Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 16: මව් බිසවගෙන් දුටුගැමුණු කුමරුට හදිසි කැඳවීමක්

දුටුගැමුණු මහ රජතුමා - 16:

මව් බිසවගෙන් දුටුගැමුණු කුමරුට හදිසි කැඳවීමක්

කෙටි දැනුම් දීමකින් කෙරුණු ආරාධනයෙන් සැවොම පැමිණ සිටිම ගැන විහාරමහා දේවිය සතුටට පත්වුවා ය. සභාව ඇමතීමේ කාර්යය වේළුසුමනට පවරා තිබිණි. ගැමුණු කුමාරයා ගෙන්වා ගැනීමේ වගකීම පවරා තිබුණේ නන්දිමිත්‍ර යෝධයාට ය.

විහාරමහා දේවිය ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමේ වැඩපිළිවෙලක් ගැන සිතුවා ය. එදින සන්ධ්‍යාවේ දේවිය, කාවන්තිස්ස රජතුමා වෙත පැමිණ මේ ප්‍රශ්නය කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කර පොදු තීරණයකට එළඹීමේ වැදගත්කම පෙන්වා දුන්නා ය.

ඒ සඳහා රජතුමාගේ කැමැත්ත ලබා ගත්තා ය. ඒ අනුව ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ , මහාසිව මාහිමිපාණෝ , කාම්භෝජ පඬිතුමා ඇතුළු මහා සංඝරත්නයට මාළිගයට වැඩම කරන ලෙස ආරාධනා කළා ය. අනුග්‍රාහක වෙළඳ ශ්‍රේණි නායකයන් ඇතුළු තවත් ප්‍රභූවරු කිහිප දෙනෙක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

සන්නිපාත ශාලාවේ පිළියෙළ කළ විශේෂ අසුන් මත ත්‍රිපිටක තිස්ස තෙරනුවෝත් මහාසිව මාහිමියෝත් ඇතුළු මහා සඟ රුවන වැඩ සිටියහ. කාම්බෝජ පඬිතුමා ඇතුළු ප්‍රභූ පිරිස ඒ අසලින්ම තිබු අසුන්වල සිටියහ. කෙටි දැනුම් දීමකින් කෙරුණු ආරාධනයෙන් සැවොම පැමිණ සිටීම ගැන විහාරමහා දේවිය සතුටට පත්වුවා ය.

සභාව ඇමතීමේ කාර්යය වේළුසුමනට පවරා තිබිණි. ගැමුණු කුමාරයා ගෙන්වා ගැනීමේ වගකීම පවරා තිබුණේ නන්දිමිත්‍ර යෝධයාට ය.

දීඝාභය සහ තිස්ස කුමරුන් එක්ව පැමිණියහ. එහෙත් ගැමුණු කුමරුන් තවම නැත. විහාරමහා දේවිය අසහනයට පත්ව නන්දිමිත්‍රගෙන් ඒ ගැන විමසුවා ය. වේළුසුමනගෙන් ඇසුවා ය. කිසිවකුටත් කුමරු හමුවී නැත. වහාම මහනෙල යෝධයා කැඳවූ විහාරමහා දේවිය මෑණියන් වහන්සේගේ කැඳවීමක් බව දන්වා ගැමුණු කුමරු කැඳවාගෙන එන ලෙසට දැනුම් දුන්නා ය.

කාවන්තිස්ස රජතුමා පැමිණ විහාරමහා දේවිය සමඟ මහා සංඝරත්නයට නමස්කාර කළේ ය. රජතුමා පැමිණි විගස සියල්ලෝම නැඟී සිටියහ. මහා සංඝරත්නයේ අවසරය පරිදි සියල්ලෝම අසුන් ගත්හ. ශාලාවට පැමිණි පිරිස දෙස බැලු රජතුමාගේ සිතට සතුටක් ඇතිවිය. රජතුමාගේ නියමය පරිදි වේළුසුමන සභාව අමතන්නට විය. ඒ වන විටත් ගැමුණු කුමාරයා පැමිණ සිටියේ නැත. වේළුසුමන මහ තෙරුන් වහන්සේලාට නමස්කාර කරමින් කතාව ආරම්භ කළේ ය.

“දීඝාභය කුමාරයාගේ පැමිණීම නිසා අපට යුද්ධය ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණා. නන්දිමිත්‍ර විසින් ඉදිරිපත් කරන ලද යුද වාර්තා වලින් ඉතා පුළුල් ලෙස වර්තමාන තත්වය පෙන්නුම් කර තිබුණා. එහි ඇතැම් සංශෝධන වලට සැමදෙනාම වාගේ එකඟතාවය පළ කර තිබුණා,”

“මහරජතුමාගේ තීරණය අනුව එහි දින වකවානු වෙනස් කළ යුතු බව පෙන්වා දුන්නා. ඒ පිළිබඳ ගැමුණු කුමාරයා තම ප්‍රසාදය පළ කළා. මහරජතුමා යුද වැදීමේ තීරණය වෙනස් කිරීමට හේතු වුණේ ඊයේ එළාර රජුගේ චරපුරුෂයන් මාගම සිට නැව් දෙකකින් ආපසු ගෙනගිය බව දැනගත් පසුවයි.

මෙබඳු තත්වයක් උද්ගතවීම පිළිබඳ අප සෑම දෙනාම වගකිව යුතුයි. විශේෂයෙන්ම මාගේ සේනාංකයේ වගකීම දැරිය යුතු බව මා පිළිගන්නවා. මෙය ඉතා සුක්ෂමව සැලසුම් කළ වැඩපිළිවෙළක් බව පෙනෙනවා . ඔවුන් අප ගැන දත යුතු සියල්ල දැනගත් නිසා යි චරපුරුෂයන් සියලු දෙනා රැගෙන ගියේ. මෙය ඉතා බැරෑරුම් ලෙස කල්පනා කළ යුතු මොහොතක්. මේ තත්වය අනුව රජතුමා ගේ යුද්ධය ප්‍රමාද කිරීමේ තීරණයට අපට කිසිසේත් විරුද්ධ වන්නට බැහැ. “

“නමුත් ගැමුණු කුමාරයා කල්පනා කළේ අප කවුරුත් නොසිතන ආකාරයටයි. මාගම වෙසෙන චරපුරුෂ නායකයන් කිහිප දෙනෙකු රඳවාගෙන ලබාගත් තොරතුරු වලට අනුව තවත් චරපුරුෂයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මාගම පුර සිටි අහිගුණ්ඨකයින්, හිඟන්නන් සියලු දෙනාම චරපුරුෂයන් බව අප අනාවරණය කරගත් පසුවයි ඔවුන් මේ ආකාරයට පලා ගියේ. එය අපේ ජයග්‍රහණයක් ලෙසයි ගැමුණු කුමාරයා දකින්නේ.

එළාර රජු ගේ සොළීන් සේනාව මහවැලි ගඟින් මෙගොඩට එන්නට කලින් අපේ සේනාව එගොඩට යා යුතුයි. උතුරේ සොළී බලකොටු විනාශ කරගෙන අපේ සිංහල හමුදාවට අනුරාධපුරයට ළඟා විය හැකි බවට එතුමා තුළ දැඩි විශ්වාසයක් තිබුණා.