Print this Article


තණ්හාවේ කටුක ආදීනව පෙන්වා දෙන සෙරිණී පේත වත්ථුව

තණ්හාවේ කටුක ආදීනව පෙන්වා දෙන සෙරිණී පේත වත්ථුව

" මම ඉතා පිපාසිත ව සිටිමි. ජලය ඇති ගංගාවට එළැඹිය ද එහි ජලය වැලි බවට පෙරළේ. ඌෂ්ණ කාලයන්හි සෙවණකට පැමිණෙන්නෙමි. එහෙත් පෙරලා අව්රශ්මිය තමා හමුවට පැමිණෙන්නේ ය. ස්වාමීන් වහන්ස, සුළඟ ද ගිනි සෙයින් මා සිරුර දවමින් හමයි. පිපාසාදී දුකට ද, එයට වඩා දරුණු අනෙක් දුකකට ද මම පැමිණියෙමි. මේ සියල්ල පෙර කරන ලද පාප කර්මයන් නිසාවෙන් ම ය. "

බුදු දහම යනු පුද්ගලයා සිදු කරන ක්‍රියාවන් අනුව සැප විපාක ලබා දෙන බව මැනවින් උගන්වන දර්ශනයකි. ඒ අනුව පාලි ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායාගත ග්‍රන්ථ 15 අතුරින් පේත වත්ථුවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඒ අන් කිසිවක් නිසා නොව මිනිසත් බව ලබා සිදුකරන ලද අකුසල කර්ම නිසා ප්‍රේත ආත්ම ලබා විඳින කටුක දුක් වේදනා එහි පෙන්වන හෙයිනි. ඒ අතුරින් චූල වග්ගයට අයත් “සෙරිණී” පේත වත්ථුව අපේ ජීවිත තුළට ලබා දෙන ආදර්ශය ඉතා වැදගත් වූවකි. එහි කියැවෙන්නේ දැඩි තණ්හාව නිසා ප්‍රේතියක් ව ඉපිද ඇය විසින්ම සිදු කරන පාපොච්චාරණයකි.

දිනක් ස්වාමීන් වහන්සේ නමක් ඉතා දුර්වල ප්‍රේතියක් දුටුවහ. උන්වහන්සේ ඇයගෙන් මෙසේ විමසූහ. ඔබ නග්න ය, දුර්වර්ණ රූප ඇත්තී ය. ඉලිප්පුණු නහර ඇත්තී ය. උස්ව මතු වූ ඉල ඇත්තී ය. කෘශය. ඉතා දුකසේ මෙහි සිටින ඔබ කවුරුද? මෙයට පිළිතුරු දෙන ප්‍රේතිය මෙසේ පවසයි.

ස්වාමීනි, මම යමලොව උපන් දුකට පත් වූ ප්‍රේතියක් වෙමි. මිනිස් ලොව බොහෝ පව්කම් කොට මරණින් මතු ප්‍රේත ලෝකයෙහි පහළ වූයෙමි.

මේ අයුරින් ‘සෙරිණී’ නම් එම ප්‍රේතිය තමන්ගේ ස්වභාවය හා තමා විඳින දුක් ගැහැට ඉතා පැහැදිලිව පියවරින් පියවර පැවසුවා ය. ඇය මීට පෙර මිනිසත් බව ලබා සිදු කරන ලද අකුසලය ස්වාමීන් වහන්සේට පවසනු ලබන්නී ඉතා දුකට හා වේදනාවට පත් වෙමිනි. තිදොරින් අසංවර ව ක්‍රියා කිරීම නිසාත්, දැඩි තණ්හාව නිසාත් තමාට මෙකී විපතට මුහුණදීමට සිදු වූ බව ප්‍රේතිය පවසයි.

ස්වාමීන් වහන්ස, මම මිනිස් ලොව සිටියදී තණ්හාවෙන් යුතුව ධනය සෙවීම පමණක් සිදු කළෙමි. සිල්වත් මහණ බමුණන් බොහෝ වුව ද දන් දීම් ආදී පිනක් නොකළෙමි. එසේ හෙයින් මෙසේ දැඩි සේ දුක් විඳිමි.

