙත් වඩාත් විශ්මිත දෙය නම් බෞද්ධ ජනතාව මේ සියල්ල කරන්නේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් යුතුව ම වීම ය.

බුදු දහම තුළ සඳහන් වන කරුණු බෞද්ධ සංස්කෘතියට ඇතුළු වීමේ දී යම් යම් වෙනස්කම් ඇති කර ගත් බව පෙනේ. සසරේ බිය පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ වහ වහා නිවන් දකින්නට වීරිය වැඩිය යුතු බව අවධාරණය කරයි. වරක් බුදුරජාණන් වහන්සේ උපමාවකින් සිදු කරන පැහැදිලි කිරීම ඊට හොඳම උදාහරාණයකි. කිසියම් පුද්ගයලයෙක් පැමිණ උලක් පෙන්වා මේ උලෙන් උදේ දහවල් රාත්‍රී වශයෙන් නවසිය වතාවක් වසර සියයක් තිස්සේ ඇනීමෙන් පසුව නිවන් ලැබෙතැයි කිසිවෙක් කිවහොත් එයට කැමති විය යුතු බව එහි සඳහන් වෙයි. සසරින් ලැබෙන වේදනාව එයට වඩා දරුණු නිසාය. එහෙත් බෞද්ධ සමාජයේ නිවන යන්න සම්මතව ඇත්තේ මෙතේ බුදුන් සමීපයේ දී ලබා ගතයුත්තක් ලෙසය.

ඒ නිසාම බොදු ජනතාව දන් පින් සිදු කිරීමෙන් හොඳ භවයක් ලබා ගැනීම බොහෝ විට ප්‍රාර්ථනා කරන දෙයකි.

සංස්කෘතික වශයෙන් බුදු දහම ආගමක ලක්ෂණ වලින් යුතු වුව ද පැහැදිලි බුදු දහම ඒ හා මිශ්‍ර නොකරන්නට බෞද්ධයා පරිස්සම් ය. මේ බුදු දහමේ සංස්කෘතික ලක්ෂණ යැයි ද, මේ බුදු දහමේ සාරවත් දහම් කරුණු යයි ද වෙන් වෙන්ව හඳුනා ගන්නට බහුතර බොදු ජනතාවට අපහසු නොවේ.

කිසියම් හේතුවක් නිසා ඔවුන් ඒ වටිනා දේ ලස්සනට පිවිතුරුව තබා ගනිමින් එහි අගය පිළිබඳව විශ්මයට පත් වෙමින්, එහෙත් එය භාවිත නොකරන්නට වග බලා ගනිති. බුදු දහම වටිනා මැණිකකි. එහෙත් එය මල්ලකට දා සුරැකිව නොපෙනෙන්නට සුරක්ෂිත කර තිබේ.

බුදු දහමේ සුවිශේෂත්වයක් වන්නේ එය තවෙකෙකුගෙන් පිහිට ඉල්ලා පරම විමුක්තිය සාක්ෂාත් කර ගන්නා දහමක් නොවන ස්වභාවයයි. ‘අත්ථ දීපා විහරථ. අත්ථ සරණා න අඤ්ඤ සරණා‘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ පිහිට තමාම පමණක් වන බවය.

‘ තුම්හේහි කච්චං ආතතප්පං- අක්ඛාතාරෝ තථාගතො‘ යන බුදු වදනින් සනාත කරන්නේ බුදු රජාණන් වහන්සේලාට හැකියාව තිබෙන්නේ මග කියා දෙන්නට පමණක් බව ය. ගමන් කිරීම පුද්ගලයා සතු කටයුත්තකි. ඒ ඒ පුද්ගලයා විසින් සිදු කරනු ලබන උත්සාහයේ පමණට බුදු දහම තුළ ප්‍රතිඵල තිබේ. එසේ නොමැතිව බුදුරජාණන් වහන්සේ කෙරෙහි අධිකව පැහැදී සිටීම හෝ බුදුන් තමාගේ කර ගැනීම බුදුරජාණන් වහන්සේ ට අභිමත නොවූ බුදු දහමේ අගය කරන ලක්ෂණයක් නොවේ. එයට හොඳම උදාහරණය නම් වක්කලී හිමියන් පිළිබඳ කතාවයි.

වක්කලී හිමියන් පැහැදෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ රූපයටය. නිරතුරුවම බුදුරජාණන් වහන්සේ ගේ රූපකාය බලා සිටින වක්කලීට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ වක්කලී මේ කුණු සිරුර දෙස බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද යනුවෙනි.

එවැනි හැඟීම් බර අවස්ථාවන් නිවන් මඟට කිසිදු අදාළත්වයක් නැති නිසා බුදුදහම ඒවාට ලිහිල් බවක් දක්වා නැත.මහා සිව නම් භික්ෂුන් වහන්සේ නමක් විසි හතර අවුරුද්දක් භාවනා කළද, රහත් භාවයට පත් වන්නට නොහැකි වූයෙන් හඬන්නට පටන් ගනී. එවිට තවත් කිසිවෙක් හඬන හඬ උන්වහන්සේට ඇසේ.

ඒ පිළිබඳව විමසන විට ඒ හඬන පුද්ගලයා පිළිතුරු දෙන්නේ තමන් ට ද ඇඬීමෙන් රහත් වන්නට පුළුවන් දැයි උත්සහ කරන බවකි.

සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම නොඇලීම, අත් හැරීම පිළිබඳ දැඩිව අවධාරණ්‍ය කරයි. නිවන යනු තෘෂ්ණාව නැති කිරීමයි. ‘තණ්හඛයො නිබ්බාණං‘ යන බුදු වදනට අනුව නිවන යනු සිත තුළ පවතින තෘෂ්ණාව නැති කිරීමයි. ඒ අනුව අත්හැරීම නොඇලීම බුදු දහම අගය කරන ප්‍රධානම දෙයයි. එහෙත් සංස්කෘතිකමය වශයෙන් ගත් විට බුදු දහම තරම් දිවි හිමියෙන් ඇළුන ආදරය කරන තවත් දෙයක් බෞද්ධයෙකුට නැත.

බුදු දහම එකකි. බුද්ධාගම හෝ බෞද්ධ සංස්කෘතිය එකකි. බුද්ධාගම නිසා මෙතෙක් කලක් අවම වශයෙන් දහම ඇතුළත් පොත් පත් ටික හෝ රැකුණේ යැයි කිවහොත් එය මුසාවක් නොවේ. එසේම මේ සංස්කෘතික ලක්ෂණ බුදු දහම හා මිශ්‍ර වී නැත. දහම හා සංස්කෘතිය යනු කවරක් දැයි වෙන් වෙන්ව හඳුනාගන්නට පුළුවන. එසේම යහපත් සමාජයක් ගොඬනැංවීමේ දී මුල් බැස ගත් සංස්කෘතිය විසින් සිදු කළ කාර්යභාරය ඉතා විශාල ය. එනිසා සංස්කෘතිය විසින් බුදු දහමේ හරය, අරමුණ විකෘති වේ යැයි කියන්නේ නම් එය සාධාරණ නොවේ. ඒවා ද පැවතිය යුතු ය. බුද්ධිමතා වැලි මඩ සෝදා මැණික තෝරා බේරා ගත යුතු ය.