Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 27 කොටස: රාමචන්ද්‍රන් මුදලාලි අවසන් මොහොතේත් ගෞරව දක්වයි

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 27 කොටස:

රාමචන්ද්‍රන් මුදලාලි අවසන් මොහොතේත් ගෞරව දක්වයි

ජේ.ආර්. - රජීව් සාම ගිවිසුම නිසා දකුණේ වැසියන් උතුරේ වන්දනා පිණිස ගමන් කළා සේ ම කොටි සංවිධානය විසින් ද සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යන ලදී. ඔවුහු නාගදීපයේ ද කූඩාරම් අටවාගෙන සිටි අතර, දිනක් ඉන් කිහිප දෙනෙක් විහාරයට පැමිණිය හ.

එහෙත් ආයුධ රැගෙන ඒමට පදුමකිත්ති හිමියෝ ඉඩ ලබා නොදුන්හ. ඒ අතර දූපත්වාසීන්ගේ සතුන් අල්ලාගෙන පුලුස්සා ආහාරයට ගැනීම ගැන වැසියෝ නාගදීප නා හිමියන්ට පැමිණිලි කළහ. ඇතැමෙක් පැවසුවේ නාවික හමුදාවට ඒ ගැන පවසන ලෙස ය. එහෙත් නා හිමියන් විසින් නාවික හමුදාවට එසේ උපදෙස් ලබා දිය නොහැකි බව පවසන ලදී.

නා හිමියන් එසේ පැවසුව ද උන් වහන්සේ ඇතැම් උපදෙස් නාවික හමුදාවට ලබා දුන්හ. එහෙත් ඒ උපදෙස් නාවික හමුදාවට ගියේ පදුමකිත්ති හිමියන් මඟින් ය. උන් වහන්සේ ආගමික කටයුත්තකට හැරෙන්නට කිසිදු විටෙක නාවික කඳවුරට නොවැඩිය හ. දෙමළ ජනතාව ද ඒ බව හොඳීන් දැන සිටියහ.

දිනක් පදුමකිත්ති හිමියෝ ඒ ගැන නා හිමියන්ගෙන් විමසූහ.

‘‘ඇයි නායක හාමුදුරුවො කෑම්ප් එකට වඩින්නේ නැත්තෙ‘‘

‘‘අපි දෙන්නම කෑම්ප් එකට යනව එනව මේ මිනිස්සු දැක්කොත් අපි කෙරෙහි තියෙන විශ්වාසෙ නැතිවෙනව. ඇත්තටම අපිට ඒ මිනිස්සුත් විශ්වාසයි, ඒ අයට අපි වත් විශ්වාසයිනෙ, ඒ විශ්වාසය කඩන්න හොඳ නැහැ, ඒත් අපේ ආරක්ෂා වත් සලස ගන්න ඕන නිසයි මං උන්නාන්සෙ අත අවශ්‍ය පණිවුඩ යවන්නෙ‘‘

නා හිමියන්ගේ කතාව හොඳීන් වටහාගත් පදුමකිත්ති හිමියන් ද නාවික හමුදා කඳවුරට යාම අඩු කළහ. එහි ගොස් ආහාර පාන ගැනීම පවා ක්‍රමයෙන් නතර කළහ. එය නාවික කඳවුරටත්, පන්සලටත්, නාගදීප වැසියන්ටත් වඩාත් හොඳ වන බව උන් වහන්සේ අවබෝධ කර ගත්හ. අවස්ථා කිහිපයක දී ම නා හිමියන් රාමචන්ද්‍රන් මුදලාලිගේ නිවසට ගියේ ඔහු වරින් වර අසනීප ව නැඟිට ගැනීමට පවා අසීරුතාවෙන් සිටි නිසා ය. එසේ වුවත් දානය පවා පන්සලට ලැබෙන්නේ දැයි ඔහු විසින් විමසා බලන ලදී.

දිනක් රාමචන්ද්‍රන් මුදලාලි හමු වී විහාරස්ථානයට වැඩම කරන්නට පැමිණි පදුමකිත්ති හිමියන් දැක ත්‍රිරෝද රථය අසලට ආ දෙමළ තරුණයෙක් පදුමකිත්ති හිමියන්ගේ අත යමක් තැබුවේ ය. එය නාවික හමුදාවේ සෙබළකුගේ සේවා හැඳුනුම්පතකි. පදුමකිත්ති හිමියන් එය කඳවුරට ලබා දුන්හ. අණ දෙන නිලධාරියා අදාළ සෙබළාට දැඩි සේ දොස් පවරණු පදුමකිත්ති හිමියන්ට ඇසුණි.

‘ඇඟේ තියෙන ඇඳුම් හැලුණත් දන්නෙ නෑ ඉතින්‘

ඉන් ටික දිනකට පසුව රාත්‍රියේ පදුමකිත්ති හිමියන්ගේ කාමරයේ ජනේලයට කවුදෝ වැරෙන් තට්ටු කරනු ඇසුණි. තරමක් කෝපයෙන් හා තැතිගැන්මක් යටතේ වුව ද උන් වහන්සේ ‘කවුද මේ රෑ‘ යනුවෙන් විමසූහ.

‘‘මම පෙරුමාල්‘‘

‘‘ඇයි මේ මහ රෑ මොකද? උඹට දවාලක් ඇත්තේම නැත්ද‘‘ කියමින් පදුමකිත්ති හිමියන් ගිනිපෙට්ටිය සොයන්නට වූයේ ලාම්පුව පත්තු කරන්නටය‘‘

‘‘එපා සාමි ලාම්පු පත්තු කරන්න එපා මම බඩුවක් ගෙනාව, ඒක දවල්ට ගේන්න බැහැ‘‘

පදුමකිත්ති හිමියන් අඩ සඳ එළියේම කාමරයෙන් එළියට වැඩම කළහ.


රාමචන්ද්‍රන් මුදලාලි අවසන් ගමන් යයි

‘‘කෝ මොකක්ද ‘‘

‘‘අර කෙහෙල් පඳුර යට හංඟලා ආවේ.‘‘

දෙදෙනා ම කළුවරේ ම එහි ගියහ.

‘‘එය නාවික හමුදා සෙබළුන් භාවිත කරන තුවක්කුවකි‘‘.

“උඔට කොහෙන්ද මේක‘‘

‘‘අර නාන ළිඳ ගාව අස්සෙ තිබුණෙ, ඊයෙ හම්බවුණේ, දවල්ට ගේන්න බැරි නිසයි රෑ වෙලා ගෙනාවෙ‘‘

පදුමකිත්ති හිමියන් ඔහුට මුදල් ලබා දෙන්නට සැරසුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කෙළේ ය.

පසුදිනම එය රැගෙන ගොස් පදුමකිත්ති හිමියන් නාවික හමුදා කඳවුරට බාර දෙන ලදී. උදෑසන ව්‍යායාම කරමින් සිටි අණදෙන නිලධාරියා එය පසෙක තබා කඳවුරේ සියලු දෙනා කැඳවනු ලැබුණි. ගිනි අවිය බාරව සිටි සෙබළාට පහර දුන්නාදැයි උන් වහන්සේට සිතුණේ එතරම් උණුසුම් තත්ත්වයක් කඳවුර තුළින් ඇසුණු බැවිනි. නෑමට යද්දී ගෙන ගිය ගිනි අවිය ආපසු එද්දී ගෙන ඒමට අමතක ව ගොස් ඇති බව ද උන් වහන්සේට වැටහුණි.

එසේ වුවත් එදින පස්වරුවේ ම පදුමකිත්ති හිමියන් යළි කඳවුරට වැඩම කළේ එම සෙබළා හමු වී ඔහු සනසන්නට ය. එහෙත් ඒ වන විටත් දඬුවම් මාරුවක් ලෙස ඔහු කරෙයිනගර් කඳවුරට මාරු කර තිබුණි.

ගිනි අවිය ගෙනැවිත් දුන් දෙමළ වැසියා එය කොටි සංවිධානයට ලබා දුන්නේ නම් ඔහුට හොඳ මුදලක් ලබා ගන්නට තිබුණි. එහෙත් නා හිමියන් හා තමන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය නිසා එය විහාරස්ථානයට බාර දීම පිළිබඳ ව උන් වහන්සේට ලොකු ආඩම්බරයක් ඇති විය. එසේම නා හිමියන් පැවසූ පරිදි දෙමළ වැසියන් තුළ ඇති විශ්වාසය ගැන ද උන් වහන්සේ උදම් ඇණුවේ නා හිමියන්ගේ දුර දක්නා නුවණ ගැන ද මෙනෙහි කරමිනි.

ඒ අතර රාමචන්ද්‍රන් මුදලාලිගේ අසනීපය වැඩි විය. නා හිමියන් නිරතුරුව ම ඔහුගේ දුක සැප බලන්නට වැඩම කළහ. ඒ සෑම අවස්ථාවකම පදුමකිත්ති හිමියෝ ද උන් වහනසේ සමඟ වැඩම කළහ. රාමචන්ද්‍රන් මුදලාලි එක්තැන්ව සිටිය ද නා හිමියන් දුටු විගස විමසුවේ ‘අපේ හාමුදුරුවෝ දානෙ වැළඳුවද?‘ කියා ය.

‘‘හරි.. හරි.. අපිට ඒ ඔක්කොම මුදලාලිගෙ ගෙදරින් ලැබෙනවා, නෝනයි දරුවොයි ඒ සේරම සොයා බලනවා. මුදලාලි සනීප වෙන්නකො ‘‘

‘‘අනේ සාධු ඔහු දෙඅත් එක් කර නා හිමියන්ට වැන්දේ ය‘. ඇදේ වැතිර සිටි රාමචන්ද්‍රන් මුදලාලිට නැගිට ගැනීම අහහසු වුවත් ඔහු නැඟිට ගන්නට වෑයම් කෙළේ ය.

‘‘හා හා නැගිටින්න එපා. ‘‘ නා හිමියන් ඔහු වළක්වන්නට විය.