ඇය පැවසූ මේ විස්තරය තුළින් ඇයගේ අතීත කතාව මැනවින් විවරණය කරනු ලැබේ. පෙර ආත්ම භාවය තුළ මිනිසත් බව ලබා සසර සැපට යම් කුසල කර්ම සිදුකර නොගැනීම නිසා ප්‍රේතිය ඉතා දුකට හා වේදනාවට පත්වන අතර, ඇයට දැනෙන දුක වේදනාව ඇය තවදුරටත් විස්තර කරන්නී.

මේ අයුරින් තමන් ප්‍රේතියක් ව ඉපිද විඳින දුක් වේදනා ස්වාමීන් වහන්සේට පවසන ඇය විසින් උන්වහන්සේගෙන් ඉල්ලීමක් ද සිදු කරනු ලබයි.

එනම්, හත්ථි පුරයට ගොස් තම මවට මෙකී කරුණු ප්‍රකාශ කොට සියල්ල වටහා දී පෙර ආත්ම භවයෙහි සඟවා ඇති ධනය ඇති ස්ථාන ප්‍රකාශ කොට ඒවායින් පින්කම් කොට තමාට අනුමෝදන් කරන ලෙස පවසන ලෙසට ය.

නිවසෙහි පළඟ යට සාර ලක්ෂයක් ධනය ඇත. ඒ වස්තුවෙන් දන් දේවා. මාගේ මවගේ ද ජීවිකාව වේවා.

මේ අයුරින් සෙරිණි ප්‍රේතිය සිදු කරන ලද ඉල්ලීම අනුව මවට මෙකී සියලු කාරණා වටහා දීමෙන් පසුව සඟවා තිබූ ධනය වැය කොට දන් පින්කම් කොට ඇයට අනුමෝදන් කරනු ලැබී ය. ඒ අනුහසින් ප්‍රේතිය දරුණු කටුක දුක් විඳිමින් ගෙවූ ප්‍රේත ආත්මයෙන් මිදී සුවපත් විය.

මව පින් අනුමෝදන් කිරීම නිසා සුවපත් වූ සෙරිණි ප්‍රේතිය තමන් ලද නව ආත්ම භාවයෙන් ඉතා සැප සම්පත් ලබා දැකුම්කළු ශරීර වර්ණයෙන් යුතුව උපන් බව අවසාන වශයෙන් මෙසේ අනාවරණය කරනු ලැබී ය.

දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබූ සියලු දෙනාටම මෙම කතා පුවත ඉතා වැදගත් වූවකි. සෙරිණී ප්‍රේතිය විසින්ම සිදු කරනු ලැබූ පාපොච්චාරණය අතිශය සංවේදී වූවත් එයින් සමාජයට ලබා දෙන පණිවුඩය බෙහෙවින් ආදර්ශ සම්පන්න ය.

තණ්හාව නිසා ගිහි පැවිදි සියලු දෙනාටම සසර දුක් වේදනා විඳීමට සිදුවන බව නොරහසකි.

ප්‍රේත වත්ථුව පුරාම එකී කරුණු මනාව පෙන්වා දෙන හෙයින් යහපත් කුසල කර්ම සිදු කිරීම සසර ගමන සුවපත් කර ගැනීමට බෙහෙවින් හේතු වන බව අප මතකයෙහි තබාගත යුතුව ඇත. නොමැති නම් සෙරිණී ප්‍රේතිය මෙන් කටුක ලෙස දුක් වේදනා විඳීමට සිදු වන්නේ දැඩි තෘෂ්ණාව ඉවහල් වීමෙනි.

නූතන සමාජයට ද මෙයින් ලබාගත යුතු බොහෝ ආදර්ශ ඇති හෙයින් සසර ගමනෙහි ඇති දුක් වේදනා පිළිබඳ මනා අවබෝධයෙන් යුතුව මිනිසත් බව ලද අප ද ක්‍රියා කළ යුතු හෙයින් ඒ සඳහා ප්‍රේත වත්ථු පාලිය අපහට ලබා දෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි.