Print this Article


යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය

යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස්නුවර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත.

හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හලාවත සිට කුරුණෑගල දෙසට කිලෝමීටර් 23ක් ගිය තැන ‘මැද වැව‘ හන්දිය හමු වේ. එතැන් සිට උතුරු දෙසට දිවෙන මාර්ගයේ කිලෝ මීටර් එකක් ගිය විට යෝධයා කන්ද ආරණ්‍ය සේනාසනය හමු වේ.

පළමු වන ගජබා රජුගේ ‘නීල‘යෝධයා විසින් ඉදිකළ කන්ද ‘යෝධයා කන්ද’ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

වතුරවිල සංඝ පරම්පරාවට සහ වනවාස නිකායට අයත් මෙම ආරණ්‍ය සේනාසනය මල්වතු අස්ගිරි පාර්ශවයට ද හිමකම් කියයි.

නිස්කලංක සහ මනරම් පරිසරයකින් හෙබි සේනාසන භූමිය අක්කර විසිපහක් පමණ පුරා විසිරී පවතින වන ලැහැබකි.වන සතුන්ගෙන් ගහන යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය තවුස්දම් වඩන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට වැඩ වාසය කිරීමට ඉතා යෝග්‍ය ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ ය.

ගුණසේකර රත්නායක හිටපු ගම් සභාපතිතුමා කරුණාසේන වෛද්‍යාචාර්යතුමා ‘යෝධයාකන්ද ’ සෙනසුනක් බවට පත් කිරීමට කටයුතු කළ පුරෝගාමීන් අතර වෙති.

සේනාසන භූමියේ පිහිටි බෝධීන්වහන්සේලා දෙනම ද ඉපැරණි ය. සංඝාවාස ගොඩනැඟිල්ල ,චෛත්‍ය ,විහාර මන්දිරය ,ධර්ම ශාලාව ,භාවනා කුටි 06ක් ඉදිකර ඇත. සේනාසනයේ දායක පවුල් අසූව කි.

දිවයිනේ නන්දෙස පිරිස් වාර්ෂික දානවල දායකත්වය ලබා ගෙන ඇත. 1994 වර්ෂයේ සිට සේනාසනාධිපති ධූරය උසුලනු ලබන්නේ වම්බටුවාමුල්ලේ උජිතනන්ද ස්වාමීන් වහන්සේ ය. තවුස්දම් වඩන භික්ෂූන් වහන්සේලා පස් නමක් සහ දහම් අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලා සිව් නමක් වැඩ වාසය කරති.

භික්ෂූන් වහන්සේ සහ බොදු ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා වටිනා දහම් ග්‍රන්ථවලින් සමන්විත ’සදහම් පුස්තකාලය ’නමින් පුස්තකාලයක් ද ස්ථාපිත කර ඇත.