එහෙත් රාමචන්ද්‍රන් මුදලාලි අපහසුවෙන් ඇඳේ ඒ මේ අත පෙරළෙමින් නැඟිට ගන්නට වෑයම් කෙළේ ය.

‘‘ඇයි අප්පා මොකද‘‘ කියමින් ඔහුගේ වැඩිමහල් දියණිය ද එතැනට පැමිණියා ය.

‘‘මට ඇඳෙන් බහින්න ඕන‘‘

‘‘ඇයි වැසිකිළියට යන්න ද? ඉන්න මම රාජුට එන්න කියන්නම්‘‘

‘‘නැහැ.. නැහැ.. මට ලොකු සාධුට වඳීන්න ඕන.‘‘ ඔහු අපහසුවෙන් පැවසුවේ ය.

‘‘මුදලාලි.. මුදලාලි.. මේ මොකද ? ඉස්සරවෙලා මුදලාලි සනීප වෙන්නකො, ‘‘ නා හිමියන් ඔහු යළිත් වළක්වාලන්නට විය

‘‘නෑ සාධු, ආයිත් මට සාධුට වඳීන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ, ‘‘ රාමචන්ද්‍රන් මුදලාලි ඉතා අපහසුවෙන් ඇඳෙන් නැඟිට බිමට නා හිමියන්ට වැන්ඳේ ය. පදුමකිත්ති හිමියන් සිටියේ තරමක් පිටුපසිනි. රාමචන්ද්‍රන් මුදලාලි ඊළඟට ඇස යොමු කළේ පදුමකිත්ති හිමියන් වෙත ය. එය දුටු පදුමකිත්ති හිමියෝ මුදලාලි ළඟට වැඩම කළහ.

‘‘හරි හරි මුදලාලි, මුදලාලිට දීර්ඝායුෂ ලැබෙනවා. ‘‘ පදුමකිත්ති හිමියන් රාමචන්ද්‍රන් මුදලාලිගේ හිස අතගාමින් සනසන්නට විය.

නා හිමියන් විසින් රාමචන්ද්‍රන් මුදලාලිට පිරිත් නූලක් බැඳ පදුමකිත්ති හිමියන් සමඟ විහාරස්ථානයට වැඩම කරන්නට සූදානම් විය.

‘‘සාධු මට ආයිත් පන්සලට එන්න බැරි වුණොත් මා එක්ක තරහ වෙන්න එපා, මට පින් ටිකක් දෙන්න‘‘

‘‘ අනේ මුදලාලි විකාර කතා කියන්න එපා අපි හෙට උදේ ඇවිත් පිරිත් ටිකක් කියලා තවත් නූලක් බැඳලා යන්නම්කො‘‘ පදුමකිත්ති හිමියෝ රාමචන්ද්‍රන් මුදලාලිට ආශිර්වාද කරමින් නාහිමියන් සමඟ පන්සලට වැඩම කළ හ.

පසුදින උදෑසන දාන ශාලාවට වැඩම කර නා හිමියන්ට දානය බෙදා උන් වහන්සේ වැළඳූ පසු දානය වළඳන්නට පදුමකිත්ති හිමියන් සූදානම් වූවා පමණි. වේගයෙන් පන්සලට පැමිණි පාපැදියක් එක්වර තිරංග යොදා නතර කරන ලදී. එක් අයෙක් එයින් බැස දිව ආවේ ය.

‘‘අපේ සාමි.. රාමචන්ද්‍රන් මුදලාලි......‘‘ ඔහුට කටින් කීමට හැකිවූවේ එපමණකි. සිදුවී ඇති සියල්ල වටහා ගත් පදුමකිත්ති හිමියන් නා හිමියන් සමඟ කඩිනමින් මුදලාලිගේ නිවස බලා යන්නට වූයේ උදෑසන දානය පවා ලබා නොගෙන ය.

ඒ වන විටත් මුදලාලිගේ නිවසට බොහෝ පිරිසක් පැමිණ තිබුණි.

‘‘අනේ සාමි තාත්ත ඊයෙ කිව්ව ආයිත් වඳීන්න ලැබෙයිද දන්නෙ නැහැ කියලා‘‘ රාමචන්ද්‍රන් මුදලාලිගේ ලොකු දුව හඬමින් පවසන්නට විය.

පැයකට අධික කාලයක් එහි රැඳීි සිට ආපසු විහාරස්ථානයට වැඩම කරන තෙක්ම පදුමකිත්ති හිමියන් කුසගින්නේ ය. ගිලන් පස ලබා දෙන්නට නිවැසියන් සහ අසල්වැසියන් උත්සාහ කළ ද නා හිමියන් සහ පදුමකිත්ති හිමියන් එය වළක්වන ලදී.

රාමචන්ද්‍රන් මුදලාලිගේ දේහය හින්දු චාරිත්‍රවලට අමතර ව බෞද්ධ චාරිත්‍රානුකූලව ද සිදු කරන ලදී. විහාරස්ථානයකට වසර ගණනාවක් උදෑසන හා දහවල් දානය ලබා දුන් මෙරට එකම හා පළමු තැනැත්තා වූ රාමචන්ද්‍රන් මුදලාලි එසේ අවසන් ගමන් ගියේ ය.