Print this Article


දුගී පැලෙන් සිටු මැඳුරට

දුගී පැලෙන් සිටු මැඳුරට

ධනය සහ දානය අතර පවතින සම්බන්ධය ඉතා ප්‍රබල ය. ධනය තිබූ පමණින් දන්දීමට නො හැකි ය. දීමට සිතුවිලි තිබූ පමණින් දීම ද කළ නො හැකි ය.

දන් දීමට නම් දෙන පුද්ගලයාත් ලබන පුද්ගලයාත් පිරිසිදු සීලයක පිහිටා සිටීම දෙපිරිසට ම ආනිසංස වැඩි කිරීමට හේතු වේ. ඇතැම් විට ධනය තිබෙන පුද්ගලයාට සීලය නැත. තවත් විටෙක පිරිසිදු සීලයක පිහිටි තැනැත්තාට ධනය නැත.

තවත් අවස්ථාවක ධනයත්, සීලයත් හිමි තැනැත්තාට දන්දීමට සුදුසු කෙනෙක් සොයා ගත නො හැකි ය. ධනය සහිත ව, සීලයක පිහිටා, සිල්වත් පිරිසකට දන්දීමට ලැබෙන්නේ නම්, එම අවස්ථාව අත්නොහැරිය යුතුම ය. මේ හා බැඳුණ පැරණි දහම් කතාවක් සීහළවත්ථුවේ සදහන් වේ.

එක් මහලු කාන්තාවක් රෝහණයේ ගිරිවා ජනපදයෙහි වාසය කළා ය. එකල හටගත් දුර්භික්ෂයක් නිසා ඥාතීන් සහ අසල්වැසියන් මෙන් ම, ගම් වැසියන් ද ගම හැර දමා වෙනත් ප්‍රදේශවලට පිටත්ව ගියහ. ජීවිතාශාව අත්හළ මැහැල්ල තිබෙන දෙයකින් යැපෙමි’යි සිතා එහිම ජීවත්වන්නට විය.

දිනෙන් දින කාලය ගත විය. ඇය හුදකලා ජීවිතයට හුරු විය. කැළෑ කොළ ආදිය ආහාරයට ගනිමින් ජීවිත්වීමට ද හුරු විය. දිනක් පිරිසුදු සීලයෙහි පිහිටි, භාවනානුයෝගී, ශාන්ත පැවතුම් ඇති භික්ෂූන් වහන්සේලා සත්නමක් කිරිවෙහෙර චෛත්‍ය වන්දනාවේ වැඩම කිරීමට පා සිවුරු රැගෙන මාර්ගයට පිවිසියහ.

පිඬු පිණිස පිටත් වෙමින් වන්දනාවේ වැඩම කරන තෙරුන් වහන්සේ ආහාර නොමැතිකමින් දැඩි සේ කුසගින්නෙන් පෙළී, පෙර ජනයාගෙන් පිරී ගිය, මහලු කාන්තාව සිටින ගමට පිවිසියහ. පිඩු පිණිස හැසිරෙන තෙරුන් වහන්සේලාට ගමෙහි කිසිවකු නොමැති බවත්, සියලු දෙනා ම ගම හැරගොස් ඇති බවත් අවබෝධ වූහ.

මහලු කාන්තාව තෙරුන් වහන්සේ පිඩු පිණිස වැඩම කරනබව දැක ඉතා දුක සේ කැළෑවෙන් සොයාගෙනැවිත් තම්බා අනුභව කරමින් සිටි කරකොළ ස්වල්පය තෙරුන් වහන්සේලාට පූජා කරගන්නට තිබේ නම් යන උතුම් සිතුවිල්ල පහළ විය. ඇය වහා තෙරුන් වහන්සේලා වෙත එළඹ නමස්කාර කර ‘‘ස්වාමීනි, මා විසින් දුක සේ සොයා ගත් මේ ආහාර පිළිගන්නා සේක්වා‘යි පවසමින් පිඟානෙහි තිබූ කරකොළ තෙරුන් වහන්සේලාගේ පාත්‍රවලට පූජා කළා ය.

ඇය එයින් මහන් සේ සතුටට පත්විය. ඉන්පසු තම ආහාර වේල සකසා ගැනීමට නැවතත් කැළෑවට පිවිසි ඇයට දරුණු සර්පයකුගේ දෂ්ඨ කිරීමෙන් ජීවිතය අහිමි විය.

කරන ලද පුණ්‍ය බලය නිසා දඹදිව සිටුමැදුරක සිටු දේවියකගේ කුසෙහි පිළිසඳ ගත්තා ය. තෙරුන් වහන්සේලා කරකොළ වළඳා දාගැබ වන්දනා කර සූසැට ගව්වක් ගමන් කර, නැවතත් විසිඅට ගව්වක් ගමන් කර, නැව්තොටට පැමිණ, නැව් නැඟී මූදෙන් එතර ව දඹදිවට වැඩම කළහ. තෙරුන් වහන්සේලා සත් නම ගම් නියම්ගම්වල වැඩවසමින් අවුරුදු දහසයකට පසු පැළලුප් නුවරට පැමිණියහ. එහි පැමිණි ඔවුහු සිවුරු මනාව හැඳ පොරවා පාත්‍රය අතැතිව පිඬු පිණිස වීථියට පිවිසියහ.

එදින උදෑසන සිටු කුමරිය සියලු කටයුතු නිමවා උඩුමහලේ කවුළු විවර කොට සිහිල් සුළං පහස විඳිමින් නගරයේ සිරි නරඹන්නට වූවා ය. සිටු දියණියට ශාන්ත වූ ඉඳුරන් ඇති, පි‍්‍රයශීලි වූ, පිණ්ඩපාතික තෙරුන් වහන්සේලා සත් නම දැක, පෙර දැක පුරුදු බව සිහි කරන්නට විය.

ජාතිස්මරණ ඥානයෙන් හෙබි ඇය තොරතුරු සියල්ල දැන සේවිකාවක කැඳවා තෙරුන් වහන්සේලාට දානයට ආරාධනා කිරීමට පිටත් කළා ය.

සේවිකාව තෙරුන් වහන්සේලා වෙත එළැඹ ‘‘ස්වාමිනි, අපගේ සිටු දියණිය ඔබ වහන්සේලාට දන් පිණිස ආරාධනා කරයි, වහා සිටුමැදුරට වැඩම කරවන සේක්වායි, පැවසී ය. එකල තෙරුන් වහන්සේලා ‘‘පින්වතිය, අප හඳුනන කිසිවකුත් මේ පෙදෙසෙහි නැත. පිවිසි පළමු දිනය අද, යැයි කීහ.

සිටු දියණියට එම පුවත දැන්වීය. නැවතත් සේවිකාව එවමින් ‘‘ස්වාමිනි, සිටු දියණිය ඔබ වහන්සේලා මනාව හඳුනන බව කියන්නී ය. එබැවින් එහි වැඩම කරන ලෙස ආරාධනා කරයි යනුවෙන් නැවතත් ආරාධනා කළා ය.

ඉක්බිති ආරාධනාව පිළිගත් තෙරුන් වහන්සේලා සත් නම සිටු මැදුරට පිවිසියහ. සිටුදියණිය යුහුසුලුව තෙරුන් වහන්සේලා ගෞරවයෙන් පිළිගෙන, දන් පිළිගන්වා ‘‘ස්වාමිනි, ඔබ වහන්සේලාට මහත් සේ වෙහෙස ය. බොහෝ දුරක් ගෙවමින් මෙහි වැඩම වන්නේ ය. හෙළදිව තොරතුරු කෙසේ දැයි යනාදි ලෙසින් ආගිය තොරතුරු විමසන්නට වූවා ය.

තෙරුන් වහන්සේලා මහත් සේ පුදුමයට පත් ව ‘‘සිටු දියණියනි, ඔබ කෙසේ නම් අපගේ තොරතුරු සහ හෙළදිව තොරතුරු දනීද? යි විමසූහ. ඉක්බිති ඇය තෙරුන් වහන්සේලාට පවසන්නේ ‘‘ස්වාමිනි, මින් පෙර ආත්මයෙහි අසවල් ගම, අසවල් ගෙයි වාසය කළ මා මහලු කාන්තාවක ව සිටිය දී ඔබ වහන්සේලාට පිරිසිදු සිතින්, දුක සේ සපයා ගත් කරකොළ දන් දී, එදින ම මා මිය ගොස් මෙහි උපත ලදිමි. රූප සම්පත්තියෙන් සහ සැප සම්පත්වලින් මෙන් ම සේවක සේවිකාවන් පිරිවර සහිත ව ඉතා සැප සේ ජීවිතය ගත කරමි. ඒ සියල්ල මා වෙත ලැබුණේ ලුණු නැති, තෙලෙන් නො බඳින ලද කරකොළ ටිකක් ඔබ වහන්සේලාට පූජා කර ගැනීමට ලැබීමෙනි.

කුසගින්නේ පෙලෙමින් සිටි සිල්වතුන් වහන්සේලාට සුදුසු මොහොතෙහි, ඉතා දුක සේ හෝ දන් පිරිනැමීමට භාග්‍ය උදා වූ හෙයින් මෙබදු මහත් සැප සම්පත් සහ සුවයක් ලදිමි. මට කිසිවකින් අඩුවක් නැත. සාරවත් කුඹුරක වැපුරූ ධාන්‍යවල අස්වැන්න නෙළන්නාක් මෙන් මම දැන් දන් දීමෙන් ලැබෙන සැප අනුභව කරමි’ යි පවසමින් සියලු පුවත් ප්‍රකාශ කළා ය.

ඕ තොමෝ අතිශයින් සතුටට පත්ව ලැබූ සම්පත්වලින් ප්‍රයෝජන ගනිමින් බොහෝ සම්පත් තෙරුන් වහන්සේලාට පූජා කර ජීවිතාන්තය දක්වා උපස්ථාන කළා ය. ඔවුහු නොබෝ දිනකින් අර්හත්භාවය ලබා පිරිනිවියහ. සිටු දියණිය ද බොහෝ පින්කම් කර මරණයෙන් මතු දෙව්ලොව මහත් සැප සම්පත් ලැබී ය.

දුක සේ සොයාගත් දෙය ශ්‍රද්ධාවෙන් සීලයෙහි පිහිටා දන්දීමෙන් සිටුදියණිය මහත් වූ සැප ලැබී ය. තෙරුන් වහන්සේලා සත් නමකට නිවන් දැකීමට ද උපකාර වූවා ය.

එබැවින් දන්දීමේ දී අවශ්‍ය වන්නේ මුදල් වැඩියෙන් වියදම් කිරීම නොව ධාර්මික ව උපයාගත් දෙය සිතේ සතුටින් දන්දීම ය. මෙය කළ හැකි පිරිසක් ලොව සිටී නම් ඔවුහු ඉතාම අල්ප වෙති. එබැවින් ඒ අතරට අයත් උතුම් පුද්ගලයකු වීමට මෙම කතා පුවත අමතක නොවන මතකයක් වනු ඇත